විශේෂාංග

ජාති(ක) ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ 23වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ දිවුරුම් දුණි. ඔහුගේ නව කැබිනට් මණ්ඩලය සැප්තැම්බර් 2 බදාදා දිවුරුම් දීමට අපේක්ෂිතය. මෙයට පෙර ලෝක ඉතිහාසයේ සිව්වැනි වරට අගමැති තනතුර දරා ඇත්තේ දෙදෙනෙක් පමණි. එක් අයෙකු වසර 121කට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කල විලියම් එවර්ට් ග්ලැඩ්ස්ටන්ය. දෙවැන්නා ශ්‍රී ලංකාවේ ඩඩ්ලි සේනානායකය. අගමැති රනිල් මෙම දෙදෙනාගේම වාර්තාවන් සමකළේය. ඉකුත් වසර 21 තිස්සේම එජාපයේ නායකයාවූ රනිල් වික්‍රමසිංහ තෙවරක් අගමැතිකම් කළේ එජාප නායකයා වශයෙන් සිටියදීය.

මෙවර මහ මැතිවරණයෙන් එජාපයට ආසන 93ක්ද 83ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයටද, දෙමළ සන්ධානයට 14ක්ද, ජනතා විමුක්ති පෙරමුණට 4ක්ද මුස්ලීම් කොංග්‍රසයට 1 සහ ඊ.පී.ඩී.පී සංවිධානයට 1ද හිමිවිය. ඒ අනුව ජාතික ලැයිස්තුවේ ආසන 29න් එජාපයට 13, එක්සත් ජනතා නිදහස් සන්ධානයට 12, දෙමළ සන්ධානයට 2 සහ ජවිපෙට 2ක්ද වශයෙන් වෙන්විය. මෙම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර 29න් 11ක් පරාජයට පත්වූ අපේක්ෂකයින්ගෙන් නම් කර ඇති බවට බරපතල චෝදනාවකි. මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි ඉකුත් බදාදා ඒ පිළිබදව මානව හිමිකම් නඩුවක්ද ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරීය.

පරාජිත අපේක්ෂකයින් 11 දෙනා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 7ක් දෙමළ සන්ධානයෙන් 2, එජාපය සහ ජවිපෙ 1 බැගිනි. මැතිවරණ නීතිය අනුව මෙය නීතිවිරෝධි ක්‍රියාවක් නො‍වේ. එහෙත් සදාචාරාත්මක වශයෙන් පිළිගත හැකි ක්‍රියාවක් නොවන බව ඒ පිළිබදව අදහස් දක්වන ඇතැමුන් ප්‍රකාශ කරයි. මෙහි රෝග නිධානය සෙවීම මෙන්ම රෝගය නිශ්චය කිරීමද දුෂ්කර නැත. ඒ අප්පච්චි මලා ගොයියෝ හොදා කීමෙන් හෝ මුන්නේ නියම දෙබිඩ්ඩෝ කියා අවලාද නැගීමෙන් නොව සදාචාරයේ සම්මත මිනුම් දණ්ඩ කුමක්දැයි අවබෝධකර ගැනිමෙනි.

මෙවර මහ මැතිවරණය “හැන්ඩිකැප්” ඉලෙක්ෂන් එකකි. මහින්ද රාජපක්ෂට සන්ධානයෙන් තරඟ කිරීමට වූයේ හැන්ඩිකැප් කරමින් තිබූ කණ්ඩායමක් සමඟය. අද ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් නම් කරනවාට කඳුළු සලන්නෝ හැන්ඩිකැප් ඉලෙක්ෂන් සටන සිවිල් ආරවුලක් ලෙස විදහාපාමින් ඉකුත් මහ මැතිවරණය ෆ්‍රී ඇන්ඩ් ෆෙයාර් ඉලෙක්ෂන් ලෙස කිරුළු පැළදීය.

ජාතික ලැයිස්තුව කරලියට ආවේ උළමාගේ යුගයත් සමඟය. එය ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් 1978දී සම්මත කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් සමඟය. එදා සිට අද දක්වා එම කාලය තුළ විධායක ජනාධිපති වශයෙන් ජේ. ආර්. ජයවර්ධන වසර 11ක්ද, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වසර 11ක්ද, මහින්ද රාජපක්ෂ වසර 9ක්ද, රණසිංහ ප්‍රේමදාස වසර 4 මාස 5ක්ද, ඩී.බී. විජේතුංග වසර 1 මාස 6ද, මෛත්‍රීපාල සිරිසේන 2015 ජනවාරි සිට මේ දක්වා මාස 8ක්ද රට පාලනයකර තිබේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 සිට ක්‍රියාත්මක වූවද ප්‍රථම සමානුපාතික ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වූයේ 1989 පෙබරවාරි 15 පැවති මැතිවරණයේදීය. එහිදී ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරුන් 29දෙනා එජාපයෙන් 15ක්ද ශ්‍රිලනිපයෙන් 9ක්ද ද්‍රවිඩ පෙරමුණෙ, මුස්ලීම් කොංග්‍රසය, එක්සත් සමාජවාදි පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, යාපන ස්වාධීන කණ්ඩායම 1 බැගින්ද පත්විය. ශ්‍රිලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 9 දෙනා අතරට ශ්‍රිලනිප ලේකම් සෝමසාර දසනායක සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පරාජිත අපේක්ෂකයෙකුවූ මර්වින්ද සිල්වාද පත් කෙරිණි.

වසර 1994දී පැවති දසවැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පොදුජන එක්සත් පෙරමුණට 14ක්ද එජාපයට 13, මුස්ලීම් කොංග්‍රසයට සහ ද්‍රවිඩ පෙරමුණට 1 බැගින් ලැබිණි. පොදුජන එක්සත් පෙරමුණෙන් සිරිමා බණ්ඩාරනායක, මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රිලනිප ලේකම් ධර්මසිරි සේනානායක, ලක්ෂ්මන් කදිරගාමර්, මහාචාර්ය විශ්වා වර්ණපාල, බැටී වීරකෝන්, වයි.පී. ද සිල්වා, කේ.පී ද සිල්වා පත්විය. පොදු පෙරමුණට ලැබුණු ආසන 14න් 5ක් සුළු පක්ෂවලට වෙන්කිරීමට එහි නායිකා චන්ද්‍රිකා කුමාරතුංග කටයුතු කරන ලදී. කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් වූ කේ.පී ද සිල්වා තමාගේ නම තමාම අත්සන්කර පක්ෂයේ අනුමැති‍යකින් තොරව ලබා ගැනීමේ හේතුවෙන් කොප ලේකම්ධූරයෙන් ඉවත්වීමට සිදුවිය. සපත්තු මහන්නෙකු සේ ඇරඹි කම්කරු පන්තිය හරහා කේ.පී ගමන්කල දිවිගමන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සේ අභිෂේක ලැබීම බොහෝ දෙනාගේ සතුටට හේතුවිය.

එකොලොස්වැනි පාර්ලිමේන්තු මැතිවරණය 2000 ඔක්තෝබර් 10වැනිදා පැවැත්වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පොදුජන එක්සත් පෙරමුණට 13ක්ද එජාපයට 12, ජවිපෙට 2ක්ද ජාතික සමගි පෙරමුණට 1ද සිහළ උරුමයට 1ද ආසන හිමිවිය. ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 2න් 1 හිමිවූයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පරාජිත අපේක්ෂිකාවක් වු අන්ජාන් උම්මාටය.

ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමිවීමෙන් 2001 දෙසැම්බර් 5වැනිදා 12වැනි පාර්ලිම්න්තු මැතිවරණය පැවති අතර එහිදී ජාතික ලැයිස්තුවෙන් එජාපය 12, පොදුජන එක්සත් පෙරමුණ 11, ජවිපෙ 3, ද්‍රවිඩ පෙරමුණ 2, මුස්ලීම් කොංග්‍රසය 1 වශයෙන් ආසන ලබා ගැණිනි. එහිදී පොදුජන එක්සත් පෙරමුණේ පාරාජිත අපේක්ෂකයින් වූ නුවරඑළියේ පී. පුත්‍රසිගාමිනී, හම්බන්තොට මහින්ද අමරවීරද ජවිපෙ පරාජිත අපේක්ෂකයෙක්වූ එස්.කේ සුබසිංහද ජාතික ලැයිස්තුවෙන් පත් කෙරිණි.

පාර්ලිමේන්තුවේ අර්බුද හේතුවෙන් එය විසුරුවා හැරීමෙන් පසු 13වැනි පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් 2වැනිදා පැවති අතර එහිදී ජාතික ලැයිස්තුවෙන් සන්ධානයට 13ක්ද එජාපයට 11ක්ද දෙමළ සන්ධානයට 2ක්ද හෙළ උරුමයට 2ක්ද මුස්ලීම් කොංග්‍රසයට 1ක්ද හිමිවිය. ජවිපෙ තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. මෙහිදී සන්ධානය ඇතිකර ගත් එකඟතාවය මත ජවිපෙට ජාතික ලැයිස්තුවෙන් ආසන 3ක් හිමිවූවද ජවිපෙ ජාතික ලැයිස්තු ආසන 2ක් සන්ධානයට යළි පරිත්‍යාග කළේය. ජවිපෙට එවර ඡන්දයෙන් හිමිවූ ආසන සංඛ්‍යාව 39කි.

ජාතික ලැයිස්තුව ප්‍රබල විකෘතියක් පෙන්වුයේ 2004 උක්ත මහා මැතිවරණයේදීය. සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වශයෙන් පත්වූ මේරි ලුසිල්ඩා මැද කොළඹින් සන්ධානයෙන් තරඟ කර ඡන්ද 2,236ක් ලබාගත් පරාජිත අපේක්ෂකයෙකු වූ මර්වින් සිල්වාගේ බිරිඳ විය. සතියකින් පමණ මේරි ලුසිල්ඩා ඉවත්වී ඇයගේ සැමියා වූ පරාජිත අපේක්ෂිත මර්වින් සිල්වා ජාතික ලැයිස්තුවෙන් පත්විය. එම මැතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් තරඟ නොකල සහ ජාතික ලැයිස්තු ලේඛනයට ඇතුළත්ව නොතිබූ රත්නසිරි වික්‍රමනායක ජාතික ලැයිස්තුවෙන් පසුව පත්කරන ලදී. රත්නසිරි වික්‍රමනායකට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වීම සඳහා මන්ත්‍රීධූරයේ දිවුරුම්දී සතියකට පසු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනදාස පීරිස්ට ඉල්ලා අස්වීමට සිදුවිය.

විජේදාස රාජපක්ෂ මැතිවරණයට තරඟ නොකල සහ ජාතික ලැයිස්තුවට ඇතුළත් නොවූවද ජාතික ලැයිස්තුවෙන් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. රත්නසිරි වික්‍රමනායක සහ විජේදාස රාජපක්ෂගේ පත්කිරීම් වලට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආචාර්ය පාක්‍යෙසෝති සරවනමුත්තු අධිකරණයේ නඩුවක් පැවරූ නමුදු 2010 මහ මැතිවරණයට පාර්ලිමේන්තුව විසුරුවන තෙක්ම එම නඩුවේ තීන්දුවක් නොවීය. මෙවර එවැනි තත්ත්වයක් උද්ගත නොවූයේ මැතිවරණයේ නාමයෝජනාවලට පෙරම ජාතික ලැයිස්තුවෙන් හෝ පරාජිත අපේක්ෂකයින් හැර කිසිදු පිටස්තර පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස පත් නොකරන බවට මැතිවරණ කොමසාරිස්වරයා කල්තියා නිවේදනය කල බැවිනි.

වසර 2010 මහා මැතිවරණයේදී සන්ධානයෙන් ජාතික ලැයිස්තුවෙන් සන්ධානයට 14ක්ද, එජාපයට 9ක්ද ජවිපෙද ඇතුළත්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට 2ක්ද සෙසු පක්ෂ වලට 4ක්ද මන්ත්‍රීවරුන් හිමිවිය. සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්වූයේ රත්නසිරි වික්‍රමනායක, දි. මු. ජයරත්න, ඩලස්‌ අලහප්පෙරුම, ජී. එල්. පීරිස්‌, ඩිව් ගුණසේකර, තිස්‌ස විතාරණ, ගීතාංජන ගුණවර්ධන, එල්ලාවල මේධානන්ද හිමි, මුත්තු සිවලිංගම්, අචල ජාගොඩ, විනයාගමූර්ති මුරලිදරන්, ඡේ. ආර්. පී. සූරියප්පෙරුම, ජනක බණ්‌ඩාර, රජීව විඡේසිංහ, ඒ. එච්. එම්. අස්‌වර්, මාලනී ෆොන්සේකා, කමලා රණතුංගය. මෙහිදී මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු හෙළ උරුමයට සහ ජාතික නිදහස් පෙරමුණට ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධූරයක් හිමිවූ අතර ඒ සඳහා සන්ධානයේ නායකත්වය පත්කළේ එම පක්ෂ විසින් අවසානයේදී නම්කල ආචාර්ය ඕමප්පේ සෝභිත හිමි සහ මොහොමඩ් මුසම්මීල් නොවේ. සන්ධානයේ නායකත්වය එම පක්ෂ දෙක වෙනුවෙන් පත්කළේ කලින් නම්කල දෙදෙනාගෙන් ඔවුනට හිතවත් එල්ලාවල මේධානන්ද හිමි සහ අචල ජාගොඩය. එම දෙදෙනාම පත්කලදා සිටම හෙළ උරුමයට සහ ජාතික නිදහස් පෙරමුණට එරෙහි විය.

ජාතික ලැයිස්තුවෙන් ගියවර සන්ධානයෙන් පත්වූ ජනක බණ්ඩාරට බණ්ඩාරගම ආසනයේ සංවිධායක වශයෙන් කටයුතු කලද මහමැතිවරණයට ඉදිරිපත් නොවීය. ජේ.ආර්.පී. සූරියප්පෙරුම පාර්ලිමේන්තුවේද කථාකලේ ඉදහිට වන අතර ඒද වාසුගේ භාෂාවෙනි. මාලනී ෆොන්සේකාගෙන් කලාවේ උන්නතියට සිදුවූයේ කුමක්දැයි දන්නෝ දනිති. කමලා රණතුංග නොහොත් කමලක්කාට අවසානයේදී හොද කවියක් හෝ පාර්ලිමේන්තුවේ කිමට නොහැකි විය. අවසානයේ ඇයට එල්ලවූයේ රාජකාරියට යොදවා සිටි පොලිස් නිළධාරින්ට සුනඛයින් නෑවීමට සහ කඩෙන් බඩු ගෙන ඒමට විධානකල බවට ආණ්ඩුවට එරෙහිව චෝදනාවක් පමණි.

මෙවර සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුල්වී සිටි මහාචාර්ය ජී.එල්.පීරිස් 1994 සිට 2015 දක්වා වසර 20ක් ජාතික ලැයිස්තුවේ සිටියේය. මොරටුව ආසනය කලක් භාරගත්තද ඉන්ද වාෂ්ප විය. ඔහු විදේශ කටයුතු ඇමතිව සිටියදී අමාත්‍යාංශයේ විනය මුළුමනින් පිරිහිනි. ඔහුගේම අමාතාංශයේ කන්කානම් ඇමතිලා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයාට පවා කම්මුල් පහරවල් ගැසුවද හා හූවක් නොවීය. පැරණි වමේ නායකයින් වූ මහාචාර්ය තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර දැන් මුණුබුරු මිණිබිරියන් සමඟ සැඳෑ සමය ගතකර ජයසම්පන්න තරුණයින්ට කොප සහ ලසසප භාරදිය යුතු කාලයයි. එහෙත් ඩිව් ගුණසේකර වැන්නන්ගේ ජාත්‍යන්තර දැනුම වත්මන් පරපුරට ලබාදීම සදහා ජනාධිපති උපදේශකකමක් හෝ ලබාදීම වඩාත් සුදුසුය. තිස්ස අත්තනායක, ප්‍රභා ගනේෂන්, මහාචාර්ය රජීව් වීජේසිංහ, ශ්‍රී රංගා වැනි ජාතික ලැයිස්තු සාමාජිකයින් බල්ටි ගැසීම ප්‍රගුණකල අත්තෙන් අත්තට පනිනා චෝර කුරුල්ලන්ය. ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ වැස්සකට හෝ ශ්‍රිලනිප මූලස්ථානයට ගොඩවූවාදැයි සැකයකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්නොකිරීමෙන් සන්ධානයට ඡන්දය දුන් විශාලතම අසාධාරණය වන්නේ සැබෑ හඩවල්වූ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ එම්. මුසම්මිල් සහ පියසිරි විජේනායකද විකල්ප වෘත්තීය සමිති නායකයෙකු වූ සෝමවීර චන්ද්‍රසිරිද පත්නොකිරීමය.

මෙවර සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පත්කල පරාජිත මන්ත්‍රීවරුන් ගැන අපේ මනාපයක් හෝ අමනාපයක් නැත. එහෙත් 1989 සිට ශ්‍රිලනිප ඉතිහාසය තුළ එවැනි පරාජිත මන්ත්‍රීවරුන් රැසක් පත්කර ඇත. ඔවුන් පරාජය වූයේ සටනක් ලබාදීමෙනි. එමෙන්ම පරාජිත හෝ ලැයිස්තුවේ නොදැමූ පිටස්තර පුද්ගලයින් පාවා අවසානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර නිදසුන් එමටය. එජාපය, ජවිපෙ පමණක් නොව ද්‍රවිඩ සන්ධානයද මෙවර පරාජිත මන්ත්‍රීවරුන් පත්කර ඇත. “හැන්ඩිකැප්” ඉලෙක්ෂන් එකකට සුජාත උප්පැන්නයක් ලබාදෙන ඇතැම් පුද්ගලයෝ සහ බලවේගයන් මහ මැතිවරණයට නැති සදාචාරය එහි ඵලයක් වූ ජාතික ලැයිස්තුව ගැන පාරම්බෑම සමකල හැක්කේ යශෝධරාලාගේ පතිවත ගැන ප්‍රශ්න කරන අම්බපාලිලා ලෙසින් පමණි.

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com)
ධර්මන් වික්‍රමරත්න
ejournalists@gmail.com

Top