Breaking
24 Feb 2025, Mon

ජාතික බලවේගය වැඩ පටන් අරන්. ඒක බලවේගයක් කියන එක නම් පැහැදිලියි. ජාතික ද කියන එක නම් එතරම් පැහැදිළි නැහැ. ඒත් කමක් නැහැ. ශ්‍රී ල නි පක්‍ෂයක් නැති බවත් වෙනත් පක්‍ෂයක් හෝ සංවිධානයක් හෝ පිහිටුවිය යුතු බවත් අප කියන්නෙ බොහෝ කාලෙක ඉඳලා. මේ වෙලාවෙ දේශපාලන පක්‍ෂයක් පිහිටුවන එකේ අමාරුකම අපට වැටහෙනවා. ඒකට ප්‍රධාන හේතුව ශ්‍රී ල නි පක්‍ෂය මැරිලා වුනත් නීතිය අනුව ඒක තාම පැවතීමයි. ඒ වගේ ම සංධානයත් නීතියෙන් පවතිනවා. ඒවට ලේකම්වරුත් ඉන්නවා. මැතිවරණ කොමිසම පිළිගන්නේ ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් සංධානෙ මන්ත්‍රීවරුන් හැටියට. ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් ව කතානායක පිළිගන්නෙත් නැහැ. අර ජෙනීවා ඉන්න ජාත්‍යන්තර පාර්ලිමේන්තු කාරයන් පිළිගන්නෙත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරුන් වෙනත් පක්‍ෂයක සාමාජිකයන් වුනොත් ඔවුන්ගෙ මන්ත්‍රීකම අනතුරේ. අර ලේකම්ලා ඉන්නෙ කඩුව මුවහත් කරගෙන. පහුගිය මැතිවරණෙ වෙන ම කණ්ඩායමක් හැටියට තරග කළා නම් ඔය නීති ප්‍රශ්නවලින් ගැළවෙන්න තිබුණා.

අපට මතක් වෙන්නෙ අනුරාධපුරේ තිබුණු රැස්වීම. ජනවාරි අටවැනි දාට පස්සෙ නුගේගොඩින් පටන් ගත්ත රැස්වීම් මාලාව අවසන් වුනේ අනුරාධපුරෙන්. ඒ රැස්වීම් මාලාව සංවිධානය කරපු අයට අපේ ස්තුතිය හිමිවෙන්න ඕන. ඒකට මහින්දගෙ නායකත්වය තිබුණු බව පැහැදිලියි. ඒත් ඔහු සහභාගි වුනේ අනුරාධපුරේ රැස්වීමට පමණයි. ඒ රැස්වීම්වල තිබුණු ගැම්ම මෛත්‍රිපාලගෙ නායකත්වයෙන් මැතිවරණයට සංධානයෙන් තරග කිරීමට තීරණය කිරීමත් එක්ක නැතිවුනා. මෛත්‍රිපාල ඝාතනය කරපු ශ්‍රී ල නි ප අනුරාධපුර රැස්වීමෙන් පස්සෙ නැගිට්ටවීමට පුළුවන් වේවිය කියන හැඟීමක් ඇතිවුණා. ඒත් සංධානය අගෝස්තු මැතිවරණයෙන් පරාජය වුනා. සංධානයේ ඇතැම් නායකයන් ජාතිකත්වයට ආමන්ත්‍රණය කෙළේ නැහැ. ඔවුන් හිතනවා එසේ කිරීම ප්‍රබුද්ධ නොවන ජාතිවාදී වැඩක් කියලා. මැතිවරණයෙන් පස්සෙ ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවනු ලැබුවා. ඒ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කරගෙන. දහනවවැනි සංශෝධනයට විරුද්ධ ඡන්දය දෙන ලෙස අප කී දේ නීති විශාරදයන් කියන අය සත පහකට මායිම් කෙළේ නැහැ. මහින්ද ජනාධිපතිවරණයෙන් පැරදිලා මාස ගණනක් යනකම් ඔවුන් ඇතුළු පඬි නායකයන් දුරකතනයටවත් ආවෙ නැති බව මහින්ද දන්නවා,

ජාතික බලවේගයෙ ප්‍රධාන අරමුණ වෙන්න ඕන මේ ආණ්ඩුව පරද්දන එක. ඒක ප්‍රශ්නයක් නොවෙයි. ඒත් පරද්දදන්නෙ මොහොකට ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් එහි ඇතැමුනට නැති බව පැහැදිලි යි. 1994 මැතිවරණයේ දි දහහත්වසරක එ ජා ප ආණ්ඩුව හෙවත් සාපය පැරදවීම අරමුණ ලෙස බොහෝ දෙනා හිතුවා. චන්ද්‍රිකාගේ නායකත්වයෙන් එ ජා පක්‍ෂය පරදවන්නේ කුමකට ද යන්න එදා බොහෝ දෙනා කතා කෙළේ නැහැ. ඇය පිටුපස සිටි සිංහල විරෝධී බලවේග ගැන බොහෝ දෙනාට අවබෝධයක් තිබුණෙත් නැහැ. චන්ද්‍රිකාගෙ ආණ්ඩුව පැකේජය ඉදිරිපත් කළ විට ඒක පරද්දන්න ඒ දවස්වල පිහිටුවා ගත්ත ජාතික ඒකාබද්ධ කමිටුව රට වටේ ගියා. පැකේජය නම් පැරුද්දුවා. ඒත් ඒ ජාතික ඒකාබද්ධ කමිටුව පත් කළ සිංහල කොමිසම ම ෆෙඩරල් දිය යුතු බව කියැවෙන වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවට විරුද්ධව කටයුතු කිරීම නිසා බෙංගමුවේ නාලක හාමුදුරුවන්, ඕමාරේ කස්සප හාමුදුරුවන් හා මා ජාතික ඒකාබද්ධ කමිටුවෙන් ඉවත් කෙරුණා!

මේ රට අද විදේශිකයන් විසින් පාලන කෙරෙන්නෙ. අපේ පාර්ලිමේන්තුවට වඩා ජෙනීවා බලවත්. ඒකාබද්ධ විපක්‍ෂෙ අයත් එහෙ යනවා. අප ඒකෙන් නිදහස් වෙන්න ඕන. එංගලන්තය යුරෝපා සංගමයෙන් වෙන්වන්නෙ තමන්ගෙ අනන්‍යතාව, ස්වාධීනත්වය රැකගන්න. දැන් ලෝකෙ ජාතිකත්වය මතුවේගන එනවා. අපේ අයිතීන්ට එක එකාට ඇඟිලි ගහන්න දෙන්න බැහැ. අප ලොකු රටක් ද පොඩි රටක් ද යන්න වැදගත් නැහැ. මෛත්‍රිපාල මොනව කිවුවත් රනිල්ලා මංගලලා හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවනවා. හමුදා මෙහෙයුම්වල දී ඊනියා මානව අයිතිවාසිකම් කඩවුණා ද නැද්ද හොයන්න තවත් කොමිසම්, ජාත්‍යන්තර, හයිබ්‍රිඩ් විතරක් නෙවෙයි දේශීයවත් ඕන නැහැ. පරණගම කොමිසම හොඳට ම ප්‍රමාණවත්. ඒ කොමිසමේ වාර්තාව අනුව අවශ්‍ය දේ පමණක් කරන්න පුළුවන්. ඒ කොමිසමට ඩෙස්මන්ඩ් ද සිල්වා සහ තවත් අය කියා ඇති කරුණු අනුව මෙහෙයුම්වල දී මානව අයිතිවාසිකම් කඩවෙලා නැහැ. මේ කරුණු ටික කලකට පෙර සාකච්ඡාවට බඳුන් වූවා. කොහොමටත් යුද්ධාපරාධ සිදුවෙන්න මේ රටේ යුද්ධයක් තිබුණේ නැහැ.

මේ රට සිංහල බෞද්ධ රටක්. ජාතික බලවේගයෙත් පඬියන් ඇති මේ ප්‍රකාශය ජාතිවාදී කියලා කියන. ඔවුන් නිකම්ම පඬියන් පමණයි. මේ රට සිංහල බෞද්ධ රටක් හැටියට පිළිගන්න ජාතික බලවේගය කැමති නැත්නම් ඒක ජාතික වෙන්න බැහැ. සිංහල බෞද්ධ රටක ඉන්න පුළුවන් සිංහල බෞද්යන්ට පමණක් නො වෙයි. බටහිර හැම රටක් ම මොන වර්ගයක හරි ක්‍රිස්තියානි රටක්. දෙමළ ජනයා මුස්ලිම් ජනයා ඒ රටවල ජීවත්වන්නෙ නැද්ද? ඒ රටවල පුරවැසියන් නො වෙයි ද? ඔවුන්ට එංගලන්තයෙදී දෙවියන් වහන්සේ රැජන රකිත්වා කියන ජාතික ගීය ගයන්න පුළුවන් ඇමරිකාවෙ දි දෙවියන් වහන්සේ කෙරෙහි අප විශ්වාසය තියනවා යනුවෙන් සඳහන් ඩොලර්වලින් ගනු දෙනු කරන්න පුළුවන්. වත්මන් ලෝකයේ අනාගමික රටවල් නැහැ. ලෝකයෙ තියෙන්න ඕන එකම අනාගමික රට ලංකාව ද? සිංහල බෞද්ධයන්ගෙ සහනශීලි බව නිවට කමක් ලෙස සලකන්න ඉඩ දෙනව ද? ඉන්දියාව අප මත බලෙන් පැටවූ දහතුන්වැනි ව්‍යවස්ථාව හා පළාත්සභා පනත ඉවත්කරනව ද?

අප ආණ්ඩුව පැරදවිය යුතුයි. ඒ වගේ ම අප නිදහස් විය යුතුයි. ජාතිවදී වෙයි කියන බොරු බයකට ජාතිකත්වයට ආමන්ත්‍රණය කරන්නෙ නැතිව ආණ්ඩුව පරදන්නත් බැහැ කියන එක පහුගිය අගෝස්තු මැතිවරණයෙ දි සනාථ වුනා.

මා මේ කරුණු සඳහන් කරන්නේ ජාතික බලවේගයට නො වෙයි. මා දේශපාලනඥයන්ට කරුණු කියන්නේ නැහැ. ඔවුන් මා කියන දේට වඩා පඬියන් කියන දේට සවන් දෙනවා.
නලින් ද සිල්වා

2016 ජූලි 04

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.