LNN SPY

කාලය ගෙවි යනවා….. ඉක්මනින්ම ස්වයංතීරණයේ අයිතිය පිළිගන්නා… විග්නේෂ්වරන්,මෛත්‍රීගෙන් ඉල්ලයි…

Published on: Jun 22, 2018- දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වන ස්වයංතීරණයේ අයිතිය පිළිගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේස්වරන් ඉල්ලිමක් කර තිබේ.

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුවේදී මෙම ඉල්ලිම කර ඇති අතර එහිදි විග්නේෂ්වරන් අවධාරණය කර ඇත්තේ දැනට වෙන්ව පවතින පළාත් වලට සිය කැමැත්ත පරිදි ඒකාබද්ධ වීමේ අයිතිය ලබා දෙන ලෙසයි.

“ළඟදී අපේ නායකතුමා හමු වූ වෙලාවේ මෙම අවුරුද්ද තුලදී විසඳුමක් ලබා ගත හැකි බව ඔබ තුමා දැනුම් දුන් බව අපට දැනගන්න ලැබුනා. ඒ නිසා විසඳුමක් ලැබෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ පියවර නිසා ඔබතුමාට දේශපාලන වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුනොත් පළාත් නමයටම ස්වයංපාලනයේ අයිතිය ලබා දෙන්න. අවශ්‍ය උනොත්, පළාත් වලට එක්වීමේ අයිතියත් ලබා දෙන්න.”

“උතුරු නැගෙනහිර ජීවත්වන දෙමළ කතා කරන ජනතාවට එක්සත් ලංකාවක් තුල ස්වයංතීරණයට ඇති අයිතිය, තමන් ගැන තමන්ම තීරණය ගෙන පාලනය කිරීමේ අයිතිය ඔබතුමා පිළිගන්න ඕනේ,”

සුළු ජන කොටස් අතර ගැටුම් ඇති කිරීම සඳහා රජය ‘යටිකූට්ටු’ වැඩපිළිවෙලක් ගෙනයන බවට අනතුරු ඇඟවූ මහ ඇමැති විග්නේස්වරන් එය වහාම අත්හිටුවා හින්දු ඉස්ලාම් ආගම්වලට අයත් සහෝදර ජනතාවට එකමුතුව ජීවත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස ආයාචනය කර සිටියේය.

මේ අතර යුද්ධයෙන් පීඩාවට පත් හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට වන්දි මුදලක් ප්‍රදානය කිරීම සඳහා නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපනය, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු භාර අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් විසින් ගෙන එන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම ගැන ඔහු කනගාටුව පල කළේය.

එම යෝජනාවට චම්පික රණවක ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විරෝධය පලකළ බව රජය දැනුම් දී තිබුනි.

“අපේ ජනතාවගේ අවශ්‍යතා ලැයිස්තුව දිගයි,” යනුවෙන් සඳහන් කළ මහ ඇමැති විග්නේස්වරන් කියා සිටියේ ඒ වෙනුවෙන් මැදිහත් වන පුද්ගලයන් වෙනුවෙන් කළගුණ සැලකීමට දෙමළ ජනතාව මැලි නොවන බවයි.

“දෙමළ ජනතාව තමන්ට කරපු උදව් කරපු අය කවුරු උනත් අමතක කරන්නේ නෑ. ඒ අය මල් මාල දාලා පිළිගෙන ගෞරව කරන්නත් ඉදිරිපත් වෙනවා. ඒත්, ඒ වැඩකටයුතු පිටුපස දේශපාලන උවමනාවක් තිබේනම්, ඒක හඳුනාගැනීමටත් ඒකට නිසි පිළිතුරු දීමටත් පසුබට වන්නේ නෑ.”

Top