ජවිපෙ නව ප්‍රවණතාවය පිළිබඳව ප්‍රවේශයක් ඉකුත් සතියේ පළවිය. මේ එහි අවසාන කොටසය. ජවිපෙ නව ප්‍රවණතාවයේ නිල නොවන දේශපාලන මණ්ඩල සභිකයින් ලෙස එහි නම්කර තිබුණේ නායක ගීගනගේ චන්ද්‍රසිරි නොහොත් සමන්ත නොහොත් අසේල, ලයනල් බෝපගේ, කෙලී සේනානායක, ඒ.පී.ඩි රත්නායක සහ වාස් තිලකරත්නය. මින් වාස් තිලකරත්න වර්තමානයේ ජීවතුන් අතර නැත. දැනට සිටින සිව් දෙනාගෙන් තිදෙනෙකුවූ ලයනල් බෝපගේ, කෙලී සේනානායක සහ ඒ.ඩි.පී රත්නායක නොහොත් පොඩි රත්නේ තමන් ජවිපෙ නව ප්‍රවණතාවයට කිසිදු සම්බන්ධයක් නැතැයි ලියුම්කරුට දැනුම් දෙන ලදී. ඔවුන්ගේ දීර්ඝ ලිපි සහ ලියුම්කරුගේ පිළිතුරද ධර්මන් වික්‍රමරත්නගේ ෆේස්බුක් ගිණුමේ සදහන්ය.
මෙම ලිපිය සම්පාදනය වූයේ එ්කපාර්ශවීය නොව සිද්ධීන් සහ මූලාශ්‍රයන් රැසක්ද, සම්මුඛ සාකච්ඡා කිහිපයක්ද, පොලිස් පරික්ෂණ, කොළඹ මහාධිකරණයේ විභාගවූ 2761/87 නඩුවට අදාළව ජවිපෙ නව ප්‍රවණතාවයට අයත් විත්තිකරුවන් 22ක් සහ රජයේ සාක්ෂිකරුවන්වූ නව ප්‍රවණතාවයට අයත් සාමාජිකයන් 5 දෙනෙකුගේ කටඋත්තරද එම නඩුවේ පැමිණිලි පක්ෂයෙන් ඉදිරිපත් කල සාක්ෂිකරුවන් 31 දෙනෙකුගේ ප්‍රකාශ ඇතුළු විවිධ දත්තයන් උපයෝගි කරගෙනය. ඇතැම් මතභේදයට තුඩුදෙන කථාවන්හි එහි කථා නායකයෝ එකහෙළා පවසන්නේ එයට තමාගේ සම්බන්ධයක් නැති බවය. නිදසුනක් ලෙස රජය වෙනුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක රාජ්‍ය ඇමති 1989 නොවැම්බර් 13 දහවල් පැවසුවේ රෝහණ විජේවීර එදින අළුයම ඝාතනයට පත්වූයේ රජයේ ආරක්ෂක අංශ මගින් නොව අවි ආයුධ පෙන්වීමට යෑමේදී දේශපාලන මණ්ඩල සභික එච්.බී හේරත් විසින් විජේවීරට තබන ලද වෙඩි පහරකින් බවය.’ එහෙත් සැබැවින්ම එදින සිදුවූ දෑ සැවොම දනිති. එබැවින් ඕනෑම ලිපියක අදාල කරුණු සහ එයට ප්‍රතිචාර දක්වන්නන්ගේ අදහස්වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අවසාන තීරණය පාඨකයා හෝ ග්‍රාහකයා සතුය.
ජවිපෙ 1983 ජුලි තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාවය ගොඩනැගීම සඳහා 1983 ඔක්තෝබර් මසදී මූලික සාකච්ඡා ඇරඹිණි. නව ප්‍රවණතාවය කණ්ඩායමක් ලෙස විධිමත්ව ක්‍රියාවට නැගෙන්නේ 1984 අප්‍රේල් මසදීය. 1985 අවසානය වනවිට රටපුරා ජවිපෙ නව ප්‍රවණතාවයට අයත් 200ක පමණ සංවිධාන ජාලයක් හිතවතුන් වශයෙන් ගොඩනඟා තිබිණි. ඉන් 40ක් පමණ පූර්ණකාලීන් සහ අර්ධකාලීනයින් විය. උතුරු නැගෙනහිර පවා පූර්ණකාලීනයින් ඒ අතර විය.
වසර 1983 අවසානයේ සිට 1984 මුල් භාගය දක්වා ජවිපෙ නව ප්‍රවණතාවයේ නායක ඇතුළු ක්‍රියාකාරිකයින් රටපුරා විවිධ දිස්ත්‍රික්කවලට ගොස් ජවිපෙ සමඟ එක්ව සිටි අය තම ව්‍යාපාරයට ගොනුකර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීය. ඒ අතර මඩකලපුවේ ජවිපෙ හිටපු සංවිධායක එම්.ටී.එම් ඊබ්‍රා ලෙබ්බේ, කිලිනොච්චියේ ජවිපෙ හිටපු සංවිධායක ගනේෂපිල්ලේ, මැදිරිගිරියේ එස්.එම්. ආදම් ලෙබ්බෙ, මහමුද් නාවුර් පිච්චේ, පී.කේ. බාලසුබ්‍රමනියම්, සමස්ථ ලංකා වතු කම්කරු සේවක සංගමයේ එස්. සිවඥානම්, මඩකලපුවේ විදුහල්පතිවරයෙකුවූ අබ්දුල් මුබාරක් ඇතුළු කිහිප දෙනෙක්ද වූ බව කියති. එහෙත් ඔවුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නොවිණි.
ජවිපෙ නව ප්‍රවණතාවයේ අධ්‍යාපන අංශය වශයෙන් ඔවුන් සැලකුවේ 1981 පෙබරවාරි 8වැනිදා ආරම්භවූ සමාජවාදී ජනතා ව්‍යාපාරයයි. එය සහ ජවිපෙ නව ප්‍රවණතාවය අතර සම්බන්ධය ඇතිවූයේ 1983 අගෝස්තු මසදීය. සමාජවාදී ජනතා ව්‍යාපාරයට විධිමත් ක්‍රියාකාරි සාමාජික පදනමක් හෝ පුළුල් වැඩපිළිවෙලක් නොතිබුණද එය විකල්ප කණ්ඩායමට වඩා දේශපාලනය ගැඹුරින් වටහාගත් කණ්ඩායමක් විය. සමාජවාදී ජනතා ව්‍යාපාරයට ජවිපෙ නව ප්‍රවණතාවයෙන් පෝෂණයක් නොලැබුණා පමණක් නොව ජවිපෙ නව ප්‍රවණතාවයටද සමාජවාදී ජනතා ව්‍යාපාරයෙන් ඔවුන් බලාපොරොත්තුවූ තරම් අධ්‍යාපන අංශයෙන් ප්‍රගතියක් නොලැබිණි. එබැවින් මෙම දෙපිරිස අතර සබැදියාව ශක්තිමත් අන්දමෙන් ගලා ගියේද නැත.
සමාජවාදී ජනතා ව්‍යාපාරයට එරෙහිව රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් 1987 ජුලි 15 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු විමල් වික්‍රමසූරිය ඉදිරියේ අධිචෝදනා විත්තිකරුවන් 44දෙනෙකුට භාරදීම සිදුවිය. මින් 22 නෙකු ජවිපෙ නව ප්‍රවණතාවයේ ක්‍රියාකාරිකයින් වේ. දෙදෙනෙකු ප්ලොට් සංවිධානයේ නායකයින් වූ අතර ජවිපෙ නව ප්‍රවණතාවය සමඟ සබදකම් පැවැත්වූ අය වේ. එම නඩුවේ අධිචෝදනා ලැබූ 44 දෙනා අතරින් සමාජවාදී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් වූයේ ඉන්දික ගුණවර්ධන, ජයතිලක ද සිල්වා ඇතුළු 20 දෙනෙක් පමණි. මෙයට අමතරව ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයන් 4 දෙනෙකු එම නඩුවේ රජයේ සාක්කිකරුවන් 30 දෙනා අතරද විය. මෙම නඩුව සම්බන්ධයෙන් ජවිපෙ නව ප්‍රවණතාවයේ අත්අඩංගුවට ගත් සියළු දෙනාට වසර 2ක් පමණ බන්ධනාගාර ගතවීමට සිදුවිය. අත්අඩංගුවට ගත් 44 දෙනාම ඉන්දු ලංකා ගිවිසුමේ කොන්දේසියක් අනුව 1988 අප්‍රේල් 22වැනිදා නිදොස් කොට නිදහස් කරන ලදී.
විකල්ප කණ්ඩායමේ අහංගම විතානගේ මරියෝ දයා ජයතිලකද සිල්වා, කරකාර තෝමස් ජෝර්ජ් නොහොත් ජෝ සෙනෙවිරත්න ඇතුළු 23 දෙනෙකුට එරෙහිව 1987 ජනවාරි 27වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු ටී. සුන්දරලිංගම් යටතේ නඩු පැවරුවද ඉන්දු ලංකා ගිවිසුම යටතේම ඔවුන්ද 1988 අප්‍රේල් 22වැනිදා නිදොස් කොට නිදහස් කරන ලදී. මෙම නඩුවේ විත්තිකරුවන් කිහිපදෙනෙක් පමණක් රහසිගතව සැඟවී සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිවූවද සෙසු සැකකරුවන් නිදහස් කිරීමෙන් පසු ඔවුනද භාරවී 1989 ජනවාරි 3වැනිදා නිදහස ලබාගන්නා ලදී.
ජවිපෙ නව ප්‍රවණතාවය විසින් ප්ලොට් සංවිධානය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීම තීරණය කළේ 1984 මැද භාගයේදීය. ප්ලොට් සංවිධානය යනු උමා මහේෂ්රන්ගේ නායකත්වයෙන් 1980 පිහිටුවාගත් දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය වේ. දෙමළ බෙදුම්වාදී සංවිධානයක් වන එය 80 දශකය මුල් භාගයේදී ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් සංවිධානයක් බවට පරිවර්තනය වෙමින් තිබිණි. උමා මහේෂ්වරන් විසින් ජවිපෙ නව ප්‍රවණතාවය සමඟ සාකච්ඡා කිරීමේ බලය පවරන ලද්දේ ප්ලොට් නියෝජ්‍ය නායකයෙකු වශයෙන් දකුණු පළාත භාරව කටයුතු කල ගෞරි කාන්තන් නොහොත් සුප්පයියාටය. ජවිපෙ නව ප්‍රවණතාවය වෙනුවෙන් ප්ලොට් සමඟ මෙම සාකච්ඡා සම්බන්ධීකරණය කළේ වව්නියාව මඩුකන්දේ පදිංචි එස්. එම් කුමාරසිංහ සහ ආනන්ද ජයසිංහ වේ. පසුකාලීනව එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී සංවිධානයට එක්වූ ගෞරි කාන්තන් වර්තමානයේ ඇමරිකාවේ පදිංචිය.
ප්ලොට් සහ ජවිපෙ නව ප්‍රවණතාවය අතර නිල සාකච්ඡා වව්නියාවේ කැලෑබදව පිහිටි ප්ලොට් කඳවුරේ 1985 අප්‍රේල් 22, 23, 24 සහ 25 සිව් දිනක් මුළුල්ලේ පැවැත්විණි. ගෞරි කාන්තන්ට අමතරව උමා මහේෂ්වරන්ගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් ප්ලොට් සන්නද්ධ නායකයෙකුවු සෙන්තිල් සහ සම්බන්ධීකරණ නියෝජිත රාමයියා එම සාකච්ඡාවට ප්ලොට් සංවිධානය නියෝජනය කළේය. ජවිපෙ නව ප්‍රවණතාවය වෙනුවෙන් එහි නායක ගීගනගේ චන්ද්‍රසිරි නොහොත් අසේල සමඟ ක්‍රියාකාරිකයින් 10 දෙනෙකු එම සාකච්ඡාවලට සහභාගිවූ බව පොලිස් පරික්ෂණවලදී හෙළිවිය. එම ජවිපෙ නව ප්‍රවණතාවයේ ක්‍රියාකාරිකයින් 9දෙනා වූයේ වතුදුරු යසරත්නද සිල්වා, එස්. එම් කුමාරසිංහ, රුවන් අබේකෝන්, මැනික්හින්නේ නිශ්ශංක හේරත් බණ්ඩාර, එම්. ආනන්ද ජයසිංහ, මොරටු සරසවියේ සිසු නායක කැමිලස් සිල්වා වේ. එයට අමතරව ජවිපෙ නව ප්‍රවණතාවයේ උතුරු නැගෙනහිර ක්‍රියාකාරිකයින්වූ මඩකලපුවේ ආජරත්නම් ශ්‍රී ස්කන්දරාජා නොහොත් බම්බල් සහ යාපනයේ සුන්නාකම්හි පදිංචි සිවඥානම් නොහොත් සිවාද පැමිණ එක්වී තිබිණි.
ප්ලොට් සංවිධානය සමඟ දෙවන සාකච්ඡාවට සහභාගි වූයේ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේය. එය පැවතියේ 1985 මැයි සහ ජුනි මස පිළියන්දල සුවාරිපොළ ජවිපෙ නව ප්‍රවණතාවය කුලියට ගෙන තිබූ නිවසකදීය. සාකච්ඡාවට ප්ලොට් වෙනුවෙන් සහභාගි වූයේ ගෞරි කාන්තන් නොහොත් සුප්පයියාය. ප්ලොට් සංවිධානය සමඟ ජවිපෙ නව ප්‍රවණතාවය පැවති සාකච්ඡා සියල්ලම අසාර්ථක විය. එයට හේතුව වූයේ ප්ලොට් සංවිධානය බලාපොරොත්තු වූයේ දකුණු පළාතේ බෝම්බ පිපිරීම් වැනි කටයුතුවල යෙදමින් කඩාකප්පල්කාරි වැඩකල හැකි සංවිධානයකි. ජවිපෙ නව ප්‍රවණතාවය එය ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම සහ වෙනම ඊළමක් වෙනුවෙන් පෙනී සිටීම එකක් නොව දෙකක් බව ජවිපෙ නව ප්‍රවණතාවය එහිදී අවධාරණය කර තිබිණි.
එහෙත් ලයනල් බෝපගේ පවසා සිටින්නේ ජවිපෙ නව ප්‍රවණතාවය වෙනුවෙන් නොව පෞද්ගලිකව තමා සමඟ ප්ලොට් ජේෂ්ඨ නිලධාරියෙකුවූ මානික්‍යදාසන් සාකච්ඡා කල බවකි. දකුණේ සිංහල ජනතාව අතර ප්ලොට් සංවිධානයට සමගාමී සංවිධානයක් තැනීමට අවශ්‍ය බව ඔහු බෝපගේට කීවේලු. දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න වලට විසදුම දෙමළ ඊලාම් යැයි තමා පිළිනොගන්නා බැවින් ප්ලොට් වැනි බෙදුම්වාදී ව්‍යාපාරයකට සහාය දිය නොහැකි බව තමා කීවේයැයි බෝපගේ කියා සිටී. වාර්තාවන්ට අනුව එකල බෝපගේ පිලියන්දල මහරගම පාරේ දොලේකනත්ත අසළ නිවසක පදිංචිව සිටි අතර කාර්මික ඉංජිනේරු විද්‍යා පශ්චාත් උපාධිය හදාරමින් සිටියේය. පසුව බෝපගේද පොලිස් අත්අඩංගුවට පත්වූ අතර බෞද්ධාලෝක මාවතේ පිහිටි එවකට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය පිහිටි ගොඩනැගිල්ලේ රඳවාගනු ලැබීය. පසුව රහස් පොලිසියේ 4වැනි තට්ටුවේද මැගසින් බන්ධනාගාරයේද මාස 7ක් රඳවා ගැනීමෙන් පසු බෝපගේ නිදහස් කරන ලදී. එහෙත් ලියුම්කරු පවසන්නේ මානික්‍යදාසන් ප්ලොට් සන්නද්ධ අංශ නායකයා බවට පත්වූයේ 1990 දශකයේ මුල් භාගයේදි බවය. බෝපගේ සාකච්ඡා කරන 1985 මැයි වන විට මානික්‍යදාසන් ප්ලොට් සංවිධානයේ ක්‍රියාකාරි ඉදිරිපෙළ නියමුවෙක් පමණක් බවය. (මානික්‍යදාසන්ගේ මව සිංහල ජාතිකයෙකුවූ අතර ඇයගේ සොහොයුරියක් වූයේ ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායකගේ මව වේ). එබැවින් එම සාකච්ඡාව සිදුව ඇත්තේ එවකට ප්ලොට් නායකයෙකුවූ ගෞරි කාන්තන් නොහොත් සුප්පයියා සමඟ බව ලියුම්කරු සතු තොරතුරු තහවුරු කළේය.
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුව 1987 ජුලි 15 වැනිදා පැවරීම යටතේ ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් අතරින් 22ට නඩු වැටිණි. ඉන් 38වන විත්තිකරු ජවිපෙ නව ප්‍රවණතාවයේ සරසවි සිසු නායකයෙකුවූ මොරටු ඉංජිනේරු සිසු කැමිලස් සිල්වා සහ 39වැනි විත්තිකරු කල්‍යානන්ද පෙරේරා යන සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නැත. සෙසු ජවිපෙ නව ප්‍රවණතාවයේ සැකකරුවන් 20දෙනා වසර දෙකහමාරකට ආසන්න කාලයක් මුළුල්ලේ එනම් 1985 ජුලි සිට 1988 අප්‍රේල් දක්වා බන්ධනාගාරගත වීමට සිදුවිය. ඔවුහු බෞද්ධාලෝක මාවතේ වර්තමාන අල්ලස් කොමිසම පිහිටි එවකට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය පිහිටි ගොඩනැගිල්ල, කොටුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ 4වැනි තට්ටුව, ලොන්ඩන් පෙදෙසේ විශේෂ රැඳවුම් ඒකකය, කොම්පඤ්ඤවීදියේ පිහිටි යුධ හමුදා ඉංජිනේරු සංඥා මධ්‍යස්ථානය, පොලිස් ස්ථානවූ කොල්ලුපිටිය, බම්බලපිටිය, දෙමටගොඩ, බොරැල්ල, මොරටුව, මාලිගාවත්ත, වරාය, මෝදර, කොම්පඤ්ඤවීදිය යන පොලිස් ස්ථානවල රිමාන්ඩ් මැදිරිවලද රඳවා ගෙන වධ බන්ධනවලට ලක්ව අවසානයේ බොරැල්ලේ මැගසින් රිමාන්ඩ් බන්ධනගාරයේ එච් සහ එල් වාට්ටුවල රඳවා තබාගන්නා ලදී. එච් වාට්ටුව විවෘත වාට්ටුවක් වන අතර එල් වාට්ටුව විශේෂ සිරකුටි 7ක් සහිත වාට්ටුවකි.
සිය ව්‍යාපාරයේ අරමුණු මුදුන්පත් කරගැනීම සහ පූර්ණකාලීනයින් නඩත්තු කිරීම සඳහා ජවිපෙ නව ප්‍රවණතාවය මුදල් රැස්කිරීම සඳහා ජවිපෙ මෙන්ම විවිධ මංකොල්ලකෑම් 30ක් පමණ 1984 සිට 1985දී සිදුකර තිබිණි. එම මුදල් රැස්කිරීමේ කටයුතු සඳහා රුවන් අබේකෝන්, ගාමිණී පතිරගේ, සැම්සන් ගුණසේකර, තිස්ස උදයකුමාර, වාස් තිලකරත්න, මහින්ද පතිරණ ඇතුළු සාමාජිකයෝ ක්‍රියාකාරිව මැදිහත් විය. එයට 1984දී මඩකලපුවේදී, 1985 මැයි 14 පිළියන්දලදී සහ 1985 ජුනි 30 නුවර තැන්නකුඹුරේදී ඇතුළු ඉන්ධන පිරවුම්හල් 17කින් පමණ මුදල් මංකොල්ලකෑම, බොරැල්ල ඇතුළු මත්පැන් අළෙවිහල් කිහිපයක මුදල් කොල්ලකෑම්, 1985 මැයි 20වැනිදා වාද්දුව මහා විද්‍යාලයේ ගුරු වැටුප් රුපියල් 86,000 මුදල් මංකොල්ලය, 1985 සැප්තැම්බර් 20 මොරටුව වේල්ස් කුමාර විදුහලේ ගුරු වැටුප් රුපියල් 110,000ක මංකොල්ලය, බිස්කට් කර්මාන්තශාලාවකින් රුපියල් ලක්ෂ 12 මුදල් මංකොල්ලය, වත්තල පෙගාසිස් හෝටලයේ 325,000ක මුදල් මංකොල්ලය, ගල්කිස්ස හෝටලයේ 220,000 මුදල් මංකොල්ලය ඒ අතර විය. තවත් එවැනි මංකොල්ලකෑමකදී ඇතිවු සිද්ධියකින් පිළියන්දල මාම්පේ පදිංචි යුධ හමුදා සෙබළ පී.ජී. සෝමදාසගේ මරණයද 1985 මැයි 14වැනිදා සිදුවී තිබිණි. කොළඹ තෝමස් කුක් ආයතනයෙන් 1984දී රුපියල් ලක්ෂ 30 මුදල් සහ ලක්ෂ 50ක සංචාරක චෙක්පත් ඇතුළු රුපියල් ලක්ෂ 80 මංකොල්ලයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය චෝදනා කළේද ජවිපෙ නව ප්‍රවණතාවයේ නඩුවේ 3වැනි විත්තිකරුවූ සුබසිංහ කුමාරසිංහටය. සර්වෝදයට අයත් රුපියල් 32,000ක් වටිනා නවීන යතුරු පැදියක්ද පස්යාලේදී කොල්ලකා තිබිණි.
මෙම මංකොල්ලකෑ මුදල්වලින් සංවිධානයේ පූර්ණකාලීනයින් සඳහා නිවාස 5 කුලියට ගැනීම්, යතුරු පැදි 6ක් මිලදී ගැනීම්, අවි ආයුධ මිලදී ගැනීම්, කේඩරයන් නඩත්තු කිරීම් සහ දෛනික සම්බන්ධීකරණ කටයුතු, ආණ්ඩුවේ සහ ජවිපෙ තර්ජනයට ලක්වූ සාමාජිකයන් ජිවිත ආරක්ෂාවට විදේශගත කිරීම සඳහා වැනි අවශ්‍යතාවයන්ට වැයකර තිබිණි.
ජවිපෙ නව ප්‍රවණතාවේ සාකච්ඡා විටින් විට කණ්ඩායම් වශයෙන් රැස්වූයේ රත්මලාන දුම්රිය නිවාස, රාජගිරිය ඔබේසේකරපුර, තිහාරිය, වත්තල, පිළියන්දල, මොරටුව ඇතුළු ස්ථාන කිහිපයකය. සංවිධානයේ කටයුතු සඳහා වත්තල, කිරිබත්ගොඩ, අංගොඩ සහ කටුබැද්ද යන ස්ථානවලින් නිවාස 5 බදු පදනම යටතේ කුලියට ගෙන තිබිණි. කටුබැද්ද නිවසේ චූලසේන ඇතුළු ඔහුගේ මව සහ සොහොයුරියන් සිටි අතර වත්තල නිවසේ රුවන් සහ ඔහුගේ පවුලේ අය පදිංචිව සිටියහ. අංගොඩ දෙල්ගහවත්ත නිවසේ ගුණසේකර සහ පවුලේ අය පදිංචිව සිටියහ. ඊට අමතරව පිළියන්දල සුවාරපොල නිවසක්ද සංවිධානයේ කටයුතු සඳහා පරිහරණය කෙරිණි.
මෙම කණ්ඩායම උතුරේ බෙදුම්වාදී සංවිධානවලින් අවි පුහුණුව හෝ අවි ලබාගෙන නොතිබුණද වෙළඳපොලෙන් සහ උතුරේ සන්නද්ධ කැරළිකරුවන්ගෙන් මිලදී ගත් නවීනතම අවි ආයුධ සුළු ප්‍රමාණයකින් සන්නද්ධ වී තිබිණි. මෙම ආයුධ මිලදී ගනු ලැබුවේ රිවෝලරයක් රුපියල් 8,000කට සහ පිස්තෝලයක් රුපියල් 15,000කට වැනි මුදලකට මොරටුව, රත්මලාන සහ වව්නියාවෙනි. එසේ ගත් අවි ආයුධ අතර ඒ.කේ 47 තුවක්කුවක්, රිපීටර් තුවක්කු, රිවෝලර් 10, පතුරොම්ද විය. එමෙන්ම කිිහිපදෙනෙකුට අවි පුහුණුව ස්වයංව ජාඇල මුතුරාජවෙල ප්‍රදේශයේදී ලබාදුන් බවට හෙළිවිය. පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන ඉදිරිපිට ලී මෝලේ සඟවා තිබී පොලිසියෙන් රිවෝලර් 5ක්ද සොයාගත් අතර එම ගිනි අවි පන්නිපිටිය සහ පැපිලියාන යන ස්ථානවල සඟවා තබාගැනීම වෙනුවෙන් සුසිල් කරුණාරත්න, රුවන් අබේකෝන් සහ රැල්ෆ් විජේසිංහ යන තිදෙනාට අධිකරණය ඉදිරියේ චෝදනා නඟා තිබිණි. ඉරාකයේ සිට පැමිණීමේදී වායු පිස්තෝලයක් රැගෙන පැමිණි සංවිධානයේ ක්‍රියාකාරිකයෙකුවූ රත්මලානේ මාපිටිගම 1986 මුලදී ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව පහරදීමකින් පසු මියගොස් තිබුණද එය සියදිවි හානිකර ගැනීමක් ලෙසට කරුණු ඉදිරිපත් විය. මොරටු පොලිසිය තුළද 1986දී ක්‍රියාකාරිකයෙකු මියගිය බවට නිල නොවන වාර්තා පලවිය.
ජවිපෙ නව ප්‍රවණතාවය පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශ 1984 සිට අවධානය යොමුකලද කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට 1985 ජුනි දක්වා නොහැකි විය. පොලිසිය විසින් ඔවුන්ගේ මංකොල්ලකෑම් හඳුන්වනු ලැබුවේ ‘හයිවේ රොබරීස්’ ලෙසය. එහෙත් 1985 ජුනි 30 වැනිදා නුවර තැන්නකුඹුර සමූපකාර ඉන්ධන පිරවුම්හල කොල්ලකා පලායෑමෙන් පසු ගලගෙදර පොලිසිය මගින් එය ඉදිරිපිටදී මුහුණට මුහුණලා පැවති වෙඩි ප්‍රහාරයකින් පසු දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. එම කොල්ලය සඳහා රුවන් අබේකෝන්, සැම්සන් ගුණසේකර, ගාමිණි පතිරණගේ සහ වාස් තිලකරත්න යතුරුපැදි දෙකකින් එක්ව තිබිණි. කොල්ලයෙන් පසු රුවන් විසින් පදවන ලද යතුරු පැදියෙන් වාස් පලායැමට සමත්වූවද ගුණසේකර පැදවු යතුරුපැදියේ පසුපස ගමන්කල ගාමිණී පතිරගේ ගලගෙදර කුරුණෑගල පාරේදී පොලිසියට කොටුවිය. දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් ඇතිවිය. අවසානයේ බරපතල තුවාල ලැබූ ගාමිණී රෝහළට ඇතුලත් කල අතර ගුණසේකර එම ස්ථානයේදීම අත්අඩංගුවට පත්විය. එම දෙදෙනාගේ ප්‍රකාශයන් අනුව සෙසු අය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අවසානයේදී වසරක් සාර්ථක විය.
පොලිස් පරික්ෂණ ජවිපෙ නව ප්‍රවණතාවයට එරෙහි සිදුකල ප්‍රධානියා වූයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාවන ජේෂ්ඨ පොලිස් අධිකාරි ටෙරන්ස් පෙරේරාය. එම කණ්ඩායමට රහස් පොලිසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ජයසූරිය, සහකාර පොලිස් අධිකාරිවරුන් වන පුණ්‍යා ද සිල්වා, ඕ.කේ. හේමචන්ද්‍ර, ලයනල් ගාල්ලගේ, එම්.එම්.එල්.බී ජයසූරිය, ලයනල් ගාල්ලගේ, කේ. ගජනායක, ඩී.එම්.ටී. පුස්සැල්ල ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරින්ද මොරටුව, තලාතුඔය, ගලගෙදර, මහනුවර, මාතර, මතුගම, මහරගම, ගාල්ල, පෑලියගොඩ, වැලිමඩ ඇතුළු පොලිසි කිහිපයක පොලිස් නිලධාරින්ද එක්ව සිටියහ.
ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයන් වශයෙන් සිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාව යටතේ නඩු පැවරූ 22දෙදෙනාගේ විස්තර මෙසේය. ගීගනගේ චන්ද්‍රසිරි නඩුවේ 1වැනි විත්තිකරුය. අසේල නොහොත් සමන්ත නොහොත් සමරසිංහ නමින්ද හැදින්විණි. ජවිපෙ නව ප්‍රවණතාවයේ නිර්මාතෘ සහ නායකයා ඔහුය. වැලිගම මිරිස්සේ පදිංචිකරුවෙකි. තුල්හිරිය පෙහෙකම්හලේ කලක් සේවය කළේය. ජවිපෙ පූර්ණකාලීනයෙකු සහ සංවිධායකවරයෙකු වශයෙන් 1974 සිට 83 දක්වා කටයුතු කළේය. ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවන්හි නායකත්වය දැරීය. සිව්දරු පියෙකි. ටෙරන්ස් පෙරේරා සහ ගල්කිස්ස පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක දිසානායක, උප පොලිස් පරික්ෂක පාලිත පෙරේරාගේ සහභාගිත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් 1986 ජුලි 7වැනිදා පැපිලියානේදී අත්අඩංගුවට ගන්නා ලදී.
වතුදුර යසරත්නද සිල්වා නඩුවේ 2වැනි විත්තිකරුය. ඩබ්ලිව්. වයි ද සිල්වා නමින් හැදින්විණි. අම්බලන්ගොඩ බටපොල උපන්නෙකි. අම්පාරේ පදිංචිකරුවෙකි. සිව්දරු පියෙකි. යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකු වශයෙන් සේවය කරමින් සිටියදි එහි වෘත්තීය සමිතියේ සභාපතිවරයා විය. සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරිකයෙකුවූ ඔහු පසුව 70 දශකය අගභාගයේදී ජවිපෙට එක්විය. කොළඹ සංවර්ධන සභාවට ජවිපෙන් 1981 තරඟ කල අපේක්ෂකයෙකි. ජවිපෙ නව ප්‍රවණතාවයේ ආරම්භක ක්‍රියාකාරිකයෙකි. ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක්විය. නඩුවෙන් නිදහස්වීමෙන් පසු යළිත් සමසමාජයට එක්වි ඉන් ඉවත්විය.
සුබසිංහ මුදියන්සේලාගේ කුමාරසිංහ නඩුවේ 3වැනි විත්තිකරුය. කිරි මහත්තයා නොහොත් වව්නියාවේ කුමාර නමින්ද හැදින්විණි. වව්නියාව මඩුකන්දේ පදිංචිකරුවෙකි. රෝහණ විජේවීරගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වශයෙන් කලක් කටයුතු කළේය. ප්ලොට් සංවිධානය යටතේ ඉන්දියාවේ අවි පුහුණුව ලැබූවෙකි. ජවිපෙ නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක්වූ අතර එය සම්බන්ධීකරණය කළේද ඔහුය. නිදහස්වීමෙන් පසු ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේද කලක් සිටි කුමාරසිංහ පසුව ඩග්ලස් දේවානන්දගේ ඊ.පී.ඩී.පී පක්ෂයේ පූර්ණකාලිනයෙකු විය. භාෂා ත්‍රිත්වයේම දැනුම ඇත්තෙකි. වර්තමානයේ බිරිඳ සහ දරුවා සමඟ බ්‍රිතාන්‍යයේ පදිංචිය.
මාලිගරත්නගේ අබේකෝන් නඩුවේ 4වැනි විත්තිකරුය. රුවන් නමින්ද හැදින්විණි. මහනුවර උපන්නෙකි. දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. පූර්ණකාලීනයෙකු වශයෙන් ජවිපෙට 70 දශකයේ මැදභාගයේදී එක්විය. රත්මලාන ආසනයේ ජවිපෙ සංවිධායකව සිට ජවිපෙ තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාවයට බැදිණි. නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක්විය. රත්මලාන පදිංචිය. තිදරු පියෙකි. වෘත්තීය කලාකරුවෙකි.තත්ත්‍රිඅච්චි පින්නවලගේ සුසිල් කරුණාරත්න නඩුවේ 8වැනි විත්තිකරුය. 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධව වසර 2ක් සිරගතව සිටියේය. පුත්තලම සිමෙන්ති කම්හලේ හිටපු ලිපිකරුවෙකි. කෑගල්ලේ පදිංචිය. ජවිපෙ තහනම් වනවිට හම්බන්තොට ජවිපෙට අයත් අක්කර 100කට ආසන්න ආණ්ඩුවේ ඉඩමක පිහිටි නිල නොවන ගොවිපොලේ භාරකරුය. නව ප්‍රවණතාවයේ ආයුධ කිහිපයක් ගබඩාකරගෙන තිබුණේ ඔහු භාරකරුවූ පැපිලියානේ ලී මෝලේය. දෙදරු පියෙකි. 2012දී අභාවයට පත්විය.
චිරත්න ඉන්ද්‍රජිත් වීරවර්ධන නඩුවේ 15වැනි විත්තිකරුය. රත්ගම කහව උපන් අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. අත්අඩංගුවට ගත්තේ 1986 අගෝස්තු 18වැනිදාය. මොරටු සරසවියේ ඉංජිනේරු උපාධිය පසුව නිමාකර වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර ජීවත්වන ජේෂ්ඨ ඉංජිනේරුවරයෙකි. ආජරත්නම් ශ්‍රී ස්කන්ධරාජා නඩුවේ 16වැනි විත්තිකරුය. බම්බල් නමින්ද හැදින්විණි. ජවිපෙ යාපනය දිසාවේ සංවිධායකයෙකු වශයෙන් 1977 සිට 1983 දක්වා කටයුතු කටයුතු කිරීමෙන් පසු ජවිපෙ නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක්විය. මඩකලපුවේ පදිංචිකරුවෙකි. වර්තමානයේ ඇමරිකාවේ පදිංචිය.අත්තනායක මුදියන්සෙලාගේ ජයරත්න බණ්ඩා නඩුවේ 17වැනි විත්තිකරුය. කුරුණෑගල මලියදේව විදුහලේ අධ්‍යාපනය ලැබූවෙකි. මාවතගම ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකි. වෘත්තියෙන් ගුරුවරයෙකි. ලංකා ගුරු සංගමයේ කුරුණෑගල හිටපු දිස්ත්‍රික් ලේකම්ය. ජවිපෙ වෘත්තීය අංශයේ 1976 සිට 1983 දක්වා කටයුතු කළේය. පසුව ජවිපෙ නව ප්‍රවණතාවයට එක්විය. විශ්‍රාම ගියේ කලාප අධ්‍යාපන විදුහල්පති උපදේශකවරයෙකු වශයෙනි.
ලන්තුවාහැන්දි සැම්සන් ද සිල්වා නඩුවේ 18වැනි විත්තිකරුය. ගුණසේකර නොහොත් ගුණේ නමින්ද හැදින්විණි. පිළියන්දල පදිංචිකරුවෙකි. ගල්කිස්ස හෝටලයේ සේවකයෙකු වශයෙන් සිට ජවිපෙ හරහා නව ප්‍රවණතාවයට එක්විය. ව්‍යාපාරයට මුදල් රැස්කිරීමේදී 1985 ජුනි 30 මහනුවර තැනනකුඹුරේ මංකොල්ලයේදී පොලිස් අත්අඩංගුවට පත්විය.වල්ගම්පොලගේ රවීන්ද්‍ර පද්මසිරි පෙරේරා නඩුවේ 19වැනි විත්තිකරුය. රත්මලාන ජවිපෙ හිටපු සංවිධායකවරයෙකි. පසුව ජවිපෙ නව ප්‍රවණතාවයට එක්විය. වර්තමානයේ ව්‍යාපාරිකයෙකි.හීනැටිගල පතිරණගේ ගාමිණී නඩුවේ 22වැනි විත්තිකරුය. කළු මල්ලී නමින්ද හැදින්විණි. ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකි. රාජගිරිය ඔබේසේකරපුර පදිංචිකරුවෙකි. විදුලි කාර්මිකයෙක් මෙන්ම රියදුරෙකි. 1976 සිට ජවිපෙ ක්‍රියාකාරිකයෙකුව සිට 1983 ඉවත්ව ජවිපෙ නව ප්‍රවණතාවයට අරමුදල් රැස්කිරීමේ අරමුණින් මහනුවර තැන්නකුඹුර ඉන්ධන පිරවුම්හල 1985 ජුනි 30 කොල්ලකෑමෙන් අනතුරුව පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවේදී සියතින්ම පිස්තෝලයෙන් මුහුණට වෙඩි තබාගැනීමෙන් බරපතල තුවාල ලබා එක් ඇසක් අහිමි විය.
අර්ඩිලි ෆ්‍රැනිසිසි ද වාස් තිලකරත්න නඩුවේ 23වැනි විත්තිකරුය. වාස් තිලකරත්න නොහොත් සුනිල් ජයරත්න නමින්ද හැදින්විණි. කැලණිය ධර්මාලෝක විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර පේරාදෙණිය සරසවියේ උපාධිය හදාරමින් සිටියදී පුර්ණකාලීනව ජවිපෙට එක්වී 71 කැරැල්ලටද සම්බන්ධ විය. පසුව නිදහස්ව ජවිපෙ දේශපාලන බල මණ්ඩල සභිකයෙකු සහ නායකයෙකු විය. වාස් 1982 ජවිපෙන් ඉවත් කළේය. ඉන්පසු ජවිපෙ එදිරිවාදියෙක් බවට පත්ව කටයුතු කල අතර ජවිපෙ ඝාතන ප්‍රයත්න දෙකකින් බේරීමට හෙතෙම සමත් විය. ජවිපෙ නව ප්‍රවණතාවය ආරම්භයේ සිට නිල නොවන දේශපාලන මණ්ඩල සභිකයෙකි. පසුකාලීනව මියයන විට එක්දරු පියෙකි.
වඩුමස්තිගේ තිස්ස උදයකුමාර නඩුවේ 24වැනි විත්තිකරුය. තිස්ස නමින්ද හැදින්විණි. උඩුගම්පොල පදිංචිකරුවෙකි. වෘත්තියෙන් ගොවියෙකි. ජවිපෙ පුර්ණකාලීනයෙකු ලෙස කලක් මඩකලපුවේ කටයුතු කර 1984 නව ප්‍රවණතාවයට එක්විය.ඉනුහාමි මුදියන්සෙලාගේ රම්බණ්ඩා නඩුවේ 26වැනි විත්තිකරුය. මහව ගල්ගමුවේ පදිංචිකරුවෙකි. ලංගම කාර්මික නිලධාරියෙකු ලෙස උතුරු ඩිපෝවේ සේවය කළේය. ජවිපෙ ගල්ගමුව ආසනයේ සංවිධායකවූ ඔහු පසුව නව ප්‍රවණතාවයට එක්විය.
ප්‍රේමසිංහ ආනන්ද ජයසිංහ නඩුවේ 27වැනි විත්තිකරුය. ආනන්ද නොහොත් සුදු මල්ලී ලෙසද හැදින්විණි. වව්නියාව මඩුපල්ලියේ පදිංචිය. ජවිපෙ එක්වූයේ 1978දීය. පසුව 1984දී නව ප්‍රවණතාවයට එක්විය. ජවිපෙ නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට සහභාගිවිය. දෙදරු පියෙකි. අයි. සිරිපාල නඩුවේ 30වැනි විත්තිකරුය. දෙහිවල උපන්නෙකි. ජවිපෙ තැපැල් සේවක සංගමයේ හිටපු නායකයෙකි. වර්තමානයේ නීතිඥවරයෙකි. තිදරු පියෙකි. ගම්පහ පදිංචිය.
ෆැන්සිකු හෙට්ටිගේ කැමිලස් ද සිල්වා නඩුවේ 38වැනි විත්තිකරුය. කොළඹ ආනන්ද විදුහලේ අධ්‍යාපනය ලත් අතර මොරටුව සරසවියේ ඉංජිනේරු සිසුවෙකි. සරසවියේ මුල්පෙළේ සිසු නායකයෙකි. ජවිපෙ නව ප්‍රවණතාවය 1984 අවසානය වන විට මොරටු සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරින් අතර බහුතර බලය ලබා ගැනීමට සමත්වූයේ කැමිලස් සහ චිරන්තගේ මැදිහත්වීමෙනි. අත්අඩංගුවට ගැනීමෙන් බේරීම සඳහා 1986දී නැගෙනහිරට ගොස් ප්ලොට් සංවිධානය සමඟ එක්විය. යුද්ධය අවසාන කාලයේ 2009 සරණාගතයින් ලෙස ද්‍රවිඩ ජාතික බිරිඳ සහ දරුවන් සමඟ දකුණට පළා ආවේය.
කල්‍යානන්ද පෙරේරා නඩුවේ 39වැනි විත්තිකරුය. රත්මලාන ජවිපෙ හිටපු සංවිධායකවරයෙකි. පසුකාලීනව එක්ස් කණ්ඩායමේ කටයුතු කළේය. එස්. සිවඥානම් නඩුවේ 40වැනි විත්තිකරුය. සිවා නමින්ද හැදින්විණි. අනුරාධපුරයේ පදිංචිය. විජේවීරගේ ද්‍රවිඩ පරිවර්තකයෙකු විය. බිරිඳ යාපනයේ සුන්නාකම්හි පදිංචිකරුවෙකි. ප්ලොට් සංවිධානය යටතේ ඉන්දියාවේ අවි පුහුණුව ලැබූවෙකි. ජවිපෙ තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාවයට එක්විය. නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක්විය. පසුකාලයේ ඇමති ඩග්ලස් දේවානන්දගේ පරිවර්තකයෙකු ලෙස කටයුතු කල අතර 2004දී අභාවයට පත්විය. තිදරු පියෙකි.
මෙයට අමතරව ජවිපෙ නව ප්‍රවණතාවට සම්බන්ධ ක්‍රියාකාරිකයින් 5 දෙනෙකු රජයේ සාක්ෂිකරුවන් බවට එම රාජ්‍ය විරෝධී නඩුවේදී පත්වූහ. ඔවුහු මෙසේය. පියසිරි නිශ්ශංක බණ්ඩාර හේරත් රජයේ 1වැනි සාක්ෂිකරු විය. මැණික්හින්න තැන්ගල්ල කුරුවිකොටුව වත්තේ පදිංචිකරුවෙකි. නව ප්‍රවණතාවය සහ ප්ලොට් සමඟ වව්නියාවේ සාකච්ඡාවට එක්විය. ජවිපෙ නව ප්‍රවණතාවයට සම්බන්ධවී නිදහස් වීමෙන් පසු නැවත ජවිපෙ දෙවැනි කැරැල්ලේ සන්නද්ධ අංශයට එක්විය. පසුව ටී56 ආයුධ 3ක් සන්තකයේ තබා ගනිමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඝාතනයකර මහනුවර දුම්රිය පොල ඉදිරිපිට මාරගසක එල්ලා තිබූ බව කියති.
චූලසේන සේනාරත්න රජයේ 3වැනි සාක්ෂිකරු විය. මොරටුව කටුබැද්දේ ලක්ෂපතියේ ද මැල් පාරේ පදිංචිකරුවෙකි. ඔහු නිදහස් වීමෙන් ඇමති ඇතුලත්මුදලිගේ ආරක්ෂකයෙක් වශයෙන් කලක් කටයුතු කළේය. ඇතුළත්මුදලි ඝාතනය වීමෙන් පසු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ වැඩ පරික්ෂකයෙකු ලෙසද සේවය කර ඇත. කේ. එම් ප්‍රේමරත්න රජයේ 5වැනි සාක්ෂිකරු විය. කැකලාවල ප්‍රේමරත්න නමින්ද හැදින්විණි. අලව්ව කැකලාවල පදිංචිකරුවෙකි. වෘත්තියෙන් චිත්‍ර ශිල්පි ගුරුවරයෙකි. 1975දී අර්ධකාලීනව ජවිපෙට එක්විය. විමුක්ති ගී ප්‍රසංගයටද ප්‍රචාරක වැඩ කළේය. අලව්ව විවිධ සමූපකාර සමිතියේ කලක් නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරයාව සිටි සිරි ඔහුගේ වැඩිමහල් සොහොයුරෙකි. දෙදරු පියෙකි. ගුරුවරියක් වන කාන්ති ඔහුගේ බිරිඳය. ඩබ්ලිව් එම්. තිස්ස වර්ණසූරිය රජයේ 4වැනි සාක්ෂිකරු විය. මාවතගම කොළණියේ පරණ ගුවන්තොටුපොල පාරේ පදිංචිකරුවෙකි. එම්.ඩී.එස් ගුණසේකර රජයේ 8වැනි සාක්ෂිකරු විය. හොරණ ඉහළ මිල්ලෑවේ පදිංචිකරුවෙකි.
ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයාවූ චන්ද්‍රසිරිගේ එක්කුස සොහොයුරාවූ 1954 උපන් ජී.ජී ලිලාරත්නද ජවිපෙ නව ප්‍රවණතාවයට හිතවත්ව කටයුතු කල අතර ඔහුටද වධ බන්ධනවලට ලක්වීමෙන් පසුව වසර 2ක් පමණ කාලයක් බන්ධනාගාර ගතවීමට සිදුවිය. අවිවාහකයෙකුවූ ඔහු වැලිගම උදුල ගෙස්ට් හවුස් නමින් නිවාඩු නිකේතනයක් පවත්වාගෙන ගිය අතර දකුණු පළාතේ ජවිපෙ නව ප්‍රවණතාවයේ ක්‍රියාකාරකම්වලට යන බොහෝ අයට නවාතැන් ලබාදීම ඔහුට එරෙහිව පොලිසිය නැගූ චෝදනා විය. රහස් පොලිසිය, මෝදර පොලිසිය යන ස්ථානයන්හිදී රඳවාගෙන සිටි ලිලාරත්න නිදහස්වී තෙමසක් ඇතුළත ඇතිවූ රෝගී තත්ත්වයන් හේතුවෙන් මරණයට පත්විය.
ජවිපෙ නව ප්‍රවණතාවයේ නායක ගීගනගේ චන්ද්‍රසිරි නොහොත් සමන්ත මෙන්ම ලයනල් බෝපගේද අත්අඩංගුවෙන් නිදහස්වීමෙන් පසු වරදාන සහිතව ආණ්ඩුවට එක්වෙන්නැයි ඉල්ලීමක් කර තිබුණ බව ඔවුහු කියති. ජනාධිපති ජේ.ආර් ජයවර්ධන වෙනුවෙන් එම ඉල්ලීම් පිලිවෙලින් කරනු ලැබුවායැයි කියන්නේ අගමැති ආර්. ප්‍රේමදාස සහ ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි විසින් බවද වැඩිදුරටත් පවසා තිබේ. දෙදෙනාම එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.
අවසානයේදී රාජ්‍ය විරෝධී නඩුව සම්බන්ධයෙන් ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයින් සහ ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමත් සමඟම එම කණ්ඩායමද සමාජවාදී ජනතා ව්‍යාපාරය සහ විකල්ප කණ්ඩායම් මෙන් බිඳවැටිණි. පසුව 1988 අප්‍රේල් 22 අධිකරණයෙන් නිදහස ලැබීමෙන් පසු එම කණ්ඩායම් වාෂ්ප විය. එහෙත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීම සදහා 2004 පෙබරවාරි මස ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපය ගොඩනැගෙන්නේ එහි අක්මුල් සහිතවය. ගීගනගේ චන්ද්‍රසිරි නොහොත් සමන්ත වර්තමානයේ එහි ප්‍රචාරක ලේකම්වරයෙකි.
අසූව දශකයේ මුල් භාගයේ ජවිපෙ පක්ෂ තහනමට පෙර සහ පසු බිහිවෙමින් පෝෂණයවූ දකුණේ විවිධ කණ්ඩායම් පිළිබඳව කෙරුණු විවිධ විග්‍රහයන් අසා ඇත්තෙමු. ජවිපෙට එරෙහිව විකල්පයක් බිහිකිරීම ජවිපෙ නව ප්‍රවණතාවයේ උපායමාර්ගික උවමනාව වුවද ඒ සඳහා තෝරාගත් උපක්‍රමයන් දුර්වල වූයේ ජවිපෙ සමඟ එක පෙළට තරඟ කිරීම පමණක් නොව රාජ්‍ය මර්ධනය සහ ජවිපෙ ප්‍රතිප්‍රහාරයන්ටද දරුණු ලෙස මුහුණදීමට එයට සිදුවීමෙනි. ඉතිහාසය යනු අතීතයට අයත්වූ සැම දෙයක්මය. එය කිසිදා වැළලිය නොහැක. වසර 32කට පසුව වූවද ප්‍රථමවරට ජවිපෙ නව ප්‍රවණතාවයේ තොරතුරු මෙසේ හෙළිවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය. වමේ ව්‍යාපාරයෙහි කිසියම් ක්‍රියාශීලිත්වයක් විදහාපාමින් එහි සටන්කාමි සම්ප්‍රදායන්ට අනාගතයේදී පණපෙවීමට ප්‍රයත්න දරන පක්ෂ, කණ්ඩායම් සහ පුද්ගලයින්ට උක්ත ඉතිහාසයෙන් ගතහැකි පාඩම් බොහෝය.
(ජවිපෙ 2වැනි කැරළි සමයවූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව ලබාගැනීම පිළිබද විස්තර පහත ලිපිනයට ඔබගේ ලිපිනය යොමු කිරීමෙන් ලබාගත හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: ejournalists@gmail.com)
The writer ධර්මන් වික්‍රමරත්න Dharman Wickremaretne is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384.