Breaking
25 Feb 2025, Tue

කුමට අයවැය හා මුදල් ඇමති

අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය කුජ දා තවත් විශේෂ ප්‍රකාශයක් කෙළේ ය. ඔහු යම් දිනෙක සාමාන්‍ය ප්‍රකාශයක් කිරීම විශේෂයක් වනු ඇත. කෙසේ වෙතත් කුජ දා කුජ හෙවත් අඟහරු ග්‍රහයාගේ (පඬියන්ගේ දැනගැනීම සඳහා ග්‍රහ වස්තුවේ නොව) දිනය වෙයි. අඟහරු යුද්ධයට අධිපති ග්‍රහයා වෙයි. රනිල්ලා දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදයට එරෙහිව කළ මෙහෙයුම් (පඬියන්ට අනුව යුද්ධය, එහෙත්– ඒ සිවිල් යුද්ධයක් හෝ රටවල් දෙකක් අතර යුද්ධයක් හෝ නො වී ය) සමච්චලයට ලක් කෙළේ තොප්පිගල කැලෑවක් යැයි කියමිනි. රනිල්ලාට කිසි දිනෙක කුජ ග්‍රහයා ආධාර නොකරනු ඇත. කුජ දා කළ ඊනියා විශේෂ ප්‍රකාශයට අඟහරු ග්‍රහයා තදබල විරුද්ධතාව දක්වන්නේ යැයි සිතිය හැකි ය. මා එය කියන්නේ පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාවේ කෙරෙන තර්ක විරෝධී ඊනියා නිගමනයක් ලෙස නො වේ.

රනිල් තම තවත් විශේෂ ප්‍රකාශයකින් වැට් බද්ද හෙවත් එකතු වූ අගය මත අය කෙරෙන බද්ද 15% දක්වා වැඩි කර ඇත. තව තවත් බදු පටවා ඇත්තේ බදු සංශෝධනය කිරීම යන්නට මුවාවෙමිනි. රනිල් සුපුරුදු පරිදි තම නොහැකියාව වසා ගැනීමට ගෙදර තිබෙන මුව හමට හෙවත් ඊනියා රාජපක්‍ෂ රෙජිමයට තඩි බායි. රාජපක්‍ෂ රෙජිමයේ ණය උගුලින් ගැලවීමට බදු වැඩි කිරීමට සිදු විණි යැයි ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර ඇත. ඒකාබද්ධ විපක්‍ෂය දැනට කටයුතු කරන ආකාරයට නම් ඔහුට ඉදිරි අවුරුදු හතරහමාරේ දී ද මුව හමට තඩි බාමින් බදු වැඩි කිරීමට හැකි වනු ඇත.

රනිල්ගේ ඊනියා විශේෂ ප්‍රකාශවලින් කරුණු දෙකක් හෙළි වෙයි. මෙරට නීතියෙන් කෙසේ වෙතත් ප්‍රායෝගික ව මුදල් ඇමති රනිල් බව පැහැදිලි ය. මහා බැංකු අධිපති ලෙස අරජුන් මහේන්ද්‍රන් පත් කෙරුණේ ඔහුගේ අවශ්‍යතාවට ය. රවි කරුණානායක අයවැය ඉදිරිපත් කිරීමට පෙර රනිල් පාර්ලිමේන්තුවට රටේ ආර්ථිකය පිළිබඳ ඊනියා විශේෂ ප්‍රකාශයක් කෙළේ ය. රවි කරුණානායකගේ අයවැය දැන් කිහිප වතාවක් ම සංශෝධනය කෙරී ඇත. අද වන විට ක්‍රියාත්මක වන අයවැය හා බදු කවරේ දැයි භාණ්ඩාගාරයට ද ප්‍රශ්නයක් විය හැකි ය. මහජනයා ගැන කියනුම කවරේ ද? අයවැයෙන් හා මුදල් ඇමතිගෙන් ඇති ඵලය කුමක් ද? වැඩි කළා යැයි කී වැටුප් නොගෙවීම්, පොහොර සහනාධාර කැපීම් ආදී වශයෙන් මේ පිටුව පිරෙන තෙක් ආණ්ඩුවේ දුර්දාන්ත ආර්ථික ප්‍රතිපත්ති ගැන ලිවිය හැකි ය. කෘෂිරසායනික ගොවිතැන පමණක් නොව බටහිරින් අපට පැටවී ඇති අධ්‍යාපනය ද, ආර්ථික ප්‍රතිපත්ති ද රටට අහිතකර ය.

කෘෂිරසායන භාවිතය නැවැත්වීමට පැහැදිලි දර්ශනයක් සහිතව වැඩ පිලිවෙළක් අවශ්‍ය ය. එසේ නැතිව පොහොර සහනාධාරය කපා දැමීම ආණ්ඩුවේ බංකොළොත් ආර්ථිකයට තවත් උදාහරණයක් පමණි. ආණ්ඩුව පොහොර සහනාධාරය කපා දමන්නේ දේශීය ගොවිතැනක් ගැන වූ ලෙන්ගතු කමකින් නොව ආණ්ඩුවට මුදල් නොමැති කමින් ය. කෘෂිරසායනික වකුගඩු රෝගයට සිංහල පාරම්පරික බෙහෙත් ඇත. මම ඒ බව පෞද්ගලිකව දනිමි. අද එක්තරා රූපවාහිනී නාළිකාවක් වකුගඩු රෝගය ගැන කතාකරමින් ඊනියා සම්මාන දිනා ගනියි. එහෙත් අප රෝගය ගැන කතාකිරීමට නොව රෝගීන් සුවකිරීමට කළ කාර්යය ගැන කිසිදු ප්‍රසිද්ධියක් මේ නාළිකාවෙන් ලබා නො දෙයි. අපි එහි දී සිංහල පාරම්පරික ප්‍රතිකර්ම යොදා ගතිමු. ආණ්ඩුව මෙන් ම බොරුවට ජාතිකත්වයක් ගැන කතාකරන නාළිකාව ද සිංහල වෙදකමට නිසි තැන ලබා දීමට ප්‍රයෝජනවත් කිසිවක් නො කරයි. ආණ්ඩුවට දේශීය වෙදකම අමතක කර දේශීය ගොවිතැනක් ගැන කතාකළ නො හැකි ය.

අනෙක් අතට පොහොර සහානාධාරය කපා දැමීමට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂයෙන් සැලකිය යුතු කිසිවක් නො කෙරෙයි. එබැවින් ජ වි පෙ ප්‍රශ්නය අතට ගෙන ඇත. එහෙත් ජ වි පෙරමුණට වැඩි දුර නොයනු ඇත. ජ වි පෙ යනු ආණ්ඩුවේ ආයුධයක් පමණකි. ගොවියන් අතරමං වනු වැළැක්විය හැකි බලවේගයක් රටේ වේ ද? කෙසේ වෙතත් මෙරට වී ගොවිතෑනට කණකොකා හඬලන දිනය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. කලකට ඉහත ලලිත් ඇතුළත්මුදලි පඬි කතාවක් කියමින් මෙරට වී ගොවිතැන් නොකර ලාභයට පිටරටින් හාල් ගෙන්විය හැකි බව කීවේ ය. ඒ කතා අපට නැවතත් ඇසීමට සිදුවනු ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයකි. ජනතාවට එහි සාමාජිකත්වයක් ලබාගත නො හැකි ය. ජනතාවට ද ක්‍රියාත්මක විය හැකි පක්‍ෂයක්, නව සංධානයක්, සංසදයක්, පර්ෂදයක් වැනි සංවිධානයක් අවශ්‍ය ය. එවැන්නකට විරුද්ධ වෙමින් පවත්නා සංධානයෙහි ක්‍රියාත්මක වීම ජනතාවට හා රටට නපුරක් ම වනු ඇත. පවත්නා සංධානයෙහි ප්‍රධාන කොටස වූ ශ්‍රී ල නි ප මිය ගොස් ය. අනෙක් අතට මෛත්‍රිපාල සිරිසේන සංධානයේ නායකයා ලෙස පිළිගැනීමට එහි නායකයන් සූදානම් ද? බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් කුමක් කීවත් ඔවුහු රට වෙනුවෙන් නොව පෞද්ගලිකත්වය වෙනුවෙන් ක්‍රීඩා කරති. ඒ බව ලසිත් මාලිංග පිළිගෙන ඇත. පෞද්ගලික වාර්තා, මුදල් ආදිය පෙරදැරි කරගෙන ක්‍රීඩාකරන විට සමහර අවස්ථාවල දී රටට ද යහපතක් වෙයි. දේශපාලනයේ දී එසේ නො වේ. පෞද්ගලික න්‍යාය පත්‍ර මත දේශපාලනය කිරීමෙන් රටට නපුරක් ම සිදු වෙයි.

රනිල්ගේ ඊනියා විශේෂ ප්‍රකාශයෙන් හෙළිවන දෙවැනි කරුණ නම් ආණ්ඩුව තම ඊනියා ජාත්‍යන්තර මිතුරන් ගැන පම්පෝරි ගැසුව ද ණය දීමට බටහිරයන් හෝ ඉන්දියාව හෝ ඉදිරිපත් නො වීම ය. ඉන්දියාව මෙන් ම බටහිර රටවල්වල ද විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ තම රටවල සුබසිද්ධිය අරමුණු කරගෙන ය. ඔවුන්ගේ ද්විපාක්‍ෂික ගිවිසුම්, ජාත්‍යන්තර ගිවිසුම් ආදී සියල්ල ඒ ඒ රට වෙනුවෙන් මිස ලෝකයේ සුබ සිද්ධිය සඳහා නො වේ. ලෝකය ගැන ඔවුන් බලන්නේ තම ආධිපත්‍යය, කලාපීය ආධිපත්‍යය රැකගැනීමට හා තහවුරු කිරීමට ය. ඉන්දියාව ඉන්දියන් සාගරය තම සාගරය ලෙස සලකයි.

අද ඉන්දියාව එට්කා ගිවිසුම මගින් මෙරට ආර්ථිකය තමන් යටතට ගැනීමට කටයුතු කරයි. තවමත් කෙටුම්පත් කර නොමැති ගිවිසුමක් ගැන අප කතාකරන්නේ කෙසේ දැයි ආණ්ඩුවේ පඬියන් අසනු ඇත. එට්කා ගිවිසුම දැක නැතත් අපි ජේ ආර් ජයවර්ධන අත්සන් කළ අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම දැක ඇත්තෙමු. එමගින් ඉන්දියාව දේශපාලන වශයෙන් අපේ රට තම ආධිපත්‍යයට නඔත කර ගත්තේ ය. පළාත් සභා උගුලේ අපි හිරවීමු. අද ඉන්දියාව ද, එංගලන්තය ද, දෙමළ ජාතිවාදීන් ද, සිංහල පඬියන් ද සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක් කරා යෑමට කටයුතු කරන්නේ පළාත් සභා හා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කරගනිමිනි. එදා මෙරට යුවරජු මෙන් ක්‍රියාකළ ඩික්සිත් ජේ ආර්ගේ අත අඹරා තම කාර්යය ඉටුකර ගත්තේ ය. ඉන්දියාව කිසි දිනෙක අපට හිතවත් වී නැත. එදා චෝල , මෞර්ය ආදී වාංශික රාජ්‍ය අපට විරුද්ධව ක්‍රියා කෙළේ ය. එට්කා ගිවිසුම ගැන ඉන්දීය ජනතාවගේ ප්‍රතිචාරය කුමක් දැයි ආණ්ඩුව පවසන්නේ ද? අපට වාසි සහගත ඉන්දියාවට අවාසි සහගත ගිවිසුමකට ඉන්දියාව අත්සන් නො කරයි. ඉන්දීය කලාපීය ආධිපත්‍යයත් ඒ මගින් එන එට්කා ගිවිසුමත් හඳුනාගැනීමට අපට ගිවිසුම එන තෙක් බලා සිටිය යුතු නො වේ.

අද ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ලෙස ක්‍රියාකරන්නේ සිංහ ය. එහෙත් ඔහු සිංහල විරෝධී ය. ඩික්සිත් වෙනුවට සිංහ වෙයි. ජේ ආර් වෙනුවට රනිල් වෙයි. රජිව් ගාන්ධි වෙනුවට නරේන්ද්‍රසිං මෝදී වෙයි. එදා අපි දේශපාලන වශයෙන් යටත් වීමු. අද අපි ආර්ථික වශයෙන් යටත්වීමට සූදානම් වෙමු. අප එට්කා ගිවිසුම ගැන කතාකරන්නේ ඉන්දියාවේ කලාපීය අධිපතිභාවය, ඔවුන් පිටුපස ඇති බටහිර ලෝක ආධිපත්‍යය හා ඉන්දියාවේ අභිලාෂ තේරුම් ගනිමිනි. මේ නූපන් දරුවන්ගේ කේන්දර බැලීමක් නො වේ. උපදින්නට සිටින දරුවන්ගේ පින් පව් හා ඔවුන්ගේ පැරණි ආත්ම හා දෙමව්පියන් ගැන දැනගෙන කරන විග්‍රහයකි. අපට අවුරුදු දෙදහස් පන්සියයකට වැඩි අත්දැකීම් චේර පාණ්ඩ්‍ය චෝල වංශ ගැන මෙන් ම අශෝකගේ මෞර්ය වංශය ගැන ද ඇත. එමෙන් ම මෑත ඉතිහාසයේ සංස්කෘතික ආධිපත්‍ය ගැන ද අත්දැකීම් ඇත. ආයුර්වේදය, උත්තර භාරතීය සංගීතය ආදිය මගින් පැමිණි සංස්කෘතික ආධිපත්‍යයෙන් මිදීමට අප තවම සිතාවත් නැත. අප සිතා ඇත්තේ අධිපතිවාදී රාමායනයේ සීතා ගැන පමණ ය. රනිල් පසුගිය දා (ලංකාවේ) හනුමන්ලාට රට ගිනි තැබීමට ඉඩ නොදෙන බව කීවේ ය. එහෙත් ඔහු විභීෂණ නම් ඔහුට කළ හැක්කේ ඉන්දියාවේ හනුමන්ලාට හා රාමලාට ඉඩ දීම පමණකි.

සිංහ විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයන් විවේචනය කරයි. අද ඉන්දියාව විවේචනය කරන මේ දේශපාලනඥයන්ගෙන් සමහරකු කලකට පෙර ඉන්දියාවට ගැති වූ අය බව පැහැදිලි ය. එහෙත් ඔවුන්ගේ චර්යාව ගැන මත ප්‍රකාශ කිරීමට සිංහට ඇති අයිතිය කුමක් ද? ඉන්දියාවේ ලංකා මහා කොමසාරිස් ඉන්දීය දේශපාලනඥයන් විවේචනය කළහොත් ඇතිවන තත්ත්වය කුමක් ද? ජේ ආර් මාමාගේ සමයෙහි දී රජිව් ගාන්ධි වෙනුවෙන් ඩික්සිත් මෙරට යුවරජු (විසූරේ) විය. අද රනිල් බෑණාගේ සමයෙහි දී මෝදී වෙනුවෙන් සිංහ යුවරජු තනතුරෙහි වැඩ කරයි.

බටහිර රටවල් මේ ආණ්ඩුවට ණය දීමට සූදානම් නැත. එක් පැත්තකින් ඔවුන්ට ද අගහිඟකම් වෙයි. රනිල්ට හෝ මෛත්‍රිපාලට හෝ ජපානයෙන් හෝ බටහිර රටකින් හෝ ලැබුණු කෙංගෙඩියක් නැත. බටහිර රටවල් මුදල් වියදම් කරන්නේ නම් ඒ තමන්ට අවශ්‍ය ආකාරයට අපේ රටවල හමුදා සංවිධානය කිරීමට ය. නැත්නම් ඔවුන්ට හිතවත් නැති ආණ්ඩු පෙරළා දැමීමට ය. අරාබිකරයේ විවිධ වසන්ත ඒ සඳහා විය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පෙරළා දැමුවේ ද ඒ ආණ්ඩුව මේ ආණ්ඩුව මෙන් ඔවුන්ගේ බෙර පදයට නටන නිවට ආණ්ඩුවක් නොවූ බැවිනි. ඔවුහු ආණ්ඩු පෙරළා දැමීමට ආධාර කළ ද ආණ්ඩු පවත්වාගෙන යෑමට ආධාර නො කරති. අද ආණ්ඩුව ආර්ථික අර්බුදයකට මැදි වී ඇත. ඔවුන්ට ණය දෙන ඊනියා මිතුරන් නැත. ආණ්ඩුවට චීනය හැර අන් සරණක් නැත. එහෙත් චීනය මේ ආණ්ඩුවට ආධාර කරාවි ද? ආණ්ඩුව, ඉදිරියේදීත් ඊනියා විශේෂ ප්‍රකාශ කරමින් අයවැය දිගින් දිගට ම සංශෝධනය කරමින් ජනතාවට බදු පැටවීමටත් ජනතාවගෙන් ණය ගැනීමටත් කටයුතු කරනු ඇත.

නලින් ද සිල්වා

2016 මාර්තු 10

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.