Breaking
23 Feb 2025, Sun

කරවටක් ගිලුනු මිනිසුන්ගෙ දුක විකුණන් කන කාලකණ්ණි විද්යුත් නාලිකා

අවුරුද්දේ මැද කාලයේදී සුපුරුදු පරිදි ලොකු වර්ෂාපතනයක් අපේ රටට ලැබෙමින් පවතිනවා.දැනට දින කිහිපයකට පෙර සිට ඇදහැලෙමින් පවතින ධාරානිපාත වැස්ස නිසා දැනටමත් රටේ සමහර ප්‍රදේශ වලට ගංවතුර ගලලා.තවත් ප්‍රදේශ නාය යෑමේ තර්ජනයට ලක්වෙලා. බොහොමයක් ආපදාවන්ට හේතුව පරිසරය ගැන නොසලකා සිදුකරන ඉදිකිරීම් ඇතුලු සංවර්ධන ක්‍රියාවන් බව පෙනීයනවා. වැස්ස නිසා යටවූ මහමාර්ග වලට උඩින් යන්න අධිවේගී මාර්ගනිසා පුලුවන් වෙලා තියෙනවා. එහෙම යනකොට පේනවා මග දෙපස ඇති නවීන නිවාස පවා ජලයෙන් යටවී ඇති ආකාරය. එලෙසින් එම ප්‍රදේශ වල ජලය රඳා සිටින්නේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන්මද යන්න ස්ථිරව කිව නොහැකියි. නමුත් මෙලෙස දින කිහිපයක වැස්සකින් නිවාස මහමාර්ග ආදිය යටවීම නම් බරපතල ගැටලුවක්.

ඉස්සර ගංවතුර ගලන ප්‍රසිද්ධ ස්ථානයක් වුනේ කැළණි පාලම ආශ්‍රිත ප්‍රදේශයයි. කැළණි පාලම වේදිකා නාට්‍යය බිහිවූවෙත් මේ නිරතුරුව ගලන ගංවතුර ආශ්‍රිතව ඉන් නිවාස යටවන මිනිසුන් මුල්කරගෙනයි. ඒ අවධියේදී මෙලෙස විපතට පත් ජනතාවට සහන සැපයූවේ රජය මගින්. වියළි ආහාර ද්‍රව්‍යයන් ඇතුලු මූලික අවශ්‍යතා එහිදී සපයනු ලැබුවේ සමාජසේවා අමාත්‍යංශය යටතේ රජයේ නිළධාරින් මගින්.නමුත් දැන් කාලයේ එම කටයුත්ත රජයේ ආයතන වලට වඩා ඉටුකරන්න අපේ රටේ මාධ්‍ය ආයතන ඉදිරිපත්වෙලා තියෙන බව පෙනී යනවා. මහජනයාට ගංවතුර යනු විපතක් වුවත් සමහර විද්‍යුත් ජනමාධ්‍ය ආයතන වලට නම් එය වෙස්වලාගත් ආශිර්වාදයක් වෙලා.

සිංහල අවුරුද්දට අවුරුදු උත්සව වගේම වෙසක් පෝයටත් වෙසක් කලාප සංවිධානය කරන්න පුරුදුවෙලා ඉන්න මෙම ජනමාධ්‍ය ආයතන වාර්ෂික ගංවතුර ආධාර සහන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ගංවතුර ගලනතුරු නොඉවසිල්ලෙන් ඉන්න බවක් තමා පෙනී යන්නේ. මොකද එමගින් වැඩි වියදමකින් තොරවම ඔවුන්ට විශාල ප්‍රචාරයක් ලබාගැනීමට හැකියාවක් ලැබෙනවා.වෙනදා දිනපතා සිය හරසුන් වැඩසටහන් බලහත්කාරයෙන් නැරඹීම සහ ඇසීම සඳහා ප්‍රේක්ෂකයන්ට විශාල ලෙස අල්ලස් මුදල් බෙදන මෙම ජනමාධ්‍ය ආයතන වැස්ස පටන්ගන්න විටම මහජනතාවගෙන් ආධාර ඉල්ලා සිටිනවා.ගංවතුර ආධාර බේදීමේ මුවාවෙන් සිදුකරන තම “අලෙවි ප්‍රවර්ධන ” වැඩසටහන් වලට.

වෙනත් රටවල මෙන් නොව අපේ රටේ බොහෝ දෙනා අනුන්ගේ විපතකදී තමන්ගැන නොසිතා විපතට පත්වන අයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඉතින් මාධ්‍ය ආයතනයකින් ගංවතුර ආධාර ලබාදෙන්න කියලා ඉල්ලා සිටියාම බොහෝ දෙනා තමන්ට හැකි අයුරින් සියලුම ආකාරයෙන් උදව් කරන්න ඉදිරිපත් වෙනවා.රටේ බොහෝ ප්‍රදේශ වලින් මෙලෙස ලැබෙන ආධාර එකතුකර ගන්නා මාධ්‍ය ආයාතන ඒවා තමන්ගේ ආයතනයේ වියදමින් දෙනු ලබන ආධාර මෙන් බෙදාහරිනු දක්නට ලැබෙනවා.

එයට සමගාමීව සිය මාධ්‍ය ජාලය මගින් දැවැන්ත ප්‍රචාරයක් ද කරනු ලබන්නේ එමගින් සිය ආයතනය රටේ සමාජසේවා අමාත්‍යංශයේ කටයුතු ඉටුකිරිමට නිළ වශයෙන් පත්කර ඇති ආකාරයටයි. මිනිසුන්ගේ සිත් තුළ සංවේදී හැගීම් ඇතිවන ලෙසින් සහ මහා පුන්‍යකර්මයකට දායක වීමක් ලෙසින් දක්වා සිය මාධ්‍ය ජාලයේ නිවේදක නිවේදිකාවන් ලවා මහජනතාවගේ සිත් තුළට කතාකොට ඔවුන්ගේ බත් පත පවා පරිත්‍යාග ලෙස ලබාගැනීම සඳහා මෙහයවීමට මෙම ආයතන ඉතා දක්ෂයි. මෙහිදී එම ආධාර හොරයක් බොරුවක් වංචාවක් නැතිව අත්‍යාවශ්‍ය අයට බෙදන්නේ තම ආයතනය පමණක් බවට කෙළින්ම හෝ වක්‍රව ප්‍රචාරය කරනු දක්නට ලැබෙනවා. අසරණවූ ජනතාවට යම් ආධාරයක් ලබාදී ඔවුන් ලවා සිය ආයතනයේ මෙම මහා සමාජ සේවාව අනෙක් සියලු ආයතනයන්හි එවන් වැඩසටහන් වලට වඩා ඉහළ බවට ප්‍රකාශ ලබාගෙන ඒවාට පුළුල් ප්‍රචාරයක් ලබාදෙනවා.

ගංවතුරේ කරවටක් ගිලී,ඔරුවක අමාරුවෙන් එල්ලී සිටින අයෙකු වෙත වෙනත් බෝට්ටුවකින් ගොස් ඔහු වෙත සිය මාධ්‍ය ආයතනයේ ලාංඡනය සහිත මයික්‍රපෝනයක් යොමු කොට ගංවතුර පිළිබද ඔහුගේ අදහස් විමසන අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුගියදා මුහුණුපොතේ පළවූයේ එය දුටු අයගේ ලුණු ඇඹුල් සහිත අදහස් ද සමගින්.

පසුගිය වර ගංවතුර ආධාර වශයෙන් පිසූ ආහාර එවන ලෙස ඉල්ලූ එක්තරා මාධ්‍ය ආයතනයක්, විශාල ලෙස ලද එවන් ආහාර පාර්සල් බෙදාහැරීමේදී ඒවා නරක්වීම නිසා තවත් සෞඛ්‍ය ගැටලුවක් මෙන්ම එම නරක් වූ ආහාර බැහැර කිරීමට ක්‍රමවේදයක් නොමැතිව පාරිසරික ගැටලුවක් ද ඇතිකරනු ලැබුවා.

ආපදා සහන සේවය යනු අලියාට ඇස තැබීමක් නොවන බව බොහෝ මාධ්‍ය ආයතන මේ වන විටත් වටහා ගෙන නැහැ. නිසි කළමණාකරනයකින් තොරව මේ අයුරින් විවිධ ආයතන සහනාධාර ලබාදීමට වෙන වෙනම ඉදිරිපත්වීමෙන් ගැටලු තව දුරටත් වර්ධනය වෙනවා. සැබැවින්ම විපතට පත් ජනයාට උදව්කරන්න අවශ්‍යනම් සියලු ආයතනයන්ට එක්ව එක පොදු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නොහැක්කේ ඇයි? යන්න ගැටලුවක්.රාජ්‍ය යාන්ත්‍රනයත් සමග එක්ව, ප්‍රදේශය ගැන,එහි වෙසෙන ජනතාව ගැන මනාව කරුණු දන්නා ග්‍රාම නිධාදාරින් ඇතුලු රජයේ නිළධාරින්ගේත් සහාය රැගෙන විපතට පත් සියලු ජනතාව වෙත රටේ සහෝදර ජනතාව විසින් ලබාදෙන ආධාර නිසිපරිදි ක්‍රමවත්ව ලබාදීමේ හැකියාව තියෙනවා. කොයි ආයාතනය කවර ලෙසකින් කීවත් විපතට පත් ජනතාව වෙත ලබාදීම සඳහා මහජනයා ලබාදුන් ආධාර වංචාකළ ජනමාධ්‍ය ආයතන නිළධාරින් ගැනත් පසුගිය කාලයේ අසන්නට ලැබුනා.

අපේ රටේම ජනතාවගෙන් කොටසක් ස්වභාවික විපතකට ලක්වීමේදී ඉන් ප්‍රචාරක වාසි ලබාගන්නා සමහර ජඩ මාධ්‍යයන් මෙම නිර්ලජ්ජී වැඩසටහන් නවතා දමා යම් ක්‍රමානුකූල ක්‍රමයකට අපේ රටේම සහෝදර ජනතාවගේ ආධාර උපකාර,ඒවා අවශ්‍යම අය වෙත බෙදාහැරීම සඳහා සුදුසු දීප ව්‍යාප්ත ක්‍රමවේදයක් සැකසීම සඳහා වගකිව යුත්තන්ගේ අවධානය යොමුකිරීම කාලීන අවශ්‍යතාවයක් බව මෙහිදී සටහන් සුදුසුයි.එමෙන්ම තම වැඩසටහන් අසන නරඹන අසන්නන්ට ප්‍රේක්ෂකයන්ට දිනපතා, සතිපතා, මාස්පතා රුපියල් ලක්ෂ කෝටී ගණන් දෙන බවට පුරසාරම් දොඩන විද්‍යුත් මාධ්‍ය ගංවතුරක් නාය යෑමක් වැනි ස්වභාවික ආපධාවකදී නැවත ඒ අසන්නන්ටම අතපෑම විශ්මයට වගේම හාස්යටද කරුණක්.

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.