Breaking
25 Feb 2025, Tue

ඔබ සුදානම්ද…. රනිල් පන්නා මහින්ද අගමැති කරමු…

ඒකාබද්ධ විපක්‍ෂය සුපුරුදු පරිදි දින දෙක තුනක් වැරදි පාරක ගමන් කරමින් සිට දැන් හරි පාරට එන්න උත්සාහ කරනවා. මා ඒකාබද්ධ විපක්‍ෂයේ වන්දිභට්ටයෙක් නොවෙයි. ඒකාබද්ධ විපක්‍ෂයට දේශපාලන දැක්මක් නැහැ. අප සංධාන ආණ්ඩුවට පක්‍ෂ වූයේ එය යම් ප්‍රමාණයකට ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි නිසා. ඒ ආණ්ඩුවේ ජාතිකත්වයට විරුද්ධ අයත් සිටි බව අප අමතක කෙළේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ පඬියන් වන බොහෝ දෙනා ද මා ගැන සිතන්නේ අන්තවාදීයකු, ජාතිවාදියකු, මිථ්‍යාමතධාරියකු, දේශපාලනය නොදන්නා කෙනකු ලෙසයි. මේ ලිපියෙහි සඳහන් කරුණු දෙසත් ඔවුන් බලනු ඇත්තේ ඒ දෘෂ්ටිකෝණයෙනුයි.

මහා බැංකු කොල්ලය ගැන සුනිල් හඳුන්නෙත්ති වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජ වි පෙ මෙන් ම ඒකාබද්ධ විපක්‍ෂය ද කටයුතු කෙළේ අර්ජුන් මහේන්ද්‍රන් හා ඇලෝෂියස් බෑණා පමණක් වරදකරුවන් කිරීමෙන්. ඔවුන් රනිල් ගැන වචනයක්වත් කීවේ නැහැ. දැන් ඔවුන් දින කිහිපයකට පසු රනිල් ගැනත් කියනවා. එය හොඳයි. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් හිතවතුන් කතාකරන්නේ ලියන්නේ ඒකා බද්ධ විපක්‍ෂය හඳුන්නෙත්ති වාර්තාව ඉදිරිපත් වූ දිනයේ සිට ම රනිල් වරදකරුවා ලෙස සැලකූ අයුරින්. එවැනි අයගේ ඊනියා උපදෙස් මතක් කිරීම් මා ඉවත දමනවා. අප අප ම රවටා ගැනීමෙන් පළක් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය මුල දී අර්ජුන් මහේන්ද්‍රන් ගැන පමණයි කතාකෙළේ. රනිල් ගැන කිසිම සඳහනක් කෙළේ නැහැ.

වාසුදේව නානායක්කාරගේ හා බන්දුල ගුණවර්ධනගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී පිරිසක් අල්ලස් හෝ දූෂණ හෝ විමර්ෂණ කොමිසම හමුවට ගිහින් රනිල්ට, අර්ජුන්ට හා බෑණාට විරුද්ධව පැමිණිල්ලක් කරලා. ඒක හොඳයි. ඒ වගේම දැන් රනිල්ට විරුද්ධව විශ්වාස භංග යොාජනාවක් ගෙන ඒමට කතාකරනවා. ඒකත් හොඳයි. කලින් ඒකාබද්ධ විපක්‍ෂෙ පාර්ලිමේන්තු විවාදයකින් පමණක් සෑහීමට පත්වෙන්නයි හිටියෙ. විශ්වාස භංග යෝජනාව පරදීවි. ඒ්කට කමක් නැහැ. අවශ්‍ය මහජන මතයක් ඇති කිරීමයි. ඒ වගේ ම විශ්වාස භංග යෝජනාවට කලින් ගෙනා එවැනි යෝජනාවලට අත් වූ ඉරණම අත්නොවන බවට වග බලාගත යුතුයි. විශ්වාස භංගය කෙළවරක් දක්වා ම ගෙන යා යුතුයි.

රනිල්ට හා ඔහුගේ ආණ්ඩුවට විරුද්ධව බැංකු මංකොල්ලය පිළිබඳ ව මහජන මතයක් ඇතිකළ යුතුයි. ඔහු ඉල්ලා අස්වෙන තැනට මතයක් ගොඩනැගිය යුතුයි. සංධානය ද ඡන්දය දී සම්මත කරගත් දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිට අගමැති අස්කරන්න බැහැ. රනිල් ඉල්ලා අස්වන තුරු ඔහුට අගමැති ධුරයේ කටයුතු කළ හැකියි. ජනාධිපතිට රනිල් අස්කරන්න යැයි කීමේ තේරුමක් නැහැ. එහෙත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරස්පරවලින් ගහණයි. ජනාධිපතිත් යම් ප්‍රමාණයකට මේ කොල්ලයට ගෑවිලා. ඔහු රනිල් බේරාගැනීම සඳහා 2015 ජූනියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.

ජනාධිපතිට මඩ සෝදා ගැනීමට වුවමනා නම් කළ හැකි දෙයක් තියෙනවා. මඩ සෝදාගත් කල ගොවියන් රජකමට සුදුසු වෙනවා. ගොවියන්ගේ පුතුන් ද එසේමයි. පරස්පර ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට අගමැති කෙනකු පත්කරන්න පුළුවන්. එවිට දැනට සිටින අගමැතිට සිදුවන්නේ කුමක් ද කියන එක පැහැදිලි නැහැ. මේ අපහැදිලිකම, පරස්පරය ප්‍රයෝජනයට ගෙන ජනාධිපතිට වෙනත් අගමැති කෙනකු පත්කරන්න පුළුවන්. දැනටමත් ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් රනිල් ඉවත්කර තමන් අගමැති වීමේ සිහිනය දකිනවා වෙන්න පුළුවන්. රජිව් විජේසිංහ මහා බැංකු බැඳුම්කර හා එ ජා ප මැතිවරණ අරමුදල ගැන කියන කරුණුවලට අනුව එ ජා පක්‍ෂයේ සියල්ලන් මන්්ත්‍රී ධුරවලින් අස්විය යුතුයි. ඔවුන්ගෙන් එක් අයකුට අගමැති පදවිය දීම ගැන කවර කතා ද? රජිව් විජේසිංහට විරුද්ධව එ ජා පක්‍ෂය වචනයක්වත් නොකීමෙන් කියැවෙන්නේ ඔහු නිවැරදි බවයි.

මෛත්‍රිපාලට රටට ආදරයක් ඇත්නම් ඔහු කළ යුත්තේ මහින්ද අගමැති ලෙස පත්කිරීමයි. එ ජා ප මන්ත්‍රීවරයකු අගමැති කිරීමෙන් ඔහු කරන්නේ දුෂණයට අනුබල දීමක්. රනිල්ට විරුද්ධව දැවැන්ත ව්‍යාපාරයක් ඇරඹීමට කාලය කාලය ඇවිත්. ඒකාබද්ධ විපක්‍ෂයට බලය අවශ්‍ය නැති පාටයි. ඔවුන් පසුගිය සමයේ එ ජා පක්‍ෂය හා සිවල් සමාජකාරයන් බටහිර හා ඉන්දීය අවශ්‍යතා උඩ ගෙන ගිය මහින්ද හොරා ව්‍යාපෘතියෙන් පාඩම් උගත යුතුයි. මෙතෙක් ලංකාවේ සිදු වූ විශාලම හොරකම හමුවේ රාජපක්‍ෂලා කළ බව කියන හොරකම් නොගිණිය හැකි තරම්.

රනිල් ගෙදර යැවීමට කාලය ඇවිත්. මහා බැංකු කොල්ලයට අමතරව එට්කා මගින් මෙරට දකුණු ඉන්දියාවේ හයවැනි ද්‍රවිඩ ප්‍රාන්තය බවට පත්ාකිරීමට කරන උත්සාහය, උතුරේ දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීම, ආවා වැනි කල්ලිවලට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දීම, සිංහලයන්ට යාපනයට යෑමට තිබූ නිදහස වෙනුවට එහි යෑමට බයක් ඇතිකිරීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර රට බෙදීමට පිඹුරුපත් සැකසීමට ලාල් විජේනායක වැනි වලංගු නැති මාක්ස්වාදුන් පත්කිරීම, රණවිරුවන් හිරකර ඔවුන්ට දඬුවම් දීම, හමුදාවේ ආත්ම විශ්වාසය පළුදු කිරීම, බුද්ධි අංශය දුර්වල කිරීම, ආදී කරුණු ඔහුට විරුද්ධව කියැවෙනවා. හඳුන්නෙත්ති වාර්තාව නීතිපතිට යැවීම කාලය කා දැමීමක් පමණයි. එය ප්‍රශ්නය යටගැසීමක්. ඒ්කාබද්ධ විපක්‍ෂය මේ දේශපාලන ගැටවලට හසුවිය යුතු නැහැ. රනිල් ගෙදර යැවීමට ක්‍රමවත් අධිෂ්ඨානශීලී පියවර ගැනීමට කාලය ඇවිත්. කාලෝ අයං තෙ.

නලින් ද සිල්වා
2016 නොවැම්බර් 01

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.