Breaking
24 Feb 2025, Mon

චන්ද්‍රිකාට අමු කොළ නොවෙයි ක්‍රෝට්න් කොළ කැවිල ද?

චන්ද්‍රිකා රනිල් වගේ ම සිංහල බෞද්ධ විරෝධීයි. නයි පොළොං වගේ හිටිය දෙන්න දැන් සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති වෛරය නිසා එකතු වෙලා. ඔවුන්ගේ සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. දෙදෙනාගේ ම පිය පාර්ශ්වයේ නෑදැයන් අංංග්ලිකන් ක්‍රිස්තියානි. බණ්ඩාරනායක මහතා නම් බෞද්ධයකු වුනා. ඔවුන්ගේ පමණක් නොවෙයි. සේනානායකලා ද බෞද්ධයන් වීමට පෙර ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ජයවර්ධනලාත් එහෙමයි. මෙරට දෙමළ නායකයන්ගේ ද සම්භවය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රාමනාදන්ලා අරුණාශලම්ලා හින්දු වුනත් ඒ පවුල්වල ඇංග්ලිකන් ක්‍රිස්තියානි පසුබිමක් තිබුණා. චෙල්වනායගම් හින්දු වුනේවත් නැහැ. සුමන්තිරන් ද මෙතෝදිස්ත භක්තියෙක්. මේ රටේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි බලය තවමත් ක්‍රියාත්මකයි. අද මේ සියල්ලන් ම එකතුවෙලා පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන යොදා ගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්තට ම නැති කරන්න හදනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෙවැනි ප්‍රකාශවලට කැමති නැහැ. ඔවුන් විවිධ පඬියන්.

චන්ද්‍රිකා සුපුරුදු විධියට තම වෛරී ස්ථාවරය ප්‍රකාශ කරලා. ඇය කියන්නේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන බලතල දෙමළ ජනයාට දිය යුතුය කියා. ඔය කිසිම බලතලයක් දෙමළ ජනයාට ලැබෙන්නේ නැහැ. බලය ලැබෙන්නේ වෙල්ලාල ක්‍රිස්තියානි සංස්කෘතියක් ඇති ප්‍රභූන්ට. චන්ද්‍රිකාලාට අවශ්‍ය උතුර හා නැගෙනහිර ක්‍රිස්තියානි සංස්කෘතියේ දෙමළ ප්‍රභූන්ට දී ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ තමන් වැන්නන් ඉතිරි පළාත් පාලනය කිරීම. ඇතැම් විට ඇයට විමුක්ති ගැනත් කල්පනාව ඇති. ඒ කොහොම වුනත් මොවුන්ගේ මේ ක්‍රියාදාමය මෙරටින් සිංහල බෞද්ධ සංස්කෘතිය හැකි නම් සෝදා දැමීම.
චන්ද්‍රිකා ඇගේ පක්‍ෂයේ අයටත් දොස් පවරනවා. එහෙත් ඇය දන්නේ නැහැ ඇය ඒ පක්‍ෂය ඝාතනය කිරීමට ආධාර කළ බව. අද ඒ පක්‍ෂය නැහැ. ඇයමයි කියා තිබුණේ මෙරට පක්‍ෂ තුනකට ඉඩක් නැහැ කියලා. එය ඇත්තක්. අද ශ්‍රී ල නි පක්‍ෂයක් නැහැ. ඒ නිසා වෙනත් පක්‍ෂයකට ඉඩ තියෙනවා. චන්ද්‍රිකා ඇගේ වචනවලින් කියන්නේ දෙමළ ජාතිවාදීන් අවුරුදු තිහක් යුද්ධ කෙළේ දහතුන්වැනි සංශෝධනයෙන් දුන් බලතල මදි නිසා බවයි. ඒ බව ඇගේ ඊනියා පක්‍ෂයේ අයටත් තේරෙන්නේ නැති බවයි ඇය කියන්නේ. රනිල් කියනවා වගේ එහෙනන් අපට කරන්න තියෙන්නෙ තව තවත් බලය විමධ්‍යගත කරන එකයි.

චන්ද්‍රිකා හිතන්නේ අපේ හමුදා මෙහෙයුම් සිදු කෙළේ කුමකට කියා ද? දෙමළ ජාතිවාදීන් අවුරුදු එකසිය ගණනාවක් ම කටයුතු කරලා තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර හැරීමට. එහි අවසාන අදියරේ ප්‍රභාකරන් අවුරුදු තිහක් ආයුධ අතට ගෙන සටන් කළා. ඔවුන්ට ඕනෑ කෙළේ තව තවත් බලය ලබා ගැනීම හා රට දෙකඩ කිරීම. චන්ද්‍රිකා ජනාධිපති කාලෙ හමුදාව සටන් කෙළේ තව තවත් බලය දෙන්න වෙන්න ඇති. චන්ද්‍රිකා කියාවි ඇයට ඕන කෙළේ රට දෙකඩ කිරීම වැළැක්වීම මිස බලය වැඩි වැඩියෙන් දීම වැළැක්වීම නො වේය කියලා.

එහෙත් දෙමළ ජාතිවාදීන් ක්‍රියා කෙළේ අද ටිකක් හෙට හුඟක් යන ප්‍රතිපත්තියෙ ඉඳන්. චන්ද්‍රිකා ඒ බව දන්නෙ නැත්නම් ක්‍රිස්තියානි චෙල්වනායගම්ගෙ ක්‍රිස්තියානි බෑණා ඒ ජේ විල්සන් තම මාමා ගැන ලියා ඇති පොත කියවන්න. විල්සන් ජේ ආර්ට ව්‍යවස්ථාව හදන්නත් උදවු කළා. ඔහු එක්සත් රාජ්‍යවල මහාචාර්යවරයකු වෙලා හිටියට ද’ක්‍ෂයකු නොවන බව ව්‍යවස්ථාව දහනව වතාවක් ම සංශෝධනය කිරීමෙන් ඔප්පු වෙලා තියෙනවා. දෙමළ ජාතිවාදීන් කිසි දිනෙක ඊළමකින් මෙහා සතුටු වන්නෙත් නැහැ බොහෝ මහාචාර්යවරුන් දක්‍ෂයන් වන්නේත් නැහැ.

මෙරට හමුදා කොටි සංවිධානයට එරෙහි ව සටන් කෙළේ දෙමළ ජාතිවාදීන් ඉල්ලන කිසිම දෙයක් දෙන්නෙ නැත කියන තැන හිඳිමින්. කොටි සංවිධානය සටන් කෙළේ දහතුන මදි කියලා. හමුදා මෙහෙයුම් කෙළේ ඒ කිසිවක් නො දීමට. අවසානයේ දී නන්දිකඩාල් කලපුවේ දී කොටි පරාද වුනා. චන්ද්‍රිකාට සෝබෝන් උපාධියක් තියනවා ද නැද්ද කියලා මා දන්නේ නැහැ. එහෙත් ඇය සෝබෝන් ගිහිල්ල තියෙනවා. ඇයට එහි දී ඉගැන්නුවේ යුද්ධයක දී පැරදුණු පැත්ත ඉල්ලූ දේ දෙන්න කියා ද? එහෙමත් නැත්නම් පාසලේ දී එහෙම දෙයක් කියා දුන්න ද? චර්චිල් ඊනියා දෙවැනි ලෝක යුද්ධෙන් පස්සේ පැරදුණු නට්සිවාදීන්ගේ ඉල්ලීම් දුන්න ද? චන්ද්‍රිකාට අමු කොළ නොවෙයි ක්‍රෝට්න් කොළ කැවිල ද?

චන්ද්‍රිකා කියන්නේ කොටි යුද්ධ කෙළේ දහතුන මදි හින්ද, ඒ නිසා කොටි ඉල්ලූ දේ දිය යුතු ය කියලා. එතකොට හමුදාව කොටි පරාජය කෙළෙත් කොටි ඉල්ලන දේ දෙන්න ද? එහෙනන් හමුදා මෙහෙයුම් නොකර ඉන්න තිබුණා. නන්දිකඩාල් කලපුවේ දී පැරදුණේ කොටි විතරක් නො වෙයි. කොටි කියන්නෙ දෙමළ ජාතිවාදයෙ අවසාන පුරුක. නන්දිකඩාල් කලපුවේ දී සමස්ත දෙමළ ජාතිවාදය ම පරාජය වුනා. චන්ද්‍රිකාත් විජය කුමාරතුංගත් පැරදුණා. ඔවුන් දෙදෙනාම සිංහල බෞද්ධයන්ට විරුද්ධව චෙන්නායි ගුබ්බෑයම්වලට ගිහින් කොටි මුණ ගැසී සාකච්ඡා කළා. අද කළ යුත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට චන්ද්‍රිකාටවත් රනිල්ටවත් කිසිදු ඉඩක් නො දීමත් නන්දිකඩාල් ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුළු කිරීමත්. ඒ කියන්නෙ දහතුන අහෝසි කරන එකයි. ඒකට ඉන්දියාව කැමති ද නැද්ද කියන එක අදාළ නැහැ.

රනිල් පැහැදිලි ව කියා තිබුණා ව්‍යවස්ථාව සම්පාදනය කරන්නෙ දෙමළ ජනතාවගෙ ප්‍රශ්නය විසඳන්න කියා. මේ ප්‍රශ්නය මොකක් ද කියලා නි්ර්මාල් දේවසිරිගෙන් හරි සරත් විජේසූරියගෙන් හරි අහලා කියනවා ද? ඒ දෙන්න ම දැන් නිහඬයි. රනිල්ලා චන්ද්‍රිකාලා මේ රටේ තවමත් ආධිපත්‍යය දරන්නේ සුද්දන්ගෙ බලය නිසා. ඔවුන්ට මේ රටේ ජනබලයක් නැහැ. මෛත්‍රිපාල මේ දෙන්නට මෙච්චර බය ඔහුත් සුද්දන් විසින් පත් කෙරුණු නිසා.

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 22

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.