Anonymous Reporter

ගැරඩියෙකු කලු කොටියෙකු කල  සිරිසේනගේ බොරු හිල

පෙරදිග සුලග යටපත් කරමින් බටහිර සුලග හමා ගොස් වසරක් ගෙවී ගියේය . 2015  වර්ෂයේ සිය දිවුරුම් දීම වෙනුවෙන් වියදම් කලේ රු 6000 ක් යයි  සිරිසේන පාරම් බෑවා අමතක නැත . දලදා මාලිගාවෙ පත්තිරුප්පුවට නැග ජනයා ඇමතීමට රාජ උෂ්නයක් තමාට නැති බව කීවේය. නමුත් තම පදවිප්‍රාප්තියේ සහ යහපාලනයේ වසරක බොරුහිල සැමරීම වෙනුවෙන් මහජන  මුදල් මිලියන 6.5 ක් කාබාසිනියා කලේය. ජනාධිපතිවරණයට පෙර සිරිසේන  සරල බසින් ජනයාට  කියා සිටියේ දින සියයක් තුල විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවය. නමුත් ජනාධිපතිවරනයෙන් වසරක් ගතවන තැන අහෝසිකරනවා යැයි කියු තනතුරම මිලියන ගනනින් මහජන මුදල් වැයකොට සැමරීම කෙතරම් විකට සංදර්ශනයක්ද?

පදවිප්‍රාප්ති උළෙලේදී සිවරාජා නම් එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට  සමාව දීමේ දර්ශනයක් ලොවට  පෙන්වුයේය.සිවරාසා වේදිකාවට කැදවා ඔහුගේ ඔලුව අත ගෑවේය.   ”තමාව ඝාතනය කිරීමට ආ ඝාතකයාටත් සමාව දෙන ජාතියේ මිනිහෙක් ‘ ලෙස   දෙස් විදේස් තානාපතින් ප්‍රභූන් හමුවේ සිරිසේන පෙනීසිටියේය . තමා ඝාතනය කිරීමට  ආ  එල්.ටී.ටී.ඊ කාඩරයාට සමාව දි හිරෙන් නිදහස් කල  බව සිය ෆේස් බුක් අඩවියේ ඉංග්‍රීසියෙන් සටහන් කලේය. නමුත් සිරිසේන විසින්  කබරහොයා තලගොයා බවට පත්කල  බව ලොවට වසන් කල හැකිද ?

උතුරේ යුද්ධය පැවති  කාලයේදී දකුනෙන්  එල්.ටී.ටී.ඊ සැකරුවකු  අත්ඩංගුවට  ගැනුනු විටක ප්රදේශයේ දේශපාලනඥයා උත්සාහ කලේ ඒ හරහා තම ප්‍රතිරූපය පුම්බා ගැනීමටය.   එල්.ටී.ටී.ඊ සාමජිකයා  තමා  ඝාතනයට පැමිනි අයෙකු ලෙස  හංවඩුව ගැසීමට උත්සාහ කලේය. නිසි පරීක්ෂණයක් කොට චෝදනා පත්‍රයක් ගොනු කිරීමට නොහැකි  ජරාවට, ලාබ ප්‍රයෝජන වලට ගිජු පොලීසිය දේශපාලනඥයා සමග නොපැකිල  ඩීල් කලේය. දේශපාලනඥයන් මින් ප්‍රධාන වාසි 2ක්  ලැබුවේය. පලමුවැන්න නම් තමන්ට ජාතික වටිනාකමක් ආරූඩ කර ඡන්ද දායකයන් අතර වීරයකු වීමය. අනෙක නම් තමාගේ  ආරක්ෂක භට පිරිස සහ වාහන ප්‍රමානය  වැඩිකර ගැනීමය.

සිවරාසා ජෙනීපන්  ආරක්ෂක අංශ වෙත හසුවූයේ 2006 අප්‍රේල් 20 පොළොන්නරුව නගරයේදීය. එදිනම ඔහු වැලිකන්දේ පිහිටි ඕ3  සංනද්ධ බුද්ධි අංශ ආරක්ෂක නිවස්නය වෙත රැගෙන යන ලදී.

එහිදී  දින 7ක් පුරා හමුදාව  සහ කරුණා පාර්ශව සාමාජිකයන්ගේ දැඩි විමර්ශනයකට ලක් විය. එහිදී බුද්ධි අංශ වෙත  අවශ්ය  සියලු කරුනු අකුරක් නෑර හෙලිදරව් කරගත්තේය. සිවරාසා එල්.ටී.ටී.ඊ ය සමග ගත කොට තිබූ කාලය  මාස 6 පමනි. අවසාන වතාවට සිවරාසා ගෙදර ගොස් තිබුනේ පොන්ගල් අවුරුද්දේ දෙමාපියන්  බැලීමටය. ඉන් අන්තුරුව යලි  එල්.ටී.ටී.ඊ යට දරදිය ඇදීම වෙනුවට ඔවුන් හැරයාමට උත්සාහ කලේය. නැගෙනහිරට මාරුවූ සිවරාසා  සුන්ගාවිල අසලින් මතුවූයේ ගේමක් දීමට නොව පලා යාමටය. බුද්ධි අංශයට ගත යුතු කිසිවක් මේ ගැරඩියා තුල නොවිනි. සිවරාසා පොලිසියට භාරදුන්නේ ඒ අනුවය.ඇමති  සිරිසේන සිවරාසා සමහ පැටලෙන්නේ ඉන් අනතුරුවය.

සංනද්ධ බුද්ධි අංශය  නියපොතේ සිට හිසකෙස් දක්වා  පරීක්ෂා කොට සැක හැරගත් සිවරාසා පොලිසිය තුලදී මරාගෙන මැරෙන කලු කොටියෙකු බවට පත් විය. එහිදී සිවරාසා හදුන්වනුයේ සිරිසේනගේ වාහන පෙලට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිනි කලු කොටියෙකු ලෙසය. සිවරාසාට මරාගෙන මැරෙන ලේබලය අලවන්නේ සපො.අධිකාරි කුමාරසිංහ සහ  පොලොන්නරුවේ ස්ථානාධිපති එකමුතුවය .

Siwarasaසියල්ල සිදුවන්නේ ඇමති සිරිසේනගේ පූර්ණ අනුදැනුම මතය. සිංහල ලිවීමට හෝ කියවීමට නොදත් සිවරාසා මුලාකොට පාපොච්චාරණ ප්‍රකාශනයකට ඔහුගේ අත්සන සහ ඇගිලි සලකුනු ලබා ගෙන තිබිනි. අදාල ප්‍රකාශනය අත්සන කල පසු  නිදහස් වී ගෙදරයා හැකි බවට  සිවරාසා  මුලා කොට තිබුනි . පාපොච්චාරණ ලියවිල්ලේ සදහන් වූයේ තමා කෘෂිකර්ම ඇමති මෛත්‍රීපාල සිරිසේන ඝාතනයට පැමිනි මරාගෙන මැරෙන කලු කොටියෙකු බවය.

තමා ඝාතනයට පැමිනි කලු කොටියෙකු අත් අඩංගුවට පත්වූ පුවත පතුරුවා හරින ඇමති සිරිසේන නැති ජාතික වටිනාකමක් ආරූඩ කර ගත්තේය. වෙඩි නොවදින මෝටර් රථයක් ඉල්ලා ගෝඨාභයට කන්නලව් කලේය .

කෙසේ හෝ අමතර බැකප් රථ දෙකක් සහ  හමුදා කණ්ඩයක ආරක්ෂාව ලබා ගැනීමට සිරිසේන සමත් වූයේය. සිවරාසාට එරෙහිව මහාධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කලේය. නමුත් ඇමති සිරිසේනගේ ගෝලයා වූ ඒ.එස්.පී කුමාරසිංහ කිසිදිනක සාක්ෂි දීමට පැමිනියේ නැත. නඩු විභාගයට නොපැනීම නිසා ඒ.එස්.පී කුමාරසිංහට වරෙන්තු පිට වරෙන්තු ලැබුවේය.  සිරිසේනගේ  අවනඩුව  අවු 10 පුරා විභාග විය එම කාලය පුරාවට සිවරාසා සිටියේ සිරගෙදරය. නඩුවේ තීන්දුව ලැබුනේ 2015 වසරේදීය. නඩු තීන්දුව වූයේ තවත් අවු 10 ක සිරදඩුවමකි, ඒ අනුව සිවරාසා නම් ගැරඩියාට අවු 20ක සිරගත්වීක් උරුම විය.

සිවරාසා සිරගත කිරීමේ යුක්ති යුක්තභාවය  පිලිබදව නිවරදි නිගමනයකට එලබීමට කුඩා දරුවෙකුට වුවද දුෂ්කර නොමැත .සිවරාසාගේ අවනඩුවේදී  ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා වූයේ නීතීඥ ජෙයකුමාර් ය.කුමන්ත්‍රණයේ පැටිකිරිය සහ ඊට සම්බන්ද වූවන්  පිලිබදව  සියලු විස්තර ජෙයකුමාර් සතුය. සිවරාසා සිරගෙදරදී  මාරන්තික උපවාසයක් කලේ තමාට වූ අසාධාරණයට එරෙහිවය. යාපනයේ සෙන්දූරන් නම් සිසුවෙක් කෝච්චියට පැන්නේද මේ අසාධාරණයට එරෙහිවය. රටේ ජනතාව ගොනාට අන්දවන තියරි වලින් තානාපතීන් සහ රාජ්‍යතාන්ත්‍රිකයන්  ඇන්දවීමට යාම භයානකය.

පාලකයන් ජනතාවට සලකන ආකාරය පිලිබද ජනතා  ප්‍රතිචාරය  පාර තොටේදී, ජන මාධ්ය තුලින්, සමාජ වෙබ් අඩවි හරහා එසැනින් දැන ගත හැක. නමුත් රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ ප්‍රතිචාරය එසේ නොවේ. එය තැපෑලෙන් එන නිහඩ මරණයකි.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

Top