Featured

‘ඞී.අයි.ජී අනුර දිසානායක’කබ්බා ගැන විමල් කියයි

මරබිය තුරන්කර, රට එක්සේසත් කර අදීන ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කර දීමට සිය මුළුවෙර යොදා කැපවුණු නායකයාගෙන් මේ ආකාරයට පන්න පන්නා පලිගැනීම තවදුරටත් නොඉවසා ඊට එරෙහිව නැගී සිටින්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද(01) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ ඒකාබද්ධ විපක්‍ෂ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘පෙබරවාරි 05 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. ඔහු පැමිණෙන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රමුඛ කොටි ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට යවන යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලීමටයි. ඒ මහා පාවාදීමේ මෙහෙයුම දිගේලි කරමින් තිබෙන වෙලාවේ මේ කොන්ද පණ නැති ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දේශපාලන භූමිකාව නතර කරන්න හිතාගෙන එතුමාගේ බිරිඳ, පුතාලා ඇතුළු පවුලේ සැමට දරුණු ලෙස පහර දීමට පටන්ගෙන තිබෙනවා. මේ මාධ්‍ය හමුව පවත්වන අවස්ථාවේ ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය ඉන්නේ බරපතළ මූල්‍ය වංචා පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ.

‘ඔළු දෙකේ ආණ්ඩුව’

මේ ආණ්ඩුව දන්නවා, ඔවුන්ට පැවැත්මක් නැහැ කියලා. මේ තමයි කෙටිම කාලයකින් වැඩිම හානිය සිදුකර ගත්තු ආණ්ඩුව. මේක ‘ඔළු දෙකේ’ ආණ්ඩුවක්. ඊට නායකයන් දෙදෙනකු ඉන්නවා. එහෙම නායකයන් ‘බානක්’ හිටියත් ඒ දෙදෙනාට රට පාලනයකර ගන්න බැරි වෙලා තිබෙනවා. ආර්ථිකය දවසින් දවස වැටෙනවා. දිනාගත්තු සමාජ ආර්ථික ජයග‍්‍රහණ රටට අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අසරණකම වහගන්න තියෙන එකම ක‍්‍රමය වී ඇත්තේ ‘මහින්ද භීතිකාවක්’ මැවීම.

‘ඞී.අයි.ජී අනුර දිසානායක’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතා යෝෂිත රාජපක්‍ෂ සීඑස්එන් නාලිකාවේ කිසිදු තනතුරක් දරන්නෙ නැහැ. සභාපති හෝ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු නොවෙයි. අයිතිකරු ද නොවෙයි. නමුත් එක්තරා ඇමතිවරයකුගේ මස්සිනා කෙනෙකු මෙම නාලිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. ඔහුට මේ අත්අඩංගුවට ගැනීම අදාළ වී නැහැ. ‘ඇමති මස්සිනා’ අතහැර හිටපු ජනාධිපතිතුමන්ට පහර දීමට තමයි යෝෂිත රාජපක්‍ෂව මේකට පටලවන්නේ. මේ දඩයමට ‘රතු පාවාඩ එලන්නේ’ ජනතා විමුක්ති පෙරමුණ. ‘ඞී.අයි.ජී. අනුර දිසානායක’ එයාගේ ගෝලයකුට ප‍්‍රශ්න අහන්න කියනවා. එයා ‘බෝලය උස්සලා දුන්නම’ ඇමති මෙහෙන් ‘ඩෑෂ් පහර’ දෙනවා. ඒ විදියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මතය සහ පරිසරය හදලා පසුව කියනවා ‘අල්ලන්න’ කියලා.

‘යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගත් හැටි’

යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු තුන්දෙනෙක්, ‘සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්’ යැයි කියා ගන්නා එන්ජීඕ කාරයෝ දෙදෙනෙක් හා පොලීසියේ ඉහළම නිලධාරියෙක් ‘අපේ ගම’ පරිශ‍්‍රය තුළදී හමුවෙලා, සාකච්ඡා කරලයි. පොලිස්පතිට දැඩි බලපෑමක් එල්ල කරලා ‘නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ. කෙලින්ම ගන්න’ කියලයි කිව්වේ. අපට මතකයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අත්අඩංගුවට ගන්න නීතිපතිගේ උපදෙස් ලැබෙනකම් කොපමණ කාලයක් බලා සිටියාද? එදා පොලීසිය කිව්වේ ‘බුදු අම්මෝ, නීතිපතිගේ ලියුම නැත්තම් හිරුණිකා දිහා බලන්නවත් බැහැ’ කියලයි. මෙතැනදී යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු නීත්‍යනුකූල පදනමක් නැතිවයි. මෙසේ අත්අඩංගුවට ගැනීමට ඇත්තේ එකම හේතුවයි. ඒ තමයි, ‘මහින්ද රාජපක්‍ෂ දේශපාලන භූමිකාවෙන් ඉවත් කරන්න නම් දරුවන්ට ගහන්න ඕනෑ’ කියලා, මේ ඔළු දෙකේ ආණ්ඩුව විසින් සිතීම. දරුවන්ට ගහපුවාම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තාත්තා කෙනෙකු ලෙස සැලෙයි කියලා මේ ආණ්ඩුව හිතනවා. එවැනි ද්‍රෝහී පාපතර මෙහෙයුමක් පමණයි අද මේ රටේ ක‍්‍රියාත්මක වෙන්නේ. මේ ආණ්ඩුව කොපමණ අසරණ, දුර්වල වෙලාද කියනවා නම්, සදාචාරාත්මකව වැහැරිලාද කියනවා නම්, අද ක‍්‍රියාත්මක වන්නේ ‘දරුවන්ගෙන්, බිරින්දෑවරුන්ගෙන් පලිගැනීමේ මෙහෙයුම’වෛරයෙන් පෙළෙන ඇමතිවරුන්ගෙන් පොලීසියට උපදෙස්

අද මේ රටේ නීතිය ක‍්‍රියාත්මක වෙනවා කියලා කවුරුහරි කියනවා නම් ඒක විහිළුවක්. ඇඹිලිපිටියේ එක්දරු පියාගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න’ කියා ඇඹිලිපිටියේ මහේස්ත‍්‍රාත්තුමා නියෝගයක් ලබාදී තිබෙනවා. එම නියෝගය ලබාදී අදට දින 06යි. ඒ නිලධාරීන් සොයා ගන්න බැරිද? ඒකෙන්ම ඉතා පැහැදිලිව පෙනෙනවා අද මේ රටේ නිර්මාණයකර ඇත්තේ පොලිස් රාජ්‍යයක්. අද FCID කියලා නීති විරෝධී ආයතනයක් හදලා, ඒකට ඕනෑම මර්දනකාරී පියවරක් ගන්න අනුබල දීලා තියෙනවා. ඇමතිවරු කල්ලි ගැහිලා, ‘අත්අඩංගුවට ගත යුත්තේ කවුද?’ කියලා තීන්දු කරනවා. වෛරයෙන් පෙළෙන ඇමතිවරුන්ගේ උපදෙස් පිළිගන්න අද පොලිස්පතිවරයාට සිදු වෙලා තිබෙනවා.

කවුරු හරි හිතනවා නම් ‘මේ දඩයම හමුවේ ඒකාබද්ධ විපක්‍ෂය බිය වෙයි, හැකිලෙයි’ කියලා ඒ අයට වැරදිලා. පෙරටත් වඩා ශක්ති සම්පන්නව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීතුමන්ලා ඇතුළු අපි සියලූ දෙනා එක මිටකට එකතු වෙලා මේ ඒකාධිපති වියරුව පැරදවීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ගත හැකි සියලූ පියවර ගන්නවා.

අපි ජාතියක් හැටියට මේ රටේ සාමූහික හෘදසාක්ෂිය නියෝජනය කරනවා නම් අපේ හෘදසාක්ෂිය අපිව ප‍්‍රශ්න කරන වේලාවක් මේක. මරණ බියෙන් ජීවත් වුණු මිනිස්සු අපි. දරුවෝ පාසලට ගියාම ආපසු ඒවිද කියලා බියෙන් ජීවත් වුණු මිනිස්සු අපි. මුළුමහත් ජාතිය වෙළාගෙන පැවැති ඒ බිය නැති කරලා දාපු සේනාධිනායකයාගෙන් පලිගැනීමට ඉඩ දෙනවා නම්, ‘ජාතියක් හැටියට අපේ හෘදසාක්ෂියට කුමක්ද වෙලා තියෙන්නේ?’ කියන ප‍්‍රශ්නය අපි ඉදිරිපිට පැන නගිනවා. මහින්ද රාජපක්‍ෂ කියන්නේ නිකම් නායකයකු නොවෙයි. බලයට ඇවිල්ලා අවුරුදු දෙක හමාරකින් යුද්ධය අවසන් කරලා, අවුරුදු හත හමාරක් තුළ මේ රට නවීකරණය කරපු නායකයෙක්. ඔහුට විරුද්ධව බොරු බේගල් ඇද බාලා ඒවා ඔප්පු කර ගන්න බැරි වුණාම, අද FCID නැමැති නීතිවිරෝධී ආයතනයක් හදලා, මූල්‍ය විශූද්ධිකරණ පනත සහ පොදු දේපළ පනත යොදා ගෙන බොරු වැරදි හදලා, ඇප නොදී, හිරේ දමලා ඔහුගේ පවුලේ පිරිස දඩයම් කරනවා.

අපි එජාප, ජවිපෙ, ශ‍්‍රී ලනිප ඇතුළු කවර පක්‍ෂයකට අයත් වුවත් මේ රටේ රටවැසියන් හැටියට අපට තිබුණු බිය සහ සැකය නැති කරලා අදීන ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කර දීමට සිය මුළු වෙර යොදා කැපවුණු නායකයාගෙන් මේ විදිහට පන්න පන්නා පලිගැනීමට ඉඩ දිය හැකිද? ඒ නිසා අපි මේ රටේ පොදු ජනතාවට ආරාධනා කරනවා ‘ මේ පාදඩ දඩයමට තවදුරටත් ඉඩදෙන්නෙ නැතිව ජාතියක් විදිහට නැගී සිටින්න’ කියලා.

Top