විශේෂාංග

ජනාධිපතිවරයාට අගමැති ඉවත් කිරීමට බලයක් තිබේ ද?

අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට රටේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලයක් තිබේද යන්න අද රට තුළ අර්බුදයක් බවට පත්ව ඇති ප‍්‍රශ්නයක් වී ඇත. නීතිඥවරුන් ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් බොහෝ දෙනෙක් මේ කාරණය පිළිබඳව විවිධ මත හා අදහස් පළ කර ඇතත් මේ දක්වාම පැහැදිලි ලෙසින් එබඳු බලයක් පවතින බව නිශ්චිතව පෙන්වා දී නැත. 19 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධිත වගන්ති අනුව මෙම ව්‍යාකූලත්වය පැන නැගී ඇති බවත් විධායක ජනාධිපති බලතල එමගින් අඩු වීමත් මෙම තත්ත්වය උදා වීමට හේතු වී තිබේ.

අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් කිරීම ප‍්‍රශ්නයක් හැටියට ඉස්මතු වූයේ පළාත් පාලන මැතිවරණයේ දී එ.ජා. පක්ෂයට අත්වුන විශාල පරාජය නිසාය. බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එ.ජා. පක්ෂ නායකත්වය සහ ඇතැම් පාක්ෂිකයන් කටයුතු කළ ආකාරය ජනතා අප‍්‍රසාදයට සහ සැකයට භාජනය වී පැවති බවය. වංචනිකයින් හෙළිදරව් කර ගැනීමට වඩා ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගත් බවටත් වංචනිකයන්ට එරෙහිව රාජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වීමට බාධා කළ බවටත් ඔවුනට චෝදනා එල්ල වී තිබුණි. අවසානයේදී ජනාධිපති වරයාගේ මැදිහත්වීමෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් නොකරන්නට සිද්ධිය මුළුමනින්ම යට ගැසීමට විවිධ ප‍්‍රයෝගකාරී උපක‍්‍රම යොදා තිබුණ බවත් සමාජයේ පිළිගැනීම වී තිබුණි. ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් වූ තොරතුරු අනුව මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එ.ජා.ප. නායකයාද වන අගමැතිවරයා බරපතල වගකීමකට බැඳෙන බව ඉතා හොඳින් ජනතාව අවබෝධ කරගෙන සිටියහ.

අගමැතිවරයා පිට පැවරෙන සදාචාරාත්මක වගකීම

ශ‍්‍රී ලංකාවේ පුරවැසි බවක් නොමැති සිංගප්පූරු පුරවැසියෙකු, ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හා වෙනත් බොහෝ දෙනෙකුගේ විරෝධතා පවා නොතකමින්, මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කළ ආකාරය.

බැංකු අධිපතිගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා මහ බැංකු බැඳුම්කර ගණුදෙනු සඳහා ලියාපදිංචි වූ සමාගම් කීපය අතරින් එකක් වූ පර්පෙචුවල් ටෙ‍්‍රසරීස් සමාගමේ අයිතිකරු වීම නිසා නිසැකයෙන්ම උද්ගත විය හැකිව තිබුණ ‘‘බැඳියා පිළිගැටුම’’ පිළිබඳව දැන දැනත් ඒ ගැන නිසි ආරක්ෂක පියවර නොගැනීම.

මහ බැංකුවේ පවතින සම්ප‍්‍රදායයන්, නීති රෙගුලාසි සහ පරිචයන් පිළිබඳව කිසිම තැකීමක් නොමැතිව නව ක‍්‍රමවේද මගින් බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකු විෂයභාර ඇමති වශයෙන් අගමැතිවරයා බලකර ඉල්ලා සිටීම සහ එම හේතුව මෙම වංචාව මේ ආකාරයෙන් සිදු වීමට සෘජුව බලපෑම.

පළමු වරට වරද හෙළිදරව් වීමෙන් පසුව, අගමැති වරයා පාර්ලිමේන්තු ප‍්‍රකාශයක් මගින් බැංකු අධිපති වරදක් කර නොමැති බවට සහතික වීම සහ එනිසාම යළිත් වරක් ඊටත් වඩා බරපතල වංචාවක් කිරීමට ඉඩ ලැබීම.

සුදුසු හා පරිමිත පුද්ගලයන් ලවා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවට විෂය පිළිබඳ නිපුණතාවක් තබා මනා දැනුමක්වත් නොමැති එ.ජා.ප. නීතිඥයින් 3 දෙනෙකුගේ කොමිටියක් පත් කිරීම. එම කාරණය එසේ නොකළ යුතුව තිබුණු බව ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් සිය වාර්තාවේද දක්වා ඇත.

එම ත‍්‍රිපුද්ගල කොමිටි වාර්තාව අනුව කිසිම සාධනීය පියවරක් ගැනීමට අගමැතිවරයා කටයුතු නොකිරීම හා අපොහොසත් වීම.

පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කළ අවස්ථාවේදී එහි සාමාජිකයින් වශයෙන් නම් කරන ලද එ.ජා.ප. මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නගත ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂ නායකයා, රටේ අගමැතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කිසි පියවරක් නොගෙන සිටීම.

පළමුවන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තිබියදී එය කළ නොහැකිවන අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරයාට උපදෙස් දීම, එමගින් ඉන් පසුව පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී නිසැකයෙන්ම තම පක්ෂයට අත්වීමට ගිය අපවාදය මග හැරීමට උපක‍්‍රමශීලීව කටයුතු කරමින් සිදු වූ වංචාව හෙළිදරව් කර ගැනීමට උනන්දුවක් නොදැක්වීම.

දෙවන කෝප් කාරක සභාව අතරතුරදී එහි සාමාජිකයන් වූ ඇතැම් එ.ජා.ප. මන්ත‍්‍රීන්ගේ බාධාකාරී සහ කලහකාරී ක‍්‍රියා පිළිවෙත හමුවේ පක්ෂ නායක වශයෙන් නිහඬතාවය රැුකීම සහ එම ක‍්‍රියා වැලැක්වීමට කිසිම පියවරක් නොගැනීම.

දෙවන කෝප් වාර්තා විභාගයේදී පවා එවකට ඔප්පු වී තිබූ වංචනික තත්ත්වය නොතකමින් බැංකු අධිපති යළිත් වරක් එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම.

අවසානයේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම ඉවත දැමීමෙන් පසුව, අර්ජුන මහේන්ද්‍රන් අරලියගහ මන්දිරයේ අගමැති කාර්යාලයේත් මුදල් අමාත්‍යංශයේත් විවිධ නිල කටයුතු සඳහා යොදවා ගැනීම.

ත‍්‍රිපුද්ගල කොමිටියක්, කෝප් පරික්ෂන දෙකක් සහ විගණකාධිපති විසින් මහ බැංකුවේ සිදුකළ විගණන පරික්ෂණයක් සහ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට කරන ලද මහජන පැමිණිලි කීපයක් පවතිද්දී දිගින් දිගටම අර්ජුන මහේන්ද්‍රන් බැංකු අධිපති හැටියට රාජකාරි කටයුතු වල යොදා ගැනීමෙන්, අතිශයින් හිතුවක්කාරී රාජ්‍ය පිළිවෙත් විරෝධී ලෙසින් සහ එල්ල වී පැවති මහජන හා සමාජ විරෝධය නොතකා කටයුතු කර තිබීම.

තමා විසින් ඒක​පාක්ෂික ලෙසින් බැංකු අධිපති තනතුර සඳහා පත්කර ගත් පුද්ගලයාට එරෙහිව බරපතල තීරණ කොමිෂන් සභාව විසින් ගැනීමට නියමිත බව දැන දැනම ඔහුට රටින් පැන යාමට පැවති ඉඩකඩ අවුරා දැමීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකර සිටීම.

දැනටත් අධිකරණය ඉදිරිපත් වන ලෙසට කර ඇති නිවේදන හමුවේ අර්ජුන මහේන්ද්‍රන් වසන් වී සිටීම සම්න්ධයෙන්, මහ බැංකුවේ අධිපති ලෙස පත්කළ පුද්ගලයා හැටියට රනිල් වික‍්‍රමසිංහ මහතා නිහඬව බලා සිටීම.

මෙබඳු කරුණු කාරණා ගණනාවක් සඳහා අගමැති හා විෂය භාර ඇමති හැටියට සදාචාර සම්පන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, රාජ්‍ය සම්ප‍්‍රදායට අනුකූල පියවරක් වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම රටේ බහුතරයක් අපේක්ෂා කළහ. එවැනි පියවරක් ඔහු නොගත් නිසා පළාත් පාලන ඡුන්දයේදී සිය විරෝධතාවය පල කිරීමක් වශනේ එ.ජා. පයට අන්ත පරාජයක් අත්වෙන ආකාරයට ප‍්‍රතිඵලයක් ලබා දුන්හ. එමගින් ඡන්ද දායකයින් අපේක්ෂා කළේ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතාව හමුවේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.

වර්තමාන අර්බුදය හටගෙන ඇත්තේ මෙම පසුබිම තුළය. අගමැතිවරයා එම ජන මතයට දක්වන ප‍්‍රතිචාරය අතිශයින් විශ්මයජනක වූවකි. ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාවට අනුව තවදුරටත් තමාට අගමැති ධුරයේ රැුඳී සිටීමට ඉඩ තිබෙන බැවින් ඉල්ලා අස්වීමට හේතුවක් නැති බවය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වංචාව සම්බන්ධයෙන් මහ බැංකුව භාර අමාත්‍යවරයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා පිට පැවරෙන වගකීම ගැන ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැත. ඔහුගේ ක‍්‍රියා කලාපයට විරෝධය පලකිරීමක් වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල සංඛ්‍යාවක් ඡන්දය දීමෙන් වැලකී සිටි බවත්, තවත් බොහෝ දෙනෙක් එම විරෝධය පොහොට්ටුවට ඡන්දය දීමෙන් පළ කළ බවත් ව්‍යවස්ථාවක සඳහන් වන්නේ නැත. එමනිසා තමාගේ මූලිකත්වයෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථාව මෙබඳු අවස්ථාවකදී තමාට එරෙහිව එල්ල වන ජනතා විරෝධයට එරෙහිව ආරක්ෂ බැම්මක් හැටියට යොදා ගැනීමට උත්සාහ දරණ බවක් පෙනී යන බැවින් එ් පිළිබඳව ජනතාව විමසුම් ලෙස සොයා බැලීම සාධාරණය.

එනිසා මෙම 19 වන සංශෝධනය ඇතුළත් ව්‍යවස්ථාව ඕනෑම ජන මතයක් පිටු දැකීමට රැකවරණ සලස්වන එකක්ද යන වග විමසා බැලීමට සිදුව තිබේ.

අප රටේ අද විවාදයට භාජනය වී පවතින්නේ 2015 ආණ්ඩු පෙරලියෙන් පසුව සිදුකරන ලද 19 වන සංශෝධනයට අදාල ව්‍යවස්ථාවයි. විධායක ජනාධිපති ක‍්‍රමයක පැවති ඇතැම් අයහපත් ලක්ෂණ ඉවත් කරලීම සඳහා එම සංශෝධන ගෙන එන ලදි. එමගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලයත් වසර 5 දක්වා අඩු කිරීමත්, විධායක බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලතල සීමා කිරීමත් සිදුවී ඇත. මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනත් කරුණු අතර ප‍්‍රධාන වෙනස් කිරීම සිදුකර ඇත්තේ ජනරජ ව්‍යවස්ථාවේ ඩසසස වන පරිච්ෙඡ්දයේ ‘‘විධායකය’’ යන ශීර්ෂය යටතේ අමාත්‍ය මණ්ඩලය යනුවෙන් නම් කර තිබූ කොටස මුළුමනින්ම ඉවත්කර අළුත් පරිච්ෙඡ්දයක් ඇතුලත් කිරීමෙනි. දැනට පැන නැගී තිබෙන අර්බුදකාරී තත්ත්වයටද අදාල වන්නේ මෙම සංශෝධිත කොටස බව පෙනී යයි. එම නිසා එම අළුත් සංශෝධිත වගන්ති මගින් හඳුන්වා දී ඇති වෙනස්කම් අතර ඇති උද්ගත වී පවතින තත්ත්වයට අදාල ප‍්‍රතිපාදන කවරේද යන්න සලකා බැලීම මෙම ලිපියේ අරමුණ වන්නේය.

කලින් පැවති ව්‍යව්සථාවේ 43 (2) වගන්තිය පරිදි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ද වන්නේය.

* එසේ වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිර ගියද ජනාධිපතිවරයා තවදුරටත් තම ධුරය දරන්නේ ය.

ඉහත මුල් කොටස එසේම තවදුරටත් සංශෝධිත ව්‍යවස්ථාවේ ද පවතින අතර * ලකුණෙන් දක්වා ඇති කොටස ඉවත්කර ඇත.

අගමැතිවරයා පත් කිරීම

නව ව්‍යවස්ථාවේ 42 (2)

ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.

මේ අනුව අගමැති වශයෙන් පත් කිරීමට තෝරා ගැනීම ජනාධිපති වරයාගේ මතයට අනුව සිදු වන්නකි. එසේ තෝරා ගනු ලබන මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාසයක් තිබේද යන්න නිගමනය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වේ. එහිදී බහුතරය හෝ වැඩි ඡන්දය යන්න අදාල නොවන්නේය.

2015 ජනවාරි 09 වනදා ජනාධිපතිවරයා විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කළ අවස්ථවේදී ද බල පැවැත්වෙමින් තිබුණේ මෙම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනමය. ඒ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොවීය.
අදාල කාරණය වන්නේ මෙම බලතලය යටතේ ජනාධිපතිවරයාට තම මතය පරිදි ඕනෑම මන්ත‍්‍රීවරයෙක් අගමැති වශයෙන් පත්කළ නොහැකි ද යන්නයි. දැනට සිටින අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී සිය බලතල යටතේ ජනාධිපතිවරයාට වෙනත් අගමැතිවරයෙකු පත් කළ නොහැකිද? එසේ පත් කිරීමම කලින් කර තිබූ පත් කිරීම අවලංගු කිරීමක් නොවන්නේ ද?

නව 43 (3) යටතේ

‘‘ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂයය හා කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය’’ යනුවෙන් දක්වා ඇත.

මේ අනුව සංයුතිය, විෂය හා කාර්යන් වෙනස් කිරීම මුළු කැබිනට් මණ්ඩලයටම අදාල වන පරිදි සිදු කළහොත් එය කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමක් හා නව කැබිනට් මණ්ඩලයක් ප‍්‍රකාශයට පත් කිරීමක් නොවන්නේ ද?

නව සංශෝධිත 46(5) අනුව ජාතික රජයක් පිහිටුවා ගත හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂයට පමණක් වීමද විශේෂයෙකි.

මෙම වගන්තිය අනුව එක් පක්ෂයක් ලබා ගන්නා වැඩිම ආසන සංඛ්‍යාවකට වඩා විශාල සංඛ්‍යාවක් අන් සියලූම පක්ෂ හෝ කණ්ඩායම් දිනා සිටියද ඔවුන්ට එකතු වී ජාතික රජයක් පිහිටුවා ගත නොහැකිය.

මේ අතර 46(2) හි අග‍්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය පිළිබඳව මෙසේ සඳහන් වේ.

(අ) ස්වකීය අත්සන යටතේ ඉල්ලා අස් වුවහොත්

හෝ

(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුනහොත්

මිස

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.

මේ අනුව අගමැති ධුරය පවතින්නේ කැබිනට් මණ්ඩලය පවතින තාක් පමණකි. එය අහෝසි වුවහොත් අගමැතිවරයාට සියු ධුරය දැරිය නොහැක. එසේම පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන අවස්ථාවකදී ද නැවත කැබිනට්ටුවක් පත්වන තෙක් අගමැති ධුරය අහෝසි වන්නේය.

මෙහිදී අවධානය යොමු විය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ සංශෝධනයට කලින් පැවති ව්‍යවස්ථාවේ අගමැති ධුර කාලය අහෝසි වීම පිළිබඳව සඳහන්ව ඇති ආකාරයයි.

එහි ඇතුළත්ව තිබුණේ …

47 – අග‍්‍රාමාත්‍යවරයා

අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත් හෝ

ආ) ධුරයෙන් ඉල්ලා අසුවුවහොත්

ඈ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත් මිස යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද, එ් තාක් කල් ස්වකීය ධුරය දරන්නේය යනුවෙනි.

එසේ වුවද 19 වන සංශෝධනයේ 46 (2) හි ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම යන වගන්තිය අගමැතිවරයා සම්බන්ධයෙන් පමණක්ඉවත් කර තිබෙන අතර, ඇමතිවරු, කැබිනට් නොවන ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සම්බන්ධයෙන් පමණක් එය වලංගු වන පරිදි ඉතිරි කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසිරීම

නව 48 (1) වගන්තිය පරිදි ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්’’ හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යආකාරයකින් හෝ අග‍්‍රාමාත්‍ය වරයා ධුරය දැරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.

48 (2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කළහොත් එවිටද, ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ලය විසිරෙන්නේ ය.

මේ අනුව

48 (1) දැක්වෙන පරිදි අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීම මගින්ද කැබිනට් මණ්ඩලය විසිරෙන්නේය.

ඉන්පසුව නව කැබිනට් මණ්ඩලයක්ද අග‍්‍රාමාත්‍යවරයෙක්ද ජනාධිපතිවරයාට පත් කළ හැකිය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත.

එනම්, 48(1) ඉංග‍්‍රීසි පිටපත මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පේන්නුම් කරන බවයි.

එනම් – අගමැතිවරයාගේ ධුර කාලය අවසන් වීමේ හේතු වශයෙන් එහි දැක්වෙන්නේ

1. මරණය

2. ඉල්ලා අස්වීම

3. අන්‍ය ආකාරයකින් යන කාරණා පමණකි.

ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම යන වගන්තිය ඉංග‍්‍රීසි ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. තවද මරණය යන හේතුව සිංහල ව්‍යවස්ථාවේ ඇතුළත් වී නැත. මෙය අතපසු වීමක්ද? මුද්‍රණ දෝෂයක්ද? එසේ නැත්නම් අනාගතයේදී උද්ගත වියහැකි ආකාරයේ අර්බුදයක් කල් ඇතිව දකිමින් සිතා මතා ඉතිරි කළ දෝෂයක් ද? යන්න තීරණ කිරීම විද්වතුන්ට භාර කරමු. කෙසේ වුවද පවතින සත්‍ය තත්ත්වය නම් මෙයයි. එය කිසිම විද්වතෙකුට එසේ නොවේ යැයි කිව නොහැක.

කෙසේ වුවද ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් වූ 48 වන වගන්තිය අනුව, පනතේ සිංහල භාෂා පාඨය කිසියම් ව්‍යාකූලත්වයකදී බලපැවැත්විය යුතුය.

එසේ නම් 48 (1) සිංහල වගන්තිය අනුව අගමැතිවරයාගේ ධුර කාලය අවසන් වන හේතුන් අතර සඳහන් වන ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීම’’ යන කොටස බල ගැන්වුවහොත් අගමැති තනතුරෙන්, කැබිනට් මණ්ලයෙන් ඉබේම අහෝසි වී යන්නේය. එය බලගැන්විය හැක්කේ සහ බලගැන්විය යුත්තේ ජනාධිපතිවරයා විසින්මය. එ් සඳහා කිසිම වෙනත් වැඩිදුර අර්ථ කථන අවශ්‍ය වන බවක්ද නොපෙනේ.

එය පැවති ව්‍යවස්ථාවේද ඉතා පැහැදිලිව සඳහන් වී තිබුණ වගන්තියක් බව ඉහතින් පෙන්වා දී ඇත. තවද අමාත්‍යවරු ඉවත් කිරීම සම්බන්ධයෙන්ද එම ප‍්‍රතිපාදන තවමත් වලංගුව පවතින නිසා අගමැතිවරයා සම්බන්ධයෙන් ද එය එසේම ඇතුලත් වී ඇත. දෝෂය සිදු වී ඇත්තේ එය ඉංග‍්‍රීසියට ඇතුළත් නොවීම පමණක් ය. වලංගු පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකිය.

එමනිසා රටේ උද්දගත වී ඇති තත්ත්වය ජන අරගලයක් හෝ සාමය කඩවීමක් දක්වා වර්ධනය වන අර්බුදයක් බවට පත් වන්නට ඉඩ නොදී පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල කුමක් වුවත් ඊට කලින් මහ බැංකු බැඳුම්කර සිද්දිය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කළ වගවීම වගකීම හා සම්ප‍්‍රදාය හා ආචාර ධර්මවලට අනුව සිදුවිය යුතුව තිබුණ දෙයක් වූයේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. එම නිසා අගමැතිවරයා ඉවත් කරන තෙක් නොසිට ධුරයෙන් ඉල්ලා අස්වී සිය පක්ෂයේ වෙනත් කෙනෙකුට එම තනතුරට පත්වීමට අවස්ථාව සලසා දීම අවස්ථාවෝචිත ක‍්‍රියාවක් වනු ඇත.

~~රුසිරිපාල තෙන්නකෝන්~~

Top