Breaking
24 Feb 2025, Mon

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වනු!

මා ඊයේ දෙරණ ගැන ලියූ ලිපියේ කමිටු වාර්තා හය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා යනුවෙන් කියා ඇති කරුණ අතපසුවීමක්්. ඒ අනුකමිටු හය පත්කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවෙන්. මෙහෙයුම් කමිටුව තීරණය කරලා වාර්තා හය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු ය කියා. ඊයේ වාර්තා හය ඉදිරිපත් වුනේ එකී ව්‍යවස්ථාදායක මණ්ඩලයටයි. පාර්ලිමේන්තුවට නොවෙයි. ඒ වරද නිවැරදි විය යුතුයි.

අප මුල සිට ම කියා සිටියේ ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථාදායක මණ්ඩලයට සහභාගි නොවිය යුතු ය යන්නයි. පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ආකාරය හෝ නව ව්‍යවස්ථාවක් ගෙනෙන ආකාරය හෝ දහනව වරක් සංශෝධනය වී ඇති ව්‍යවස්ථාවේ දොළොස්වැනි පරිච්ඡෙදයේ සඳහන් වෙනවා. එහි කොතැනකවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ගැන කියැවෙන්නේ නැහැ. මේ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීම ම වැරදියි. එය පාර්ලිමේන්තුව මගහරවා යෑම සඳහා උපක්‍රමයක්. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලය පාර්ලිමේන්තු සභා ගැබ තුළ රැස්වීමත් වෑරදියි. එය පාර්ලිමේන්තුවේ අනු කමිටුවක් හෝ සමස්ත පාර්ලිමේන්තුවේ ම කමිටුවක් හෝ නො වෙයි. ඊනියා ව්‍යවස්ථාදායක මණ්ඩලය රැස්වන විට එහි සභාපති වාඩිවන්නේ කතානායක අසුනේ නො වෙයි.

මෙයට කලි්න් ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටෙවුවේ 1972 ජනරජ ව්‍යවසථ්ව සම්පාදනය කරගැනීමටයි. එසේ පිහිටුවීමට හේතුවක් තිබුණා, එතෙක් මේ රට ආණ්ඩු කෙරුණේ එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතකට අනුව. අපට එතෙක් තිබුණේ ඩොමීනියන් තත්වයේ රාජ්‍යයක්. එංගලන්තයේ රජු හෝ රැජින හෝ ලංකාවේත් රජු හෝ රැජින හෝ වූවා. මෙරට අග්‍රාණ්ඩුකාරයා රජුගේ හෝ රැජනගේ හෝ නියෝජිතයා වුනා. අපට ඒ ඩොමීනියන් ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ම ඉවත් කර ජනරජයක් වීමේ අවශ්‍යතාව තිබුණා. එය පාර්ලිමේන්තුව මගින් කිරීමට බැරි නිසා ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාව පැන නැගුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන් වූවා. 1972 ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේත් අනුමත වූයේත් පාර්ලිමේන්තුවෙන් පිට. එහි වරදක් නැහැ. ඒ හේතු දෙකක් නිසා.

පළමුවෙන් ම කලින් කී ආකාරයට එංගලන්ත පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පනතක් ඉවත් කිරීමේ අවශ්‍යතාව තිබුණා. එය එංගලන්ත පාර්ලිමේන්තුවෙන් කෙරෙන වැඩක් නො වෙයි. කොහොමටත් අප අපේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරගත යුතුව තිබුණා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් බාහිර ආයතනයකින් ඒ කිරීමේ අවශ්‍යතාව පැන නැගුණා. දෙවැනුව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් පෙරමුණ මැතිවරණයට ඉදිරිපත් වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් ඉල්ලමින්. ජනතාව ඒ වරම ලබාදුන්නේ පෙරමුණට 1970 මැතිවරණයෙන් තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලබා දීමෙන්.

බණ්ඩාරනායක මැතිණිය නවරඟහලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්කෙළේ රැස්කෙළේ ඒ කරුණු දෙකට යටත් ව. දැන් මේ පිහිටුවලා තියෙන ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමට කිසිම අවශ්‍යතාවක් හෝ වරමක් හෝ නැහැ. ජේ ආර ජයවර්ධන දෙවැනි ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කෙළේත් පළමු ජනරජ ව්‍යවස්ථාවේ වගන්ති යොදා ගෙන. ඔහු පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාව පමණක් යොදා ගත්තා. ඔහුටත් 1977 මැතිවරණයෙන් තුනෙන් දෙකකට වැඩි වරමක් ලැබුණා. මේ ආණ්ඩුවට ඊනියා වව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් හෝ වරමක් හෝ නැහැ.

අප දිගින් දිගට ම කියා ඇත්තේ බටහිරයන් හා ඉන්දියාව ඔවුන්ගේ ඔත්තු සේවා යොදා ගනිමින් මේ ආණ්ඩුව ඇති කෙළේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය ගෙදර යැවීමටත් (රනිල්ගේ වචන) සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තත්ත්වය නැතිකර ඔවුන් ඇති කර අනුග්‍රහය දුන් දෙමළ ජාතිවාදයට කප්පන් දී සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමටත්. මේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා ඇත්තේ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය නිසා. ජනතාවට අවශ්‍ය නිසා නොවෙයි. මේ ආණ්ඩුව පිහිටුවා ඇත්තේ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව. 2015 අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන පක්‍ෂ දෙකක් තිබුණා. එකක් එක්සත් ජාතික පෙරමුණ. අනෙක සංධානය. අවාසනාවකට අද ඒකාබද්ධ විපක්‍ෂයත් එදා ඉදිරිපත් වූයේ සංධානය යටතේ. මේ පක්‍ෂ දෙක මැතිවරණ ප්‍රකාශ දෙකක් ඉදිරිපත් කළා. නව ව්‍යවස්ථාවක් ගැන පැහැදිලි ව කීවේ කීවේ එක්සත් ජාතික පෙරමුණ පමණයි. එහි ජාතික හෙළ උරුමයත් හිටි බව අමතක කරන්න එපා. ජනතාව එක්සත් ජාතික පෙරමුණට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වරමක් ලබා දුන්නේ නැහැ. ඔවුන්ට තුනෙන් දෙකක බහුතරයක් ලැබුණේ නැහැ. ඔළුගෙඩි ගණනින් 105ක් පමණයි ලැබුණේ. ඒ 150ට හුඟක් අඩුයි. සංධානයට මිනිස්සු ඡන්දෙ දුන්නෙ නව ව්‍යවස්ථා හදන්න නො වෙයි. ජේ ආර්ගෙ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නම් තිබෙනවා. ඒත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ. නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට ජන වරමකුත් නැහැ. සංධානයේ කොටසක් එ ජා පෙරමුණ සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවීමෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට කිසිම වරමක් නැහැ. සංධානයේ ආණ්ඩුවට නොගිය කොටස, එනම් අද ඒකාබද්ධ විපක්‍ෂය කළ යුතුව තිබුණේ ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කිරීමයි. ඔවුන් මෛත්‍රිපාලගේ අවතාර අනුගමනය කළ යුතුව තිබුණේ නැහැ.

දැන් අනුකමිටු වාර්තා ඊනියා ව්‍යවස්ථා මණාඩලයට ඉදිරිපත් කරලා. මේ වාර්තා තමන්ට අහිතකර බව ජාතික හෙළ උරුමය තේරුම් අරගෙන. ඔවුන් දැන් වෙනත් බයිලාවක් කීමට පටන් ගෙන. චම්පකගේ නමින් වැල් වටාරම් ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා. මේ අවස්ථාවාදී ජාතිද්‍රෝහීන්ට කිසිම ඉඩක් දිය යුතු නැහැ. ඔවුන් පිළිගැනීමට අවශ්‍ය නැහැ. රනිල් සමග තවදුරටත් හෙළුවෙන් සිට ගැනීමට ඔවුන්ට ඉඩ දිය යුතුයි. ඒ අතර ඒකාබද්ධ විපක්‍ෂය දැන්වත් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි. වාර්තා හයෙන් සිංහලයන්ටවත් රටටවත් සෙතක් වන්නේ නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. නව ව්‍යවස්ථාවක් අවශ්‍යත් නැහැ. ඒ සඳහා ව්‍යවස්ථා මණ්ඩලයකට අවශ්‍යතාවකුත් නැහැ. නව ව්‍යවස්ථාවකට වරමකුත් නැහැ. සංධානය මැතිවරණයට ගියේ නව ව්‍යවස්ථාවක් ඇති කරන්නත් නොවෙයි. ආණ්ඩුවේ සිංහල විරෝධී ද්‍රෝහී ව්‍යවස්ථාවට කිසිම ඉඩක් නොදිය යුතුයි. අද ආණ්ඩුව ජාතිවාදීන්ට ඉඩ නොදිය යුතු ය කියන්නේත් ජනමාධ්‍යයට තර්ජනය කරන්නෙත් මේ සිංහල විරෝධී සහසන්ධි ව්‍යවස්ථාව කොක්කෙන් හරි කෙක්කෙන් හරි සම්මත කර ගැනීමට. ආණ්ඩුව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය පමණක් යොදාගෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න සූදානම් වෙනවා. සම්බන්ධන් ලවා කියවන ජනමතවිචාරණ කතාවලට රැවටෙන්න එපා. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලය වර්ජනය කළ යුතුයි. එයට කිසිම වලංගු බවක් දිය යුතු නැහැ.
නලින් ද සිල්වා
2016 නොවැම්බර් 20

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.