Political

කෝ මගේ ඩොලර් බිලියන 18… බඩු මිල පහළ ගියත් අද මිනිස්සුන්ගේ අතේ බඩු මිල දී ගන්න තරම් මුදල් නෑ

එදා 1977 දී නිදහස් පක්ෂය ලැබූ පරාජයෙන් පසුව පොලීසියට සතියක් නිවාඩු දුන් එක්සත් ජාතික පක්ෂය අද ඊටත් එහා ගොස් එෆ්. සී. අයි. ඩී කියා අලුතෙන්ම පොලීසියක් හදාගෙන රිසිසේ දේශපාලන දඩයම කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

වසර තුනකට පෙර ඇරඹුණ ඒ දේශපාලන දඩයම අදටත් නිමා කර නැති බව පැවසූ රාජපක්ෂ මහතා මේ අයට අවශ්‍ය වී ඇත්තේ සාධාරණ පරීක්ෂණ පැවැත්වීමට නොව පරීක්ෂණ මුවාවෙන් තමන්ට මඩ ගැසීමට පමණක් බවත් පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ හිටපු ඇමැතිවරයකු, ආණ්ඩුකාරවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන දිවංගත රෙජී රණතුංග මහතාගේ 81 වැනි ඡන්ම දින සැමරුම් උළෙලට මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී ඊයේ (22) සහභාගී වෙමිනි. මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

රෙජී රණතුංග මැතිතුමාගේ ගුණ සැමරෙන සෑම අවස්ථාවකම මම ඒවාට සහභාගී වී තිබෙනවා. පසුගිය වසරේ 80 වැනි ඡන්ම දින සැමරුම පැවැත්වෙන අවස්ථාවේ දී වගේම මේ වසරේ 81 වැනි සමරුවටත් සහභාගී වන්නට ලැබීම මම භාග්‍යයක් ලෙස සලකනවා. අපේ මිත්‍රයකු, ප්‍රතිපත්තිගරුක මිත්‍රයකු, කෙනකු අමාරුවේ වැටුණු අවස්ථාවල මගහැර නොගිය මිත්‍රයකු ලෙස රෙජී අපගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා.

එවන් මිත්‍රයකු පුත්‍රයකු වශයෙන් ප්‍රසන්න මන්ත්‍රීතුමා අපත් සමග අත්වැල් බැදගෙන ජනතාවගේ පැත්ත ගනිමින් කටයුතු කිරීම ගැන අපි ඉතාමත් සන්තෝශ වෙනවා. අපේ මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ අද මේ රට තියෙන්නේ අස්ථාවර තත්ත්වයකයි. කිසිදු ආයෝජකයකු මෙරටට නොපැමිණෙන, දිනෙන් දින රුපියල බාල්දු වන, ජීවන වියදම අහස උසට නැගුණු යුගයක් තමයි අද උදා වෙලා තියෙන්නේ.

මෑතක දී අපේ නායක හාමුදුරු වහන්සේ නමක් සමග කතා කරමින් සිටිය දී බඩු මිල ගැන අදහස් පළ කෙරුණා. බඩු මිල පහළ ගියත් අද මිනිස්සුන්ගේ අතේ බඩු මිල දී ගන්න තරම් මුදල් නැති එක තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. එවන් තත්ත්වයකට මේ ආණ්ඩුව අද රට ඇද දාලා ඉවරයි. අපේ කාලයේ මිනිස්සුන්ගේ අත්වල ඕනෑ තරම් මුදල් ගැවසුණා.

මිනිස්සු කාර්, ලොරි, වෑන්, ටිපර් රථ මිල දී ගත්තා. අද මිනිස්සුන්ගේ අත්වල සල්ලි නැති නිසා ඒවායින් ඈත් වෙලා. අද විවිධාකාර බදු පනත් ගෙනත් ජනතාව පීඩනයට පත් කරන්නට සූදානම් වෙනවා. අපි විශ්වාස කළේ රටේ ව්‍යාපාරිකයන්, ධනවතුන්ට ගොඩනැගෙන්නට දීලා ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ ප්‍රතිපත්තියයි. මල නොතලා රොන් ගන්නවා වගේ බදු අය කරගැනීමයි අපි අනුගමනය කළේ.

නමුත් මේ ආණ්ඩුව කරන්නේ ඒකේ අනෙක් පැත්තයි. මල තලලා දාලා රොන් ගන්නවා වගේ ජනතාව තලලා පෙලලා දාලා බදු අයකර ගැනීම තමයි මේ අයගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාටම බදු ෆයිල් ඇරලා ඒ තරුණ තරුණියන් මිල දී ගන්නා ඔරලෝසුවේ සිට සියලුදේවල් ගැන හාරාවුස්සන්නට මේ අය උත්සාහ දරමින් සිටිනවා.

පන්සලේ පින්කැටයටත් බදු ගහන ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ. දඹදෙණිය විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඊයේ මාව මුණගැහෙන්නට ආවා. උන්වහන්සේ කිව්වා මීට ඉස්සර සංචාරකයන් විහාරස්ථානය නරඹන්නට ආවාම ලැබුණු ආදායම පන්සලට ලැබුණා කියලා. දැන් ආණ්ඩුව  ඒ මුදලුත් උදුරගෙන. ඒ අස්සේ පනත් කෙටුම්පතක් හදලා තියෙනවා පන්සල් හදනවා නම් අවසරයක් ගන්න ඕනේ කියලා.

ආණ්ඩුවම කියනවා වැසිකිලි, කැසිකිලි නැති පන්සල් 1900ක් රට පුරා තියෙනවා කියලා. ඒ කියන ගමන් මීට පස්සේ වැසිකිලි, කැසිකිලි නැතිනම් පන්සල් හදන්න දෙන්නේ නැහැ කියලත් කියනවා. මේ අය කියන විදියට පන්සල හදන්න ඉස්සර වැසිකිලි, කැසිකිලි හදන්නයි වෙලා තියෙන්නේ. දැන් පන්සලක් හදන්නත් අර කමිටුවෙන්, මේ කමිටුවෙන් අවසර ගන්න වෙලා. පන්සලක් හදන්න තීන්දු කරලා මේ කියන කමිටුවලින් අවසර අරගෙන එනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.

අපේ ව්‍යවස්ථාවේ තියෙනවා බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙනවයි කියලා. නමුත් මේ ආණ්ඩුව කරන වැඩවලින් ව්‍යවස්ථාවත් උල්ලංගනය වෙනවා, ඒ නිසා අපි මේවට විරුද්ධව උසාවි යනවා කියලා හාමුදුරුවෝ ඇවිත් මාව මුණැගැහිලා කියනවා. මේ විදියට රටක් පාලනය කරන්න පුළුවන් ද කියලා කල්පනා කරලා බලන්න. ආණ්ඩුව මේවා අමතක කරන්න එක එක ජාතියේ මාතෘකා එවනවා.

විපක්ෂයේ ඉන්න අපිත් ජනතා ප්‍රශ්න අමතක කරලා ආණ්ඩුව දෙන මාතෘකාවලට අහුවෙලා ඒවා පස්සේ දුවනවා. ආණ්ඩුව අපිට එක එක ගුලි එවනවා. පසුගිය කාලයේම අපි අර්ජුන් ඇලෝසියස් ගැන කතා කළා. අද ඒක අමතක කරලා ව්‍යවස්ථාව ගැන කතා කරනවා. අපි බෙදිලා අපේ අදහස් කියාගන්නවා. අපි මොකටද කලබල වෙන්නේ? තව මේවට කල් තියෙනවා.

පාර්ලිමේන්තුවට ගේන පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය විදියට අපි තීන්දු ගන්නේ සාමූහිකවයි. අපි මුලින් නායකයන් කැදවලා තීන්දුවක් අරගෙන ඊට පස්සේ ඒ තීන්දුව අපේ මන්ත්‍රී කණ්ඩායමට දාලා අදහස් විමසලා තමයි අවසන් තීන්දුවකට යන්නේ. ඒ නිසා අපි ජනතා ප්‍රශ්න අමතක නොකර ඉදිරියට යා යුතුයි.

රෙජී රණතුංග මැතිතුමාගේ උපන් දිනය සමරන අවස්ථාවේ එතුමා දීපු දේවල්, ආදර්ශ මෙනෙහි කිරීමත් අපේ යුතුකම් බව සිහිතබා ගත යුතුයි. මට මතකයි 1977 දී අපේ රජය පැරදුණු අවස්ථාවේ දී රෙජී රණතුංග මැතිතුමා මුහුණ දීපු සිද්ධි. අනුර බණ්ඩාරනායක මැතිතුමා සමග මම ඒ වෙනකොට හිටියේ අත්තනගල්ලේ. එතකොට අපිට ආරංචි වුණා රෙජීගේ ගේ ගිනි තියලා කියලා.

මමත් අනුරත් කාගෙද පුංචි කාර් එකක් ඉල්ලගෙන අත්තනගල්ලේ ඉදලා මිනුවන්ගොඩට එන්න පිටත් වුණේ මැතිනියගේ විරෝධය මැදයි. එතුමිය අපිට කිව්වා ඒ පැත්ත අනාරක්ෂිත හින්දා යන්න එපා කියලා. නමුත් අපි ඒක නොතකා රෙජී බලන්න මේ මිනුවන්ගොඩට ආවා. ඇවිත් එතකොට පුංචි වයසේ හිටපු දරු දැරියන් එක්ක කතා කරලා තමයි අපි ආපහු ගියේ.

ඒ කාලයේ ආණ්ඩුව පොලීසියට සතියක් නිවාඩු දීලා තිබුණේ. එදා පොලීසියට නිවාඩු දුන්නා වගේම අද වෙනම පොලීසියක් හදලා ඒ පලිගැනීම් කරගෙන යනවා. එදා නිවාඩු දුන්නේ සතියයි. දැන් අවුරුදු තුනක් තිස්සේ එෆ්. සී. අයි. ඩී කියලා පොලීසියක් හදලා දේශපාලන දඩයම ජයටම කරගෙන යනවා. මගේ ඩොලර් බිලියන 18ක් හොයන්න කොයිතරම් මහන්සි වුණත් ඩොලර් තියා එක රුපියලක්වත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ.

හැබැයි මේවා ඉස්සරහට දාගෙන යුක්රේන්, ඩුබායි, අමෙරිකා යනවා. ඔස්ට්‍රේලියාවේ සති දෙකක් නැවතිලා ඉදගෙනයි පරීක්ෂණ කරන්නේ. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් නම් තවම යහතින් ඉන්නවා. දවස් දෙක තුනකට ඉස්සර පත්තරෙන් නම් දැක්කා රතු වරෙන්තුවක් නිකුත් කරලයි කියලා. වරෙන්තු නිකුත් කළාට වැඩක් නැහැ අල්ලන්න වුවමනාවක් නැත්නම්.

මේ අයට ඕනේ වෙලා තියෙන්නේ අපිට මඩ ගහන්න විතරයි. ඒවාට දැන් අධිකරණයත් පාවිච්චි කරනවා. දේශපාලන පළිගැනීම් සදහා නඩු තීන්දු දෙන බව පාර්ලිමේන්තුවේ කරන කතාවලින් පැහැදිලි වෙනවා. පාර්ලිමේන්තුවේ ඉදන් සමහර ඇමැතිවරුන් කියනවා අපි අහවල් දවසේ හිරේ යවනවා, අහවලාට ජම්පර් අන්දනවා කියලා. ඇමැති කෙනෙක් වුණාම කතා කරන්න ඕනේ වගකීමක් ඇතිවයි.

එහෙම ඇමැතිවරුන් කියන විදියට වැඩ කරනවා නම් අධිකරණයේ තියෙන ස්වාධීනත්වය කුමක්ද? නමුත් අපිට අස්වැසුමක් තියෙනවා මහින්දානන්ද, ගාමිණි සෙනරත්, යෝෂිත වගේ අයගේ තීන්දු ලැබුණු ආකාරය සම්බන්ධයෙන්. නමුත් විවිධ බලපෑම්වලට යටවුණ අයත් ඉන්නවා. මේ අය උත්සාහ කරන්නේ විරුද්ධ වෙන හැමකෙනාම උස්සගෙන යනවා කියලා ජනතාව බය කරන්නයි.

දේශපාලනඥයන් කිහිපදෙනකුට පමනයි මියගිය පසුවත් මේ වගේ සැමරුම් උත්සවවල දී ජනතා ගෞරව ලැබෙන්නේ. ඒ අතින් රෙජී රණතුංග මැතිතුමා වාසනාවන්තයි. රෙජී රණතුංග කියන්නේ මියගියත් ජනතා හිත්වලින් ඈත් නොවුණු දේශපාලනඥයෙක්. අපි රෙජී රණතුංග මැතිතුමාට නිවස් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Top