Breaking
24 Feb 2025, Mon

නැගෙනහිර පළාතේ මහ ඇමති නෂීර් අහමඩ් සාම්පුර් කඳවුරේ නාවික හමුදා ප්‍රධානියාට හා පළාතේ ආණ්ඩුකාරයාට බැණ වැදීමේ සිද්ධියක් සමාජයීය මාධ්‍යවල පළවෙලා දැන් හැමෝම වගේ දන්න කාරණයක් බවට පත්වෙලා. මේ සිද්ධිය ජාතික ජනමාධ්‍යවලට මුලින් ම වාර්තා වුනේ නැත්තෙ මොකද කියන ප්‍රශ්නෙත් ඒ අතර තියෙනවා. දැන් නම් ජාතික ජනමාධ්‍යවලත් සිද්ධිය වාර්තා වෙනවා. සාම්පුර් පළාතේ වාර්තාකරුවන් සිද්ධිය ජාතික ජනමාධ්‍යවලට වාර්තා නෙකෙරුවෙ ඇයි ද කියලා හරියට ම හිතාගන්න අමාරුයි. වාර්තාකරුවන් ද සිංහල නොවන නිසා සිද්ධියෙන් මුස්ලිම් මහ ඇමතිට කැළලක් වේවි කියා වාර්තා නොකළාද, එහෙමත් නැත්නම් මහා ඇමතිට බයේ වාර්තා නොකළාද යන්න අනුමාන කරන්න බැහැ. මහ ඇමතිට කිසිම කරුණාවක් නැති බව ඔහු අතපය විසිකරන විට කුඩා ළමයකුගේ ඇඟේ ඔහුගේ අත වැදීම ගැන කිසිම සැළකීමක් නොකිරීමෙන් පෙන්නුම් කරනවා. මහ ඇමතිගෙන් එච්චර කරුණාවක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

මේ සිද්ධියට මුල සාම්පුර් පාසලක සිසුන්ට පාසල් බෑග බෙදාදීමේ උත්සවයකට මහ ඇමතිට ආරාධනා නොකිරීම කියා වාර්තා වෙනවා. මහ ඇමති හදිසියේ ම වේදිකාවට කඩා ඇවිත්.ඒ අවස්ථාවේ දී ළමුන් ද වේදිකාවට පැමිණෙමින් තිබෙනවා. මහ ඇමති එන විට ළමුන් අවහිරයක් වෙලා තියෙනවා. මහ ඇමති නාවික හමුදා නිලධාරියාට බැණ වැදී ඇත්තේ තමාට ආරාධනා නොකිරීමත් ළමුන් ඉවත් කර තමාට ඉඩ ලබා නොදීමත් පිළිබඳ ව. උත්සවය සංවිධානය කර ඇත්තේ නාවික හමුදාවෙන් වෙන්න ඇති. උත්සවයේ ප්‍රධානත්වය තිබුණේ ළමුන්ට. මේක හරියට චණ්ඩියකු මගුල් ගෙදරකට කඩා වැදී ඒ සංවිධානය කළ දෙමවුපියන්වත් මනාළ යුවළත් එක් සාක්කිකාරයකුවත් බැණ වැදී ඉවත් කර අනෙක් සාක්කිකාරයා සිපගන්නවා වගේ වැඩක්. සාක්කිකාරයන් ලෙස මා සලකන්නේ නිවට ආණ්ඩුකාරයාත් ඇමරිකන් තානාපතිවරයාත්. මහ ඇමති තමා ඉන්දීය සම්භවයක් ඇති ඇමරිකන් තානාපතිට ගරු කරන බව නම් ඉතා පැහැදිලිව කියා තිබුණා. කොහොමටත් සිංහල බෞද්ධ විරෝධීනට බටහිර තානාපතිවරුන් වටිනවා. අද සිංහල නොවන දේශපාලනඥයන් ගරු කරන්නෙ බටහිර හා ඉන්දීය තානාපතිවරන්ට මිසක් සිංහල දේශපාලනඥයන්ට නො වේ.

මේ සිද්ධිය ගැන නාවික හමුදාව මහ ඇමතිට විරුද්ධව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන බව කියනවා. විය යුතු පරිදිම ආරක්‍ෂක ලේකම්ට මේ කිසිවක් වාර්තා වී නැහැ. ඉන්දිය හමුදා මෙරටට කඩා වැදුණත් ඔහුට වාර්තා වෙන එකක් නැහැ. නිවට කමේත් සීමාවක් නැද්ද? ආණ්ඩුකාරයා සමග මා මාස කිහිපයක් කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේ කටයුතු කර තිබෙනවා. ඒ හැරෙන්නට මා ඔහු ගැන දන්නේ දෙමළ ත්‍රස්තවාදීන්ට ඇපල් ගෙන ගිය හිටපු ආරක්‍ෂක ලේකම් කෙනකු ලෙසයි. විශ්වවිද්‍යාලවලින් බිහිවන පරිපාලන සේවයේ කිහිප දෙනකු හැර අනෙක් අය ගැන කියන්න ඇත්තේ බටහිර ගැති නිවට අධ්‍යාපනයේ වරද කියායි. අපි තව තවත් බටහිර දැනුම ඉදිරියේ වැඳ වැටෙමු! බටහිර දැනුම වහල්කර ගැනීම එකක් බටහිර දැනුමට වහල්වීම තවත් එකක්. වෙබ් අඩවියක් සංස්කරණය කරන ඊනියා නීල මහා යෝධයකු කෙසේ කීවත් අනගාරික ධර්මපාලතුමා බටහිර දැනුමට වහල් විය යුතු යැයි කියා නැහැ.

සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව දේශපාලනඥයන්ගේ සාමාන්‍ය හැසිරීම මහ ඇමති පෙන්නුම් කර තිබෙනවා. එහෙත් මෙහි එයට වැඩි දෙයක් තිබෙනවා. යම්කිසි ආකාරයකින් සිංහල මහ ඇමතියකු දෙමළ නිලධාරියකුට නොව දෙමළ ත්‍රස්තවාදියකුට බැණ වැදුණේ යැයි සිතමු. එසේ ම දෙමළ ආණ්ඩුකාරයකුට බැණ වැදුණේ යැයි සිතමු. එය බටහිර තානාපති නිලධාරියකු ඉදිරියේ දී සිදුවිණි යැයි ද සිතමු. එවැනි අවස්ථාවක ආණ්ඩුවේ ජනමාධ්‍ය, සිකුරාදාට නිකුත්වන සිංහල විරෝධී හඬේ රාවය, පාකියසෝති සරවනමුත්තුගේ විකල්ප ප්‍රතිපත්ති අටමගල, ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, සිංහල යැයි කියාගන්නා කසිකබල් පඬියන්, දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්‍ෂ, සිංහල බෞද්ධ විරෝධී එ ජා පක්‍ෂය, මාක්ස්වාදී ත්‍රිරෝද පක්‍ෂ කෙසේ ක්‍රියා කරන්නට තිබිණි ද? බටහිර තානාපතිවරුන් විදේශ අමාත්‍යාංශයට පැමිණිළි නොකර සිටීවි ද? ඊනියා සංහිඳියාවට ඒ තර්ජනයක් බවත් සිංහල බෞද්ධ ආධිපත්‍යය එමගින් පිළිබිඹු වන බවත් ඔවුන් නොකියා සිටීවි ද?

මහ ඇමතිට ඇත්තේ බටහිර රටවල හා ඉන්දියාවේ ශක්තියයි. මහ ඇමති යනු බටහිර හා ඉන්දීය ශක්තිය මත පවතින්නකු පමණයි. කොහොමටත් දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා නොමැති ව මහ ඇමතිත් නැහැ. ඒ සංශෝධනය හා පළාත් සභා අප මත පැටෙව්වෙ බටහිරයන්ගෙ අනුග්‍රහය හා අනුමැතිය ලැබූ ඉන්දියාවයි. මහ ඇමති සිංහලයන්ගේ නිවටකම රිසි සේ ප්‍රයෝජනයට ගන්නවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ද මැදිහත්වීමෙන් බිහිවන අලුත් ව්‍යවස්ථාව සිංහලයන්ට නිවටකම හැරෙන්න අන් සියල්ල අහිමි කරාවි. අදවත් අපි බටහිර හා ඉන්දීය කෙරුවාව තේරුම් ගැනීමට උත්සාහ කරමු.
නලින් ද සිල්වා

2016 මැයි 26

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.