බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (2016-09-23) වංචා හා දූෂණ විමර්ශණය කිරීම සඳහා වන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි. එහි දී ඔහුට එරෙහි ව නගා තිබූ චෝදනා තුනකි. දිවිනැගුම අරමුලින් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා රුපියන් කෝටි 15කට ආසන්න මුදලක් වැය කිරීම, සිය රාජකාරි සඳහා කැබිනට් ඇමතිවරයෙකුට වෙන්කරන වාහන 3ට වෙනුවට වාහන 14ක් භාවිත කිරීම, සාමාන්‍යයෙන් කැබිනට් ඇමතිවරයෙකුට වෙන්වන ආරක්‍ෂක නිලධාරීන් 7 දෙනා වෙනුවට, නාවුක හමුදා නිලධාරීන් 20 දෙනෙකු හා යුධ හමුදා නිලධාරීන් 64 කු භාවිතා කිරීම යන චෝදනා තුනයි.
දෙවැනි හා තෙවැනි චෝදනා එකි නෙකට සම්බන්ධ ය. එවකට තිබූ ආරක්‍ෂක තත්වය යටතේ රාජපක්‍ෂවරුන්ට මතු නොව තව බොහෝ කැබිනට් ඇමතිවරුන්ට සාම කාලයක ලැබෙන ආරක්‍ෂකයින් 7 දෙනාට වඩා සපයා තිබූ බව නොරහසකි. විශේෂයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එල්ල වූ බෝම්බ ප්‍රහාරයට පසු ආරක්‍ෂක මණ්ඩලය විසින් කළ අවදානම් තක්සේරුවකට අනුව තීරණය කොට තිබුණේ රාජපක්‍ෂවරුන්ගේ ආරක්‍ෂා තිබුණාට වඩා තර කිරීම ය. අදාළ තීරණය සඳහා ඇමතිවරයාගේ මැදිහත් වීමක් නැති අතර හුදු ආරක්‍ෂක මණ්ඩලයේ ම උපදෙස් අනුව ගන්නා වෘත්තීමය ක්‍රියාමාර්ගයකි. ආරක්‍ෂාව වැඩි කිරීමේ දී ආරක්‍ෂකයින්ගේ ප්‍රමාණය වැඩි වන අතර අදාළ ඇමතිවරයා රාජකාරි සඳහා ගමන් කරන ස්ථානවලට ආරක්‍ෂකයින් රැගෙන යාමට වාහන ද අවශ්‍ය වේ. ඇමතිවරයා වාහනයෙන් යන විට ආරක්‍ෂකයින් බස් රථයේ ගමන් කළ යුතු ද?
ඒ කෙසේ වෙතත්, වාහන 14ක් යෙදවූ බවට වන චෝදනාව සම්පූර්ණ ව්‍යාජයකි. අදාළ වාහන 14 යනු මුළු කාලය පුරාවට ම භාවිත වූ වාහන වල ප්‍රමාණය මිස එක අවස්ථාවක භාවිත වූ ඒවා නොවේ. උදාහරණයක් ලෙස බෙන්ස් මෝටර් රථ දෙක අනුයුකත්ත වන්නේ BMW රථ දෙක ආපසු ගැනීමෙන් පසු ය. ඇත්ත වශයෙන් ම බැසිල් රාජපක්‍ෂ මහතා භාවිත කළේ වෙඩි නොවදින කාර් රථ දෙකක් හා එක් ජීප් රථයකි. ඒ අතරින් ද බොහෝ විට භාවිත වී ඇත්තේ එක් වෙඩි නොවදින රථයක් වූ අතර උතුරු නැගෙනහිර ගමන්වල දී පමණක් ජීප් රථය භාවිත විය.
ආරක්‍ෂකයින් පිළිබඳ තත්වය ද වාහන සේම ය. සාමය තිබීය දීත් රාජපක්‍ෂවරුන්‍ට මෙන් කිසිදු තර්ජනයක් නොමැති මැති ඇමතිවරුන් ආරක්‍ෂක භටයින් හා වාහන කීයක් නම් අදද භාවිත කරනවා ද? කෙසේ වෙතත් ඉහත සඳහන් ආරක්‍ෂකයින් 64 දෙනා යෙදවී ඇත්තේ එක් අවස්ථාවක නොව, වරින් වර මුළු කාලය පුරාම ය. ඒ අනුව, එය ද නොමග යවනසුළු ලෙස හා බැසිල් රාජපක්‍ෂ මහතා වෙත ද්වේශය ඉපදවෙන ලෙස නිර්මාණය කළ චෝදනාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
පළමු චෝදනාව දිවි නැගුම අරමුදලින් කෝටි 15ක් ගුවන් ගමන් සඳහා වැය කිරීම.
දිවිනැගුම ව්‍යාපෘථිය යනු කවුරුත් දන්නා පරිදි රටේ දිස්ත්‍රික්ක 25 ම ක්‍රියාත්මක වූ එකක් වූ අතර ඒ සඳහා අතිවිශාල මිනිස් පැය ප්‍රමාණයක් ඉතා කෙටි කලක් තුළ වැය කිරීමට ඇමතිවරුන්ට මෙන් ම නිලධාරීන්ට ද සිදුවිය. දීපව්‍යාප්ත ව්‍යාපෘථිය යටතේ ප්‍රධාන වශයෙන් මිලියනක පමණ ගෘහ උද්‍යානකරන කටයුතු (එළවළු හා පළතුරු) ආරම්භ කිරීම, අත්කම් හා කුඩා පරිමාණ කර්මාන්ත ප්‍රවර්ධනය, ධීවර, කුකුළු ගොවිපළ හා කිරී කර්මාන්තය මූලික කරගත් පශුසමපත් අංශය යන අංශ තුනකින් ක්‍රියාත්මක විය. දිවිනැගුම ව්‍යාපෘථියේ මූලික අරමුණ වූයේ ජනතාව හුදු යැපුම් මානසිකත්වයෙන් ඉවත් කොට තමා වෙනුවෙන් තමා ම සරිකර ගැනීම හා නිෂ්පාදන සංස්කෘතියකට යොමු කිරීම ය. 25%කින් එළවළු හා පළතුරු අනුභවය ඉහළ නැංවීම හා හරහා පෝෂණය නැංවීම, ජීවන වියදම අඩු කිරීම, නව ආදායම් මාර්ග ඇති කිරීම හා ව්‍යවසාය ආකල්ප දියුණු කිරීම ය. මෙය අතිශය සාර්ථක වූ ව්‍යපෘථියකි. ලෝක ආහාර හා ආර්ථික අර්බුදයට සාර්ථක ව මුහුණ දෙමින් රටේ ආර්ථික වර්ධනය 7%ක පවත්වා ගැනීමට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ ද මෙම ව්‍යාපෘථියයි.
උතුරු වසන්තය හා නැගෙනහිර උදානය යන ව්‍යාපෘථි දෙක ම මෙහෙයවන ලද්දේ ද බැසිල් රාජපක්‍ෂ මහතා විසිනි. යුද්ධයෙන් පසු අනාථ කඳවුරුවල සිටි ලක්‍ෂ 3කට අධික පිරිසක් වසරක් තරම් කෙටි කලකින් නැවත පදිංචි කිරීම හා ඔවුන්ගේ සියළු අවශ්‍යතා සොයා බැලීම මෙන් ම ඉතා කඩිනමින් විදුලිය, මහා මාර්ග, හා පාසැල් හා සෙසු සියළු සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවන ලද්දේ ද බැසිල් රාජපක්‍ෂ මහතා විසිනි. කෙසේ වෙතත්, අද පිළිතුරු දීමට සිදුව ඇත්තේ එසේ සිදුකළ ඒ සියළු කාර්යන් කළේ ඇයි ද ප්‍රශ්නය අසන්නාක් මෙන් ය.
ගුවන් ගමන් ගැන කියන විට පළමුවෙන් ම කිව යුතු වන්නේ යම් රාජකාරී ගමනක් සඳහා ගුවන් හෝ සෙසු ගමන් මාර්ග තීරණය වන්නේ අදාළ රාජකාරීය යෙදෙන දිස්ත්‍රික්කය, පළාත හා එදින කාලගුණය හා ගමනට සහභාගීවන ඇමතිවරුන්ගේ හා නිලධාරීන්ගේ රාජකාරී දිනපොත අනුවයි. ගුවනින් යෑමේ ආශාවට ගුවන් ගමන් භාවිත නොකෙරේ. බොහෝ දිනවල එක ම දිනයේ දිවයිනේ තැන් 3ක සංවර්ධන කටයුතු නිරීක්‍ෂණය කිරීම්, උපදේශක වැඩ සටහන් හා සොයා බැලීම් යෙදී තිබුණි. එවැනි අවස්ථාවක කාලය ඉතිරි කරගත හැකි වඩාත් කාර්යක්‍ෂම ප්‍රවාහනය වන්නේ ගුවනින් යෑම ය. මේවට සහභාගීවන සෑම දෙනෙකුට යළි සිය අමාත්‍යාංශයට විත් සිය රාජකාරී කිරීමට ඒ හරහා ඉඩ ලැබෙන අතර අදාළ පළාත්වල නැවතී සිටීමට සිදු වීමෙන් වැයවන නවාතැන් ගාස්තු, ආහාර හා සෙසු වියදම් කපා හැරීමට ද පුළුවන.
දිවිනැගුම ව්‍යාපෘථියෙන් ම මෙම මුදල් ගෙවීමට අදාළ අංශ මගින් කටයුතු කොට ඇත්තේ ඒ හරහා මුළු ව්‍යාපෘථියේ ම වියදම තක්සේරු කිරීමට හැකිවන හෙයිනි. ඕනෑම ව්‍යාපෘථියක ප්‍රවාහණය සඳහා මුදලක් වෙන්වන බව ව්‍යාපෘථි ගැන දැනුමක් ඇති අයට අරුමයක් නොවේ. තව ද ගෙවීම සිදු කරන්නේ රජයේ ආයතනයකින් තවත් රජයේ ආයතනයකට ය. අමාත්‍යාංශයේ ගුවන් හමුදාවට ය. ඒ අනුව, ගෙවීම හරහා රජයට ශූද්ධ පාඩුවක් සිදු නොවේ.
මේ බැසිල් රාජපක්‍ෂ මහතාට එල්ල කර ඇති චෝදනාව කොතරම් ද්වේශසහගත ද කිවහොත් 2012 වසරේ මැයි මාසයේ ලංකාවට පැමිණි නියෝජ්‍ය ජපාන අගමැතිවරයා හා එම වසරේ ම ලංකාවට පැමිණි ඉන්දියානු දූත පිරිස උතුරට ගමන් කළ ගුවන් ගමන ද බැරකොට ඇත්තේ බැසිල් රාජපක්‍ෂ වෙත ය. තව ද බැසිල් රාජපක්‍ෂ මහතාගේ දියණිය වන තේජානි රාජපක්‍ෂ මහත්මිය ද ගුවන් ගමන් වල යෙදුන බවට චෝදනා කර ඇතත්, ඇය එසේ ගමන් කිරීම තබා අදාළ කාලයේ ලංකාවේ වත් සිට නැත.
ගුවන් ගමන් චෝදනාව සඳහා ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දිවුරුම් ප්‍රකාශ සාවද්‍ය ලෙස යොදාගෙන තිබීම විහිළු සහගත ය. නුවර එළිය දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රකාශයට අනුව 2014-08- 31 වන දින බැසිල් රාජපක්‍ෂ මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්වර්ධන කටයුත්කට පැමිණ නැත. කෙසේ වෙතත්, ලේකම්වරයා ඇත්ත වශයෙන් ම පවසා ඇත්තේ තම කාර්යාලය මගින් සංවිධානය කළ සංවර්ධන කටයුත්තකට රාජපක්‍ෂ මහතා පැමිණ නැති බව පමණි. දිස්ත්‍රික් ලේකම් විසින් සිදු නොකළ සංවර්ධන කටයුතු කීයක් නම් දිස්ත්‍රික්කයක තිබේ ද? හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රකාශය ද එසේ ම අවභාවිතා කොට ඇති බවට අප සතුව සාක්‍ෂි තිබේ. ඒ ව්‍යාජ චෝදනා හරහා ජනතාව මුලා කරන ආකාරය පෙන්වන එක් නිදසුනක් පමණි.
රාජකාරීමය ස්වරූපය හා අවශ්‍යතාව මත පරීක්‍ෂණයට අදාළ ඉහත ගුවන් ගමන් සඳහා සහභාගී වී ඇත්තේ කැබිනට් ඇමතිවරයෙකු ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා පමණක් නොවන බව ය. වත්මන් රජයේ මෙන් ම පසුගිය රජයේ ද සිටි චම්පික රණවක, රාජිත සේනාරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර ප්‍රියදර්ශන, මෛත්‍රීපාල සිරිසේන යන ඇමතිවරු ද එකී ගමන්වලට සහභාගී වී ඇත. ප්‍රශ්නය වන්නේ මේ එක් ඇමතිවරයෙකු හෝ පරීක්‍ෂණයට භාජනය වී නැති අතර බැසිල් රාජපක්‍ෂ මහතා පමණක් කොමිසම හමුවට කැඳවා තිබීම ය. මේ සියල්ල දේශපාලන පළිගැනීමක් මිස අනෙකක් නොවන බව තේරුම් ගැනීමට එය ම පමණක් ප්‍රමාණවත් නොවේ ද?