Breaking
24 Feb 2025, Mon

ඒකාබද්ධ විපක්‍ෂයේ හොඳ වැඩක්

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත්කරන ලද අනුකමිටු හයෙන් ඉවත් වෙලා. අදාළ මන්ත්‍රීවරුන් ද සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඒ බව හෙළි කරලා. අප පළමුවෙන් ම ඒ පිළිබඳ ව ඒ මන්ත්‍රීවරුන්ට හා ඒකාබද්ධ විපක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. ඔවුන් ඒ සම්බන්ධයෙන් දැක්වූ කරුණු අතර තමන් අනුකමිටුවලට ඉදිරිපත් කළ යෝජනා සම්පූර්ණයෙන් ම ඉවත දැමීම හා වාර්තා මගින් සන්ධීය රාජ්‍යයකට පාර කැපීම සඳහන් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයත් ඉගෙන ගන්නේ අත්දැකීම්වලින්. ඔවුන්ට ප්‍රවාද තිබිණි නම් මේ කරුණු කලින් ම දැනගත හැකි ව තිබුණා.

තවමත් ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා අස් වී නැහැ. ඔවුන්ටත් අත්දැකීමක් ලැබෙන තෙක් එහි රැඳී සිටිනවා ද? අනුකමිටු වාර්තා හය මත පදනම් වී ඔවුන්ටත් මෙහෙයුම් කමිටුවෙන් අස්වීමට තිබුණා. අනුකමිටු පත් කරනු ලැබුයේ මෙහෙයුම් කමිටුව විසින්. මෙහෙයුම් කමිටුවේ අවශ්‍යතාව ද ඒකාබද්ධ විපක්‍ෂයට පැහැදිලි විය යුතුයි. ඒකාබද්ධ විපක්‍ෂය මෙහෙයුම් කමිටුවේ රැඳී සිටීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද? තොරතුරු ලබා ගැනීම ද? ලබා ගැනීමට ඇති තොරතුර කුමක් ද? ආණ්ඩුව කරන්න යන්නේ කුමක් දැයි ඒකාබද්ධ විපක්‍ෂය නො දන්නේ ද?

ජාත්‍යන්තර සුපිරිව්‍යුහය විසින් මේ ආණ්ඩුව පත් කර ගනු ලැබුයේ ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමටයි. මහින්දට හා රණවිරුවන්ට දඩයම් කිරීමත් එක් අවශ්‍යතාවක්. එහෙත් ප්‍රධාන කාරණය දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. එය කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ කර ගැනීම සුපිරිව්‍යුහයේ අරමුණයි. එහි තවත් පියවරක් ලෙසයි රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා ආණ්ඩුව දෙමුහුන් විනිසුරුවන් පත් කිරීම ද ඇතුළත් යෝජනාවකට ජෙනීවාහි දී අනුග්‍රහය දැක්වූයේ. දැන් මංගල සමරවීර ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා.

එය ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය පාවා දීමක්. පරමාධිපත්‍යය ගලා එන්නේ සවරිනටි යන පදයෙන්. මේ එකල බටහිර රටවල, විශේෂයෙන් එංගලන්තයේ රජුගේ අධිපත්‍යය ගැන කියැවෙන්නක්. සවරින් කිවුවේ රජුට. රජුට තිබුණේ පරම ආධිපත්‍යයක්. දැන් එය ජනතාවට අයත් වී තිබෙනවා. මේ පරමාධිපත්‍යයට හානි කිරීම රජු සම්බන්ධයෙන් නම් රාජද්‍රෝහී ක්‍රියාවක්. අද ජනතාවගේ පරමාධිපත්‍යයට හානි කිරීම ජනතාද්‍රෝහි එනම් රාජද්‍රෝහි ක්‍රියාවක්. මේ ආණ්ඩුව ජෙනීවාහි දී කරන්නේ රජයට ද්‍රෝහි වීමක්. එනම් රාජද්‍රෝහී ක්‍රියාවක්. විශේෂයෙන් ම මංගල හා රනිල් නිරත වී ඇත්තේ රාජද්‍රෝහී ක්‍රියාවක. ඔවුන්ට දෙන දඬුවම මූල්‍ය අපරාධ විමර්ෂණ කමිටුවෙන් තීරණය කරන්න බැහැ.

අද ආණ්ඩුව රාජද්‍රෝහී ක්‍රියාවල නිරත වී සිටින්නේ දෙමළ ජාතිවාදීන්ගේ අවශ්‍යතාව මත ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ මෙහෙයවීමෙන්. නව ව්‍යවස්ථාවත් එවැනි ම වූ රාජද්‍රෝහී ක්‍රියාවක් වේවි. ආණ්ඩුවට අවශ්‍ය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමටයි. අනුකමිටු වාර්තාවලින් ඒ බව පැහැදිලි වෙනවා. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් නොමැති බව අප කාලයක සිට කියනවා. සංධානය අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මිස නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පොරොන්දු වීමෙන් නො වෙයි. එපමණක් නොවෙයි මෛත්‍රිපාල සිරිසේන ජනවාරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධන පමණක් ගෙන ඒමට පොරොන්දු වෙමින්. අද මෛත්‍රිපාලටවත් සංධානයෙන් තේරී පත් වූ මැති ඇමතිවරුන්ටවත් කිසිම අයුරකින් ජනමත විචාරණයකටවත්, නව ව්‍යවස්ථා සම්පාදනයකටවත් එකඟ වන්න බැහැ. ඒ අය අනුකමිටුවලින් පමණක් නොව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත් විය යුතුයි.

ඒ අතර ආණ්ඩුවේ මැති ඇමති ධුර දරණ සංධානයෙන් පත් වූ අයටත්, එනම් ආණ්ඩුවේ සිටින මෛත්‍රිපාලගේ කණ්ඩායමටත් ඒකාබද්ධ විපක්‍ෂය ආදර්ශයක් දී තිබෙනවා. ඒ මැති ඇමතිවරුනුත් අනූකමිටුවලින් ඉල්ලා අස්විය යුතුයි. ඔවුන්ටත් ඡන්ද ලැබුණේ සංධානයේ මැතිවරණ ප්‍රකාශයට මිස එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද ප්‍රකාශයට නො වෙයි. හැරත් ඔවුන් මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රකාශය අනුවත් කටයුතු කළ යුතුයි. එයින් කියැවෙන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන නොකළ යුතු බවයි.

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම හෝ කළ යුත්තේ පවත්නා ව්‍යවස්ථාවේ දක්වා ඇති විධි විධානවලට අනුකූලවයි. ආණ්ඩුව එයට පිටින් ක්‍රියා කරන බව පැහැදිලියි. ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමෙන් ම ඒ බව පැහැදිලි වෙනවා. ඒ අතර පාර්ලිමේන්තුව පිටින් ගොස් ජනමත විචාරණයකට සූදානම් වෙනවා. මෛත්‍රිපාල සිරිසේනට ජනාධිපති ලෙස එවැනි ජනමත විචාරණයකට එකඟ වන්න බැහැ.

ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන් පත් කළ අනුකමිටුවලින් ඉවත් වීම පිළිබඳ ඒකාබද්ධ විපක්‍ෂයට හා අදාළ මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වන අතර ඔවුන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්විය යුතු බව ප්‍රකාශ කළ යුතුයි.

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 17

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.