ජාතික ගීය ගැන මෙරට අනුකාරක උගතුන් බොහෝ දේ කියා ඇත. සිංහල බුද්ධාගමට විරුද්ධව ගිනි පෑගු කාලෝ ෆොන්සේකාට අනුව ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම ඒ දෙමළ ජනයාගේ උගුරෙන් පහළට තල්ලු කිරීමකි. (මේ ලිපිය කාලෝ ෆොන්සේකාට ද යැවෙයි) . ඊනියා විද්‍යාත්මක යථාර්ථවාදී බුද්ධිමතකු ලෙස රටේ පිළිගැනීමක් ඇතත් කාලෝට අනෙක් බොහෝ දේ ගැන මෙන් ම ජාතික ගීය ගැන ද විචාර්ත්මක ව සිතිය නො හැකි ය.
ජාතික ගීය යන සංකල්පය අපට බටහිරින් ලැබුණු එකකි. එය දැන් අපේ සංස්කෘතියට ද අවශෝෂණය කෙරී ඇත. අද සෑම රටකට ම පාහේ ජාතික ගීයක් ඇත. එය රටේ (රාෂ්ට්‍ර) ගීතය හෝ රාජ්‍ය ගීතය ලෙස නොව ජාතික ගීය ලෙස හැඳින්වෙන්නේ බටහිර ක්‍රමයට අනුව අද පවතින්නේ ඊනියා ජාතික රාජ්‍ය බැවිනි. එහෙත් ජාතිය යන්න බටහිර ක්‍රමයට අනුව අර්ථ නොදැක්වෙන සංකල්පයකි! අපි පසුව ජාතිය ගැන විස්තරාත්මක ව කතා කරමු.
ජාතික ගීය ගැයිය යුතු කිනම් බසකින් ද? ලංකාවේ ජාතික ගීය ප්‍රංශ බසින් ගැයිය යුතු යැයි ඇතැම් විට චන්ද්‍රිකා කුමාරතුංග වැන්නකු කීමට ඉඩ ඇත. එහෙත් ජාතික ගීය ගැයිය යුතු වන්නේ අදාළ රටේ මිනිසුන් කතාකරන බසකිනි. රටේ සියලු මිනිසුන් එකම භාෂාවක් කතාකරන්නේ නම් ජාතික ගීය ඒ භාෂාවෙන් ගැයෙනු ඇත. එහෙත් රටක භාෂා එකකට වඩා කතා කෙරෙන්නේ නම් ජාතික ගීය ගැයිය යුතු වන්නේ කිනම් බසකින් ද?
එහි දී බලපැවැත්වෙන නිර්ණායක කිහිපයකි. සිංගප්පූරුව වැනි අලුත් රටක, ඉතිහාසයක් නැති රටක, රටේ කතාකෙරෙන සියලු භාෂාවලින් ජාතික ගීය ගැයීමේ වරදක් නැත. ඒ එක් බසකට අනෙක් බසකට වඩා විශේෂත්වයක් නොමැති නම් ය. ඇතැම් රටවල වාසය කළ ජනතාව මුලුමනින් ම මෙන් ඝාතනය කිරීමෙන් පසු යුරෝපීයයෝ ඒ ඒ රටවල අලුතෙන් රාජ්‍ය පිහිටුවූහ. එහි දී ඇමරිකන් එක්සත් ජනපදය, ඕස්ටේර්ලියාව වැනි රටවල රාජ්‍ය භාෂාව ඉංගිරිසි පමණක් විය. (ඇ එ ජනපදයේ ස්පාඤ්ඤ බස කතාකරන්නන් ද සිටි නමුත් ඔවුහු රාජ්‍යය සම්බන්ධයෙන් බල රහිත වූහ.) ඒ රටවල ජාතික ගීය ද ඉංගිරිසි බසින් පමණක් ගැයෙයි. එහෙත් කැනඩාවේ තත්ත්වය වෙනස් විය. එහි ප්‍රංශ කතාකරන්නන්ට ද දේශපාලන බලයක් තිබිණි. එහි ඉංගිරිසි හා ප්‍රංශ රාජ්‍ය භාෂා වෙයි. ජාතික ගීය ද ඒ භාෂා දෙකෙන් ම ගැයෙයි.
ඒ අලුත් රටවල තත්ත්වය ය. එංගලන්තය,ප්‍රංශය ආදී පැරණි රටවල, යම් ඉතිහාසයක් ඇති රටවල, ජාතික ගීය අදාළ රටෙහි ඓතිහාසික භාෂාවෙන් ගැයෙයි. එංගලන්තයේ ඓතිහාසික භාෂාව ඉංගිරිසි ය. ප්‍රංශයේ ඒ ප්‍රංශ වෙයි.
බොහෝ දෙනා ගෙනහැර දැක්වූ උදාහරණයක් වූයේ ඉන්දියාව ය. ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ එහි රාජ්‍ය භාෂාවක් (එහි දැනට රාජ්‍ය භාෂා හින්දි හා ඉංගිරිසි වෙයි) නොවූ වංග හෙවත් බෙංගාලි බසිනි. බහුතරය නොවූවත් වැඩිදෙනකු කතාකරන බස හින්දි ය. සුලුතරයක බසින් ඉන්දියාවේ ජාතික ගීය ගැයෙන්නේ නම් ලංකාවේ ද දෙමළෙන් ද ජාතික ගීය ගැයීමේ ඇති වරද කුමක් දැයි සිංහල විරෝධී පඬියෝ ඇසූහ.
එහෙත් ඒ බොහෝ දෙනාට අමතක වන කරුණක් ඇත. එනම් ඉන්දියාව ඓතිහාසික රටක් නොව අලුත් රටක් බව ය. එරට ඉන්දියාව බවට පත්වූයේ ඉංගිරිසින්ගේ පැමිණීමෙන් පසුව ය. එයට පෙර එහි වූයේ වාංශික රාජ්‍ය ය. චේර, පාණ්ඩ්‍ය, චෝල, මෞර්ය (ලංකාවේ ඊනියා මෞර්ය වංශයක් බිහි වී ඇත්තේ සංස්කෘතික ආධිපත්‍යයක ප්‍රතිඵලයක් වශයෙනි) ආදී වාංශික රාජ්‍ය මෙන් ම තරමක් මෑතක දී මූගල් වාංශික රාජ්‍ය ද ඒ ප්‍රදේශයෙහි පැවතී ඇත. සුද්දෝ මේ රාජ්‍ය හා දේශ එකතුකර ඉන්දියාව බිහිකළහ. සුද්දන්ගෙන් ඉන්දියාව නිදහස්වීමට කරන ලද අරගලයේ දී බෙංගාලය ප්‍රමුඛ ස්ථානයක් ගත්තේ ය. සුද්දන්ගේ ඉන්දියාවේ පළමු අගනුවර වූයේ කොල්කතාව බව අමතක නොකළ යුතු ය. කොල්කතාව ආශ්‍රයෙන් විවිධ බ්‍රහ්ම සමාජ් ගොඩ නැගිණි. රබින්ද්‍රනාත් තාගෝර්තුමා ද නිදහස් සටනෙහි කාර්යභාරයක් ඉටු කෙළේ ය. (මේ නිදහස් සටන සුද්දන්ට සම්පුර්ණයෙන් විරුද්ධ වූ එකක් නොවන බවත් එය සුභාෂ් චන්ද්‍රබෝෂ්ගේ සටනින් වෙනස් වූ බවත් අවධාරණය කළ යුතු ය. තාගෝර්තුමාට සාහිත්‍යය පිළිබඳ නොබෙල් තෑග්ග ද ලැබුණු බව ද අමතක නොකළ යුූතු ය) තාගෝර්තුමා සුද්දන්ගේ පාලන සමයෙහි දී ම ජන ගන මන ගීතය ලියා ඒ බ්‍රහ්ම සමාජ් හා වෙනත් සමාජ උත්සවවල දී ගායනය කිරීමට සැලැස්වීය. නිදහස් සටනට බෙංගාලයෙන් සිදු වු විශේෂ දායකත්වය හේතුවෙන් ඉන්දියාවේ ජාතික ගීය ලෙස එම ගීය තෝර් ගැණිනි.
ලංකාවේ තත්ත්වය කුමක් ද? ඉන්දියාව මෙන් නොව ලංකාව (සිංහළය, තම්බපන්නිය) ඓතිහාසික රාජ්‍යයකි. ඒ සුද්දන්ගේ ඊනියා ජාතික රාජ්‍ය ඇතිවීමට පෙර ම බිහිවූ රාජ්‍යයකි. සුද්දන්ගේ ජාතික රාජ්‍ය සංකල්පය මෙහි දී අදාළ නොවේ. අපට සුද්දන්ගේ සංකල්පවලින් බාහිරවූ ලෝකයක් ඇත. ලොවේ පැරණිම රාජ්‍ය වන්නේ චීනය හා සිංහලය ය. සිංහලයේ රාජ්‍ය භාෂාව (සුද්දන්ගේ සංකල්පය ම නොවුවත්) හැමදාමත් සිංහල විය. රටේ ඇති සෙල්ලිපි එයට සාක්‍ෂි දරයි. මෙරට පොත් ලියැවී ඇත්තේ මූලික වශයෙන් ම සිංහල බසිනි. ලංකාවේ ලියැවුණු දෙමළ සෙල්ලිපි හා දෙමළ පොත් කීයක් වේ දැයි සිංහල විරෝධී බටහිර අනුකාරකයන්ට කිව හැකි ද?
මෙරට නිදහස් කරගැනීම සඳහා සටන්කළෝ සිංහලයෝ ය. අප සිංහල වීමෙන් පසු සැමදාමත් විජාතිකයන්ට විරුද්ධව සටන් කර ඇත්තේ සිංහලයන් ය. එය ඉතිහාසයේ ඈතට යයි. ඉංගිරිසින්ට විරුද්ධව ද සටන්කර ඇත්තේ සිංහලයන් ය. ඊනියා ජාතික සංගමයේ පෙත්සන්කාර ඉංගිරිසි උගතුන්ගේ පෙත්සම් සටන් නොව මෙහි දී සැලකෙන්නේ වීර කැප්පටිපොළගේ සිට විසිවැනි සියවසේ භාෂා ප්‍රේමින් කළ සටන් ය. අනගාරික ධර්මපාලතුමා, මහින්ද හිමි ආදීන් මෙහි දී මතකයට නැගෙයි. ඇතැමුන් අනගාරික ධර්මපාලතුමා සමග සංසන්දනය කළ ද යාපනයේ ආරුමුගම් නවලාර් සටන් කෙළේ වෙල්ලාල ආධිපත්‍යය සඳහා බව අමතක නොකළ යුතු ය. දෙමළ ජනයා ඉංගිරිසින්ට විරුද්ධව කර ඇති සටන කුමක් ද?
මේ සියලු කරුණු මධ්‍යයෙහි මෙරට ජාතික ගීය ගැයිය යුතු එකම භාෂාව සිංහල වෙයි. දෙමළ භාෂාවට ඒ සඳහා කිසිම අයිතියක් නැත. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම මෙරට ඉතිහාසයට, නිදහස් සටන්වලට හා සංස්කෘතියට එකඟ ය. එය දෙමළෙන් ද ගැයීම මෙරට සිංහලයට හිමි සුවිශේෂ තැන නැතිකර සිංහලයන්ට අසාධාරණයක් කිරීමකි.
නලින් ද සිල්වා
2016 මාර්තු 23