විශේෂාංග

ගීතා කුමාරසිංහ හා මැතිවරණ කොමසාරිස්

මා නීතිඥයකු නොවන බව කවුරුත් දන්නවා. මා විශ්ලේෂකයකු, කථිකයකු, කරුණු ඉදිරිපත් කරන්නකු නොවන බව ජාතික ව්‍යාපාරයේ බහුතරය දන්නවා. මා තමන් අසන ප්‍රශ්වලට තමන් කැමති පිළිතුරු නොදෙන බව ජනමාධ්‍යවේදීන් දන්නවා. ඔවුන් දැන් මගෙන් කිසිවක් අසන්නේ නැහැ. කියන දෙයකට ප්‍රසිද්ධියක් දෙන්නෙත් නැහැ. විශ්වවිද්‍යාලවල හා පාසල්වල බොහෝ ගුරුවරුන් හා ඇතැම් සිසුන් ද සිතන්නේ මා කිසිවක් හරිහැටි නොදන්නා නාථ දෙවියන් පසුපස යන මිථ්‍යා මතධාරියකු බවයි. පඬියන් සිතන්නේ මා සිංහල බෞද්ධ අන්තවාදියකු කියායි. මගේ ශිෂ්‍යයන් ලෙස සිටි අය සියල්ලන් ම පාහේ මේ වන විට නොයෙකුත් හේතු මත මට විරුද්ධයි. ඔවුන් කිසි විටෙක කැමති නැහැ තමන් මගෙන් කිසිවක් ඉගෙන ගත් බව කීමට. මා කිසිවක් උගන්වා නැති බව නම් ඇත්තයි. ඒ නිසා ඔවුන්ට දොස් කියන්න බැහැ. කැනඩාවේ වසන පාසල් ගුරුවරයකු කිහිප වරක් පවසා සිටියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවල අදක්‍ෂ ශිෂ්‍යයන්ට අවුරුද්දකින් දෙකකින් ආචාර්ය උපාධී දී ආපසු යවන බවත් මා ද ඉන් එක් අයකු බවත්. ඔහුත් කැනඩාවේ ම වසන ඔහුගේ ගුරුවරයාත් නාථ දෙවියන්ගෙන් හා වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්නවාට විරුද්ධයි. ඔවුන්ට අනුව අදෘශ්‍යමාන බලවේග හෝ ප්‍රාණීන් හෝ නැහැ. එහෙත් ඔවුන්ට අනුව අදෘශ්‍යමාන ගුරුත්වාකර්ෂණ බලය තිබෙනවා. එය නිව්ටන්වත් දැක නැති එක වෙන ම කරුණක්. සමහරවිට ඔවුන්ට අනුව කවුරුන්වත් යමක් දැක නැත්නම් ඒ පවතිනවා විය හැකියි. ඒ අතර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම ජීවිත පවා පූජා කිරීමට කැමැත්තෙන් සිටින සයිටම් විරෝධීන් සිතන්නේ මා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන එයට වින කරන ද්‍රෝහියකු ලෙසයි. මහින්ද මෝදි හමුවීම ගැන මා කියු දෙයට බොහෝ දෙනකුට කේන්ති ගිහින්. තවමත් කිසිවකු මා ආණ්ඩුවට කඩේ යන බව නොපැවසීම පුදුමයක්.
මා කිසිම විෂයයක ප්‍රාමාණික උගතකු නොවූවත් බොහෝ දේ ගැන කතා කිරීමට කැමතියි. කිසිවකු කියව්වත් නැතත් මා දැනට ලියනවා. ගීතාගේ මන්ත්‍රී ධුරය ගැන මා ලියන්නේත් ඒ අනුවයි. මන්ත්‍ර ධුරය හිස් වීම ගැන සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වැනි වගන්තියේ. එහි සඳහන් වන්නේ මන්ත්‍රී ධුරය හිස් වීම ගැන මිස මන්ත්‍රී ධුරයට පත්වීම ගැන නො වෙයි. එහි කියැවෙන්නේ පත් වූ මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී ධුරය හිස් වන්නේ කෙසේ ද යන්නයි. ඒ සඳහා නිර්ණායක රාශියක් තිබෙනවා. එයින් එක් නිර්ණායකයක් වන්නේ ව්‍යවස්ථාවේ 89වැනි වගන්තිය හෝ 90වැනි වගන්තිය හෝ යටතේ නුසුදුස්සකු වීමයි. 89න් කියැවෙන්නේ ඡන්දදායකයකු වීමට නුසුදුසු වන හේතුන්. 91න් කියැවෙන්නේ මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු වන හේතුන්. අපට අදාළ වන්නේ 91 වැනි වගන්තිය.

ඒ වගන්තියෙන් කියැවෙන්නේ යම්කිසිවකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත් කර ගනු ලැබීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගෙන ඡන්දය දීමට හෝ නුසුදුසු වීමට වූ නිර්ණායක. ඉන් එක් නිර්ණායකයක් වනුයේ යමකු ලංකාවේ හා තවත් ඕනෑම රටක රටවැසියකු වීම. ගීතා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්. ඇය 2015 අගෝස්තු මැතිවරණයෙන් මැතිවරණ කොමසාරිස්ට අනුව නීත්‍යානුකූල ව පත් කර ගනු ලැබූ මන්ත්‍රීවරියක්. ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තෝරා පත් කර ගනු ලැබීමට නුසුදිස්සියක වූයේ නැහැ. ඇයගේ නම සඳහන් එක්සත් ජනතා සංධාන මන්ත්‍රීධුරාපේක්‍ෂක ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් (ඔහුගේ නියෝජිතයා) විසින් පිළිගනු ලැබුවා. එපමණක් නොව මැතිවරණ කොමසාරිස්වරයා ඇයට අංකයක් ද ලබා දුන්නා.

මැතිවරණ කොමසාරිස් හෝ විනිසුරුවකු හෝ තීන්දුවක් දෙන්නේ ඉදිරිපත් වන කරුණු හා අදාළ නීති රීති මත පදනම් වෙමින්. එහි දී විනිසුරුවරුන්ගේ සහායට නීතිඥයන් ඉන්නවා. මැතිවරණ කොමසාරිස් ද තීන්දුවක් ගන්නේ ඉදිරිපත් වන කරුණු මත පදනම් ව. මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීමෙන් පසු විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. 2015 මැතිවරණයේ දී කිසිවකු ද්විත්ව පුරවැසිබව මත පදනම් වී විරෝධතා ඉදිරිපත් කළ බවට තොරතුරක් නැහැ. එබැවින් මැතිවරණ කොමසාරිස් තමන්ට ලැබී ඇති සාධක මත ගාල්ල දිස්ත්‍රික්කයේ සංධාන ලැයිස්තුව නීත්‍යානුකූල බවට භාරගෙන පසුව අංක ද ලබා දී තිබෙනවා. ඡන්දදායකයන් ද ඒ ලැයිස්තුව පිළිගෙන ඡන්දය දී තිබෙනවා. මනාප ලකුණු කර තිබෙනවා.

එබැවින් එදා ගීතා මන්ත්‍රිනියක් වීමට නුසුදිස්සියක වූයේ නැහැ. ඇය එකලත් ද්විත්ව පුරවැසියකු වීම වෙන කරුණක්. එහෙත් ඇගේ වරදක් ඔප්පු වූයේ නැහැ. වරදක් ඔප්පු වන තුරු යමකු වරදක් කර තිබුණත් ඔහු හෝ ඇය හෝ වරදකරුවකු වන්නේ නැහැ. ඇය වංක සිතකින් මැතිවරණයට ඉදිරිපත් වී යැයි කීමට බැහැ. නීතිය නොදැන සිටීම නීති කැඩීමට හේතුවක් කර ගන්න බැහැ. එහෙත් මෙහි දී චෙතනාව බලපානවා. ඇය චේතාන්විත වරදක් කර ඇති බව පෙනෙන්නේ නැහැ. ඇගේ විරුද්ධවාදීන්ද සංධාන ලැයිස්තුවට විරෝධතා ඉදිරිපත් කර නැහැ. ඔවුන් ද එසේ නොකිරීමෙන් වංචනික ව කටයුතු කළේ යැයි කියන්න බැහැ. සංධාන ලැයිස්තුව නීත්‍යානුකුල බව පිළිගැණුනා. එබැවින් ම අද මැතිවරණ කොමිසමට එදා ගාල්ල දිස්ත්‍රික්කයේ සංධාන ලැයිස්තුව ප්‍රතික්‍ෂෙප කිරීමට බැහැ. යම්කිසි අයුරකින් එදා ලැයිස්තුව එදා ප්‍රතික්‍ෂෙප කෙරිණි නම් ඡන්දදායකයන්ට ඒ අනුව තම ඡන්දය දීමට තිබුණා. එහෙත් අද ප්‍රතික්‍ෂෙප කළහොත් එයින් ඡන්දදායකයන්ට විශාල අසාධාරණයක් අගතියක් සිදු වෙනවා. ඡන්දදායකයන් මැතිවරණ කොමසාරිස්ගේ තීන්දුව අනුව හිත හදාගෙන ඡන්දය දී ඉවරයි. දැන් ඒ හිත වෙනස් කරන්නේ කෙසේ ද?

එකල අතුරු මැතිවරණ තිබුණා. ඒ නාම යෝජනා පිළිගැනීමෙන් පසු මැතිවරණ දුෂණ ආදිය ඔප්පු වීමෙන් පසු. ඒ අධිකරණවලින් ලැබුණු තීන්දු අනුව. මෙතන එක් ප්‍රශ්නයකට මුල් වී ඇත්තේ ම මැතිවරණ කොමසාරිස්. දත්ත නොමැති වීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ ඔහුගේ තීන්දුවේ කිසියම් වරදක් වී ඇත්නම් ඒ හේතුවෙන් ඡන්දදායකයන්ට හෝ ලැයිස්තුවට හෝ අසාධාරණයක් කිරීමට බැහැ. තීන්දුව වැරදි නම් කළ යුත්තේ මැතිවරණ කොමසාරිස් වග කීම පිළිගෙන තම ධුරයෙන් ඉල්ලා අස්වීමයි. අද නම් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වීමයි.

ගීතාට විරුද්ධ ව පැවරූ නඩුව තීන්දු කිරීම අධිකරණයේ කටයුත්තක්. එය අධිකරණය ඉදිරියේ තියෙන දෙයක්. ඒ ගැන මා කියන්නේ නැහැ. මා සඳහන් කෙළේ එකල මැතිවරණ කොමසාරිස් සම්බන්ධ කරුණක්.

නලින් ද සිල්වා

2017 මැයි 14

Top