Breaking
23 Feb 2025, Sun

කලු සල්ලි ජාවාරම ඉදිරියේ නීතිය නැවුණ හැටි.. කළු සල්ලි සුදු කරන්නන්ගේ පාරාදීසය

Published on: Feb 28, 2018- ආර්ථීකයේ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කරන්නේ යයි කීවේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවයි. ඒ සමඟ තවත් වැඩ කිහිපයකම කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කරන බව දේශපාලන වේදිකාවල කියවිණි. එහෙත්, ඒ කියු කිසිවක කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත් වූ බවක් නම් අසන්නට තිබුණේ නැත. ඒ ආණ්ඩුව පෙරළා මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් ද මේ වන විට වසර තුනකට ආසන්න කාලයක් ගත වී ගොසින්ය. මේ ආණ්ඩුවත් ඒ කියූ කිසිවක කේන්ද්‍රයක් බවට ලංකාව පත් කරන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ආණ්ඩු කෙරූ සහ ආණ්ඩු කරන දෙපිරිසගේම ආනුභාවයෙන් වෙනත් කේන්ද්‍රස්ථානයන් බවට නම් ලංකාව ඉක්මනින්ම පත් වෙමින් තිබේ. ඒ නිකම්ම නිකම් නොවේ. ජාත්‍යන්තර වාර්තා ද තබමිනි.

දකුණු ආසියානු කලාපයට මත් කුඩු ඛෙදාහරින කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් වී තිබෙන බව කියවුණේ දේශපාලන වේදිකාවල නොවේ. ඒ බව සමීක්ෂණ වාර්තාවලින් පවා හෙළි විය. මුදල් ජාවාරම්කරුවන්ගේ, උණ්ඩියල්කරුවන්ගේ, කළු සල්ලි සුදු කරන්නන්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙමින් ලංකාව දූෂණයෙන් ලෝකයෙන්ම හතර වන ස්ථානයට පත් වූයේ පහුගිය අවුරුද්දේදීය. ඒ නිසාම ලෝකයේම ජාවාරම්කරුවන්, දූෂිතයන් සිය හොර මගඩි සිදු කිරීමට ලංකාව සුදුසුම තැනක් වශයෙන් හඳුනාගෙන ඇති බව පසුගිය කාලයේ අසන්නට ලැබුණු සිදුවීම්වලින් පැහැදිලි වේ. මේ කියන්නට යන්නේ ද එවැනිම ජාත්‍යන්තර ජාවාරමක සිදුවීම් පෙළක් එකින් එක දිගහැරෙමින් තිබෙන හැටිය.

මැලේසියානු සම්භවයක් ඇති ව්‍යාපාරිකයෙකු සිය පුත්‍රයා සහ තවත් දෙදෙනෙකු සමග එක්ව නීති විරෝධී ලෙස මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ දරන විට රේගු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ජෙය සූධීර් ජයරාම් නමැති මෙම පුද්ගලයා අමෙරිකානු ඩොලර් 50,000 ක් සිය ගමන් මල්ලෙහි දමාගෙන, විශේෂ අමුත්තන් සඳහා වූ සිල්ක් රූට් ඔස්සේ සිංගප්පූරුවට යාමට උත්සාහ දරා ඇත. ඒ පසුගිය නොවැම්බර් 10 වනදාය. එසේ අත්අඩංගුවට ගනු ලැබූ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී වෙනත් යානයකින් පිටත්ව යාමට සූදානම්ව සිටි ඔහුගේ පුත්‍රයා ළඟ තිබී තවත් ඇමෙරිකානු ඩොලර් 50,000 ක මුදලක් සොයා ගැනීමට හැකියාව ලැබී තිබේ. එපමණක් නොව, මේ පිය – පුතු දෙදෙනා සමඟ සම්බන්ධතා පැවැත් වූ තවත් දෙදෙනෙකු එදිනම අත්අඩංගුවට ගැනුණේ තවත් ඇමෙරිකානු ඩොලර් 1,08,000 ක් සමගිනි. ඒ අනුව එදින රටෙන් පිට කිරීමට උත්සාහ දරා ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් 2,08,000 කි. එනම් රුපියල් කෝටි තුනකට ආසන්න මුදලකි.

මොවුන් ලංකාවට පැමිණ ඇත්තේ කුමක් සඳහාද? මෙසේ ලංකාවෙන් පිට කිරීමට උත්සාහ දැරූ මුදල් මොනවාද? මේ පිරිස ලංකාවේ සම්බන්ධකම් පවත්වා ඇත්තේ කවුරුන් සමඟද? මේ කිසිවකට නිසි පිළිතුරක් සොයා ගැනීමට තවමත් හැකියාව ලැබී නැත. වව්නියාවේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා ලංකාවට පැමිණි බව ඔවුන් විසින් පවසා තිබේ. මේ මුදල් කැසිනෝ ක්‍රීඩාවෙන් උපයා ගත් මුදල් බවද ඔවුන් පවසා ඇත. එහෙත්, මේ කිසිවක් පිළිබඳ සොයා බැලීමක් සිදු නොකර පරීක්ෂණවලට සහාය ලබා දීමට නැවත පැමිණෙන ලෙස දිනයක් ලබා දී මුදල් පමණක් රඳවාගෙන ඔවුන් නිදහස් කර යවා ඇත. මේ වන විට ඒ පොරොන්දු වූ දිනය පසු වී සති කිහිපයක් ගත වී ඇතත්, කිසිවෙකු නැවත ලංකාවට පැමිණ නැත. මුදල් තොගය රාජසන්තක කිරීමට තීරණය කරන්නේ ඒ අනුවය. එතනින් ඒ ජවනිකාව අවසන් විය.

එහෙත් මේ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු එකින් එක දැන් අනාවරණය වෙමින් තිබේ. ජේ. සුධීර් ජෙයරාම් නැමැත්තා මෙරට ප්‍රකට මූල්‍ය සහ මාධ්‍ය ආයතනයක් සඳහා ආයෝජකයෙකු හඳුන්වා දීම සඳහා බ්‍රෝකර් කෙනෙකු වශයෙන් කටයුතු කළ අයෙකි. පසුගියදා ආරම්භ කළ මහල් හැත්තෑ පහකින් යුතු හෝර්ටන් ස්ට්වෙයා නම් බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා ද මොහුගේ සම්බන්ධයක් තිබේ.

මෙවැනි තත්ත්වයක් තුළ විදෙස් මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සාහ දරද්දී අත්අඩංගුවට පත් වන ශ්‍රී ලාංකිකයෙකු ද නොවන පුද්ගලයෙකු පරීක්ෂණවලට නැවත පැමිණෙන බවට වන පොරොන්දුවක් මත මුදාහැරීමට බලධාරීන් තීරණය කරන්නේ කෙසේද? ඔහු පැවසූයේ යයි කියමින් එම ප්‍රකාශ උපුටා දක්වන මෙරට ප්‍රකාශකයන් කියන්නේ ඔහු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු බවයි. ඔහුගේ ව්‍යාපාරයන්ගේ සහ ඔහුගේ ව්‍යාපාරිකත්වයේ දිග පළල අන්තර් ජාලය පරීක්ෂා කිරීමෙන් හොඳින්ම තේරුම් ගත හැකිය.

ජේ. සුධීර් ජෙයරාම් පිළිබඳ අන්තර්ජාල පරීක්ෂාවක දී හමු වන්නේ ව්‍යාපෘති දෙකක් සඳහා තැරැවුකරුවෙකු වශයෙන් ඔහු කටයුතු කර ඇති බවයි. ඒ ව්‍යාපෘති දෙකම දූෂණයක් නිසා නතර කරන ලෙස ඉල්ලා ඇති ඒවා බවද එහි සඳහන් වේ. ඉන් පසුව හමු වන්නේ මේ පුද්ගලයා සම්බන්ධයෙන් සිංගප්පූරු අධිකරණය විසින් පවරා ඇති නඩුවක් පිළිබඳ තොරතුරුය. එහි තීන්දුව ලබා දී ඇත්තේ 2016 සැප්තැම්බර් 27 වන දිනය. එසේම 1995 වසරේ ඇරඹුණු දෙවන ගල්ෆ් යුද්ධයෙන් පසු ඉරාකයට පැන වූ සම්බාධක හමුවේ සිදු වුණු සිදුවීම් සම්බන්ධයෙන් ද ජෙය සුධීර් ජයරාම්ගේ නම ඈඳී තිබේ. ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීමෙන් පසු ඉරානයට පැන වූ සම්බාධක හමුවේ සිදු කරන තෙල් වෙළෙඳාම අතරතුර කෙරුණු වංචා, දූෂණවල දී ඒවායෙන් විශේෂ වාසි ලැබූ පුද්ගලයෙකු ලෙස ජෙය සුධීර් ජයරාම් නම් කර තිබේ.

මේ පුද්ගලයා ලංකාවේ සම්බන්ධ වූ ව්‍යාපෘති ද ගැටලූකාරී ඒවාය. කොළඹ හෝර්ටන් පෙදෙසේ ඉදි කිරීමට කටයුතු යොදා ඇති මහල් හැත්තෑ දෙකකින් යුතු ව්‍යාපෘතිය නවතා දැමිය යුතු බව ආර්ථීක කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව නිර්දේශ කර තිබේ. මෙම ව්‍යාපෘතිය ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක ව්‍යාපෘතියකි. ඒ සඳහා සම්බන්ධ වී ඇති අනෙක් පුද්ගලයා වන රාමසාමි මුත්තුසාමි මනිවානන් නැමැත්තා ද ජයරාම්ගේ ව්‍යාපාරික සගයෙකි. ඔහු ලංකාවේ තවත් ප්‍රකට ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ විනෝදාංශය වූ අභ්‍යවකාශගත වීමට අදාළව ලංකාවේ මුදල් රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් යැව්වා යයි කියන චන්ද්‍රිකාව යැවූ සුප්‍රීම් සැට් සමාගම සමඟ මොහුගේ සමීප සම්බන්ධයක් ඇති බව හෙළි වී තිබේ.

පාඨලී චම්පික රණවක ඇමතිවරයා විසින් ජෙය සුධීර් ජයරාම් සහ මුත්තුසාමි මනිවානන් සම්බන්ධයෙන් හෝර්ටන් පෙදෙසේ කරන ඉදිකිරීම්වලට අදාළව පරීක්ෂණ පවත්වන ලෙස පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද කර තිබේ. ඒ පසුගිය වසරේ ජූලි 23 වන දිනය.

මේ කරුණු සියල්ල සොයා ගැනීම ඒ තරම් අපහසු කාර්යයක් නොවේ. අන්තර් ජාලයේ මේ සියලු තොරතුරු තිබේ. ගත වන්නේ විනාඩි කිහිපයක් පමණි. එහෙත්, ඒ කිසිවක් සිදු නොකර මොවුන් පිටත් කර යැවීමට රේගු බලධාරීන් කටයුතු කිරීම පිටුපස වෙනත් සම්බන්ධයක් තිඛෙන බව ඉතාම පැහැදිලිය.

මොවුන් පැමිණ ඇත්තේ ලංකාවේ ආයෝජන කිරීමට බව පැවසේ. එහෙත්, ඔවුන් අත්අඩංගුවට පත් වන්නේ මෙරටින් මුදල් නීති විරෝධීව පිට කිරීමට උත්සාහ දැරීමේදීය. එහිම පරස්පරයක් තිබේ. මොවුන් පිළිබඳ සැක කරන්නට මොළේ කළඳක් හෝ තිඛෙන ඕනෑ කෙනෙකුට එයම ප්‍රමාණවත්ය.

මොවුන් ජාවාරම්කරුවන්ය. එහෙමත් නැත්නම් ජාවාරම්කරුවන්ගේ තැරැවුකරුවන් හෝ හෙංචයියන්ය. මොවුන් සම්බන්ධකම් පැවැත් වූ මෙරට කිහිප දෙනෙකු පිළිබඳව ද කියවේ. එසේ නම් ඔවුන්ගේ ද මේ සම්බන්ධයක් තිබෙන බව සිතිය හැකිය. කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක් මේ පිටුපස තිබිය හැකිය. පැමිණිල්ලක් තිබිය දී පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් ගත් පියවර මොනවා දැයි සොයා බැලිය යුතුය.

එහෙත් රට තුළ දූෂිතයන් සිටින්නාක් මෙන්ම දූෂිතයන්ට කරණම් ගැසීමට ලංකාවේ දී හැකියාව ඇති බව මේ සිදුවීම තුළින් තවත් වරක් ලෝකයට ප්‍රදර්ශනය කිරීමට වගකිවයුත්තන් උත්සාහ දරා තිබෙන්නේ දූෂණයෙන් තවත් ඉදිරියට ඒමට ඔවුන්ට වුවමනා නිසා විය හැකිය.

චතුර දිසානායක

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.