Featured

ජිනීවාහිදී ආණ්ඩුව,පාවාදී යටත්වීම හරහා රට බෙදීමේ ව්‍යසනය හා හයිබ්‍රිඩ් උසාවියෙන් රණ විරුවන් පෝරකයට…

“බිල්ලෝ ඇවිත් -රට වැසියන් බේරාගන්නේ කෙසේද” යන මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ලද සංවාදශීලි සම්මන්ත‍්‍රණය ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. එහිදී ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සිදුවූ නිවට පාවාදීම හරහා අපට මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකය පිළිබඳඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය විය.

මෙහිදී අදහස් පළකළ ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා:

මිත්‍රවරුනි, ජිනීවාවල අපට මොකද වුනේ?

පසු ගිය දිනවල ජිනීවා නුවර මානව හිමිකම් කොමසාරිස් කුමාරය වාර්ථාවක් ඉදිරිපත් කළ අවස්ථාවේ මට ඒ ගැන විශේෂ උනන්දුවක් තිබ්බෙත් නෑ ඕක මුලින් කියවන්න. මොකද මේක පළමුවරට ආපු එකක් නෙවෙයිනේ. මීට පෙරත් ලංකාවට එරෙහිව අභූත චෝදනා නගපු අසත්‍ය ද්වේශ සහගත වාර්ථාවන් එමට ඔවුන් ලඟ තිබෙනව. මේ වගේ වාර්තාවක් ඉදිරිපත් වුනාම ලෝකේ ඕනෑම රටක් කරන්නේ ඒකේ තියෙන චෝදනාවලට උත්තර දෙන එක.

කවුරුවත් “ඒ චෝදනා සියල්ලක්ම හරි, අපි මේක බොහොම ප්‍රසංසනාත්මකව භාරගන්න ව කියන ලෝකේ රටවල් නෑ සාමාන්‍යෙන්. ඒ නිසා මමත් බලාපොරොත්තු වුනා මේ වාර්ථාවේ තියෙන අසත්‍ය චෝදනා එකිනෙක අරගෙන ඒවාට පිළිතුරු දෙයි කියල. ඒ නිසා යෝජනා සම්මතය සම්මත වුනත් ලොකු උනන්දුවක් ඇති වුනේ නෑ මට ඒක කියවන්න. හැබැයි පැය 24ක් යන්න හම්බ වුනේ නෑ , පත්තරේ විශාල ප්‍රවෘත්තියක් තිබුණ. ඒ තමයි දෙමළ ජාතික සංධානය රජයට ස්තූති කරනව කියල එක්සත් ජනපදයත් එක්ක එකතු වෙලා මේ යෝජනාව කිරිම ගැන. අප දන්නවා දෙමළ ජාතික සංධානය කිසිදාක ශ්‍රී ලංකා රජයට ස්තූති කරල නෑ. අප කොපමණ පාරවල් හැදුවත් , කොපමණ විදුලි බලය ලබා දුන්නත් අප කොපමණ ගෙවල් දොරවල් හැදුවත් ඔවුන් මොකද කිව්වේ? ඕවයින් අපේ ජනතාවට මොකුත් වුනේ නෑ.ඕව කොමිස් ගහන්න ලෝක පරකාසෙට කරපු දේවල් හැටියට. නමුත් ඔවුන් මේ යෝජනා සම්මතය මහත් ආදරයෙන් වැලඳගත්තා.අන්න එවෙලේ තමයි මම හිතට ගත්තේ මේ යෝජනා සම්මතය ඉතාමත් හොඳින් කියවල අධ්‍යනය කළ යුතුයි කියල.

සම්බන්ධන්ලා ඇතුළු බෙදුම්වාදීන් ජිනීවා යෝජනාවෙන් පිනා ගියේ ඇයි?

මොනවද මේ යෝජනා සම්මතයේ තියෙන්නේ?

මේ යෝජනා සම්මතයේ මුල් වගන්තියෙන්ම ප්‍රධාන කරුණු තුනක් පිළිගන්නව කියල තියෙනව.ඒ මොනවද ?

පළමු කාරණය තමයි ඊට ටික දවසකට කලින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් , අර කුමාරයා විසින් ඉදිරිපත් කර තිබෙන පිටු තුන්සිය ගණනකින් යුතු වාර්ථාවේ සියලු නිගමනයන් සහ තීරණ පිළිගන්නව කියන කාරණය.

ඒ විතරක් නෙවෙයි පසුගිය වසරේ සැප්තැම්බර් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වගවීම සහ සංහිඳියාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවත් ආදරයෙන් ප්‍රසංසනීයත්වයෙන් පිළිගන්නව කියල එකඟ වෙලා තියෙනව.

ඒ විතරක් නෙවෙයි අර කුමාරය ඒ සභාවේදි කරපු කතාවත් පිළිගන්නව කියල ඒ යෝජනාවේ සඳහන් වෙනව.

ලංකාවේ අනාගතය සම්පූර්නයෙන් තීරණය වන ඉතාමත්ම භායානක තීරණ තමයි මෙහි අඩංගු වෙලා තියෙන්නේ. එක නිදර්ශනයක් කියන්නම්.
මෙහි තිබෙනව මහජන ආරක්ෂක පනත සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරනව කියල. මහජන ආරක්ෂක පනත සම්බන්ධයෙන් ඔවුන් ‘අහෝසි කරනව’ කියන වචනේ හංගල තියෙනව. මොකද ඒක බලපු ගමන් එක පාරය පෙනෙන නිසා.එහෙම උනොත් අපි කලබල වන බව ඔවුන් දන්න නිසා.හැබැයි එය පස්ස දොරෙන් ඉෂ්ඨ කරගෙන තියෙනව.
යෝජනාවලියේ නැතත් වාර්ථාවේ තියෙනව මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමට පියවර ගන්න ව කියල. ඔවුන් යෝජනාවලියේ මුල් වගන්තියෙන්ම පිලි අරගත්තනේ ඒ වාර්ථාවේ කරුණු සියල්ල පිළිගන්නව කියල.

මහජන ආරක්ෂක පනත අහෝසි කිරීමේ තියෙන ප්‍රතිවිපාක මොනවද?

දෙමළ ජාතික සංධානය මේ තරම් උද්ධාමයට පත් වෙලා අපේ රජයට ස්තූති කරන්නේ ඇයි? ඔබට මතක ඇති 1987 දි , උතුරු පලාත් සභාව වෙනම රාජ්‍යයක් බවට යෝජනාවක් ප්‍රකාශයට පත් කරාට පස්සේ ජනාධිපතිවරයාට මැදිහත් වෙලා එය අහෝසි කරන්න අවස්ථාව ලැබුනේ මහජන ආරක්ෂක පනත තුලින් ලැබුනු ප්‍රතිපාදන ඔස්ස්සේ බව. ඔය මහජන ආරක්ෂක පනත මෑත කාලෙක ආපු පනතක් නෙවෙයි.අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරන කාලේ ඉඳන් මේ පනත තිබුනා. මහින්ද රාජපක්ෂ මහතා ගෙනාපු පනතක් නෙවෙයි. මේක ඕනම රටක හදිසි අවස්ථාවක් සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු නීතිමය ප්‍රතිපාදනයක්.

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනව වැදගත් කරුණු තුනක්.154 කේ, 154 එල් , 154 එම්.ඔය වගන්තිවල කියනව යම් කිසි පළාත් සභාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන විදියට හැසිරෙනව නම් ඒ බලතල ජනාධිපතිවරයාට පාවිච්චි කරන්න පුලුවන් කියල. එවැනි අවස්ථාවල මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කරන්න ජනාධිපතිවරයාට පුලුවන් කියල එහි සඳහන් වෙනව.

දැන් මේක අහෝසි කළොත් මොකද වෙන්නේ? දෙමල ජාතික සංධානයට මීට වඩා ප්‍රීතිමත් දෙයක් තියෙනවද?
ෆෙඩරල් රාජ්‍යයක් හරහා වෙනම රටක් සඳහා ක්‍රියාත්මක දෙමළ ජාතික සංධානයට තමයි මේක අහෝසි කිරීමේ සම්පූර්ණ වාසිය.
ඉතින් ඔවුන් ආණ්ඩුවට ස්තූති කිරීම පිළිබඳ පුදුම විය යුතු නෑ.

පුදුම විය යුතු කාරණය තමයි මේකට අපේ ආණ්ඩුව කැමති වීම. ලෝකේ කිසිම ආන්ඩුවක් මෙලෙස තමන්ගේ රටේ ජාතික ආරක්ෂාවට එරෙහිව කටයුතු කරන අවස්ථාවක් ලෝක ඉතිහාසෙම නැතිව ඇති.

ෆෙඩරල් රටක් හරහා වෙනම ඊළමක් වෙත යන ගමන වේගවත් වේ.

ඒ විතරක් නෙවෙයි. මේක සකස්කරන්න එ.ජා සංවිධානය කිව්වේ ලංකාවේ මානව හිමිකම් අහිමි වෙමින් යනව, අන්න ඒ නිසයි මේ විමර්ශනය කරන්න්නේ කියල. නමුත් මේ වාර්ථාවේ තියෙනව තව එකක්.ජාතික ආරක්ෂාවට අදාල අණ පණත් පමණක් නෙවෙයි මේ රටේ බලය බෙදීම පිළිබඳවත් සඳහන් වෙනව.එක්සත් ජාතීන් කොහොමද කියන්නේ අපට බලය බෙදන්න ඕන කියල? මේක මානව අයීතිවාසිකම්වලට කිසි සේත් අනුකූල නෑ.

හැමදාම දෙ.ජා සංධානය කිවව දෙයක් තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුමෙන් බලහත්කාරීව හඳුන්වාදීපු පළාත් සභා සිංහල ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ නැ. ඒ නිසා ජාත්‍යන්තරය මැදිහත් වෙලා මේක ක්‍රියාත්මක කරගන්න ඕන. මේකටත් අපූරු උපායක් මේ යෝජනාවලියේ තියෙනව. අපේ ආණ්ඩුවත් මේකට එකඟ වෙලා තියෙනව. ඒ තමයි ස්ථිර ලේකම් කාර්යාලයක් මෙහි පිහිටුවන්න.

සමහරෙකුට හිතෙන්න පුලුවන් එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් ම්හි ඇරියම ඒකේ ඇති වරද මොකක්ද කියල. වරද තමයි ඒ අය යෝජනා කරන්නේ මානව හිමිකම් පිළිබඳ විමර්ශන කරන්න නෙවෙයි , මේ රටේ බලය බෙදන්නයි. මේ යෝජනවෙන් එකඟ වෙලා තියෙනව ඒ කාර්යාලයේ වැඩවලට එක්සත් ජාතීන්ගේ නිළධාරීන්ට පැමිණීමට ඉඩ දෙන්න ඕන කියල.
නිකන් බිල්ඩිමක් විතරක් නෙවෙයි. ඔවුන්ගේ නියොජිතයන් මේ බලය බෙදන වැඩේට මෙහි එන එක අපට වලක්වන්න බෑ කියල එහි තිබෙනව.

අපි ඒකට කැමැති වෙලා තිහෙනව. කාර්යාලයක් දානව, සුද්දො ටික ලංකාවට එනව. ඔවුන් ඇවිත් බලය බෙදනවද , 13 සම්පූර්නයෙන් ක්‍රියාත්මක කරනවද කියල නිරීක්ෂනය කරනව.

මෙහි ප්‍රතිඵලය මොකක්ද?

13 වන සංශෝධනය ගැන බොහෝ දෙනෙක් වැරදි මතයක ඉන්නව.නොදැනුවත්කම නිසා , ඕකෙන් අපට මොකක්ද වෙන්නේ කියල ඔවුන් අහනව. 87 ඉඳන් කිසිම ආණ්ඩුවක් 13 වන ව්යවස්ථා සංශෝධනය සම්පූර්නයෙන් ක්‍රියාත්මක නොකළේ එයි අපේ ජාතික ආරක්ෂාවටත් බෞමික අඛන්ධතාවයටත් ස්වෛරීභාවයටත් විශාල හානියක් නිසා.
අඩුම තරමේ ජේ ආර් ජයවර්ධන මහත්මයවත් ඒක සම්පූර්න ක්‍රියාත්මල්ක කලේ නෑ.
එක චේදයක තියෙනව පොලිස් බලතල පිළිබඳ කාරනය.

ආණ්ඩුවට දැන් බැරි ව්නව අප රටට අහිතකර ජාතික ආරක්ෂාවට හානිකර වගන්ති ක්‍රියාත්මක නොකර ඉන්න.මොකද ඔවුන් එකඟ වෙලා තිබෙනවා ඒවා ඉටු කරන්න.

13 වන සංශෝධනය ගැනත් කෙටියෙන් යමක් කියන්න ඕන.

මේක බලය බෙදන අහිංසක පනතක් නම් නෙවෙයි. 13 වන සංශෝධනය හරහා තමයි උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කළේ. ඒ ඒකාබද්ධවීම කරන්නේ දෙමළ නිජබිම කියන සංකල්පය පිළිඅරගෙන. ඔය පනතෙම තමයි තියෙන්නේ ඒ පළාතේ පොලිසිය ඒ පළාතේ මහ ඇමති යටතේ තියෙන්න ඕන කියල. දැන් මේ යහපාලනය ගැන කතා කරන අය , 17 , 19 වන ව්‍යවස්ථා සංශෝධනවලට පක්ෂ වුනු අය යහපාලනය ඇතිකරන්නෙයි කියල තමයි ඔය 17යි 19යි ගෙනාවේ.
මේක පටන් ගත්තේ 17න්. එහිදී අපූරු දෙයක් කළා. එහිදී කියනව ජනාධිපතිවරයා යටතේ පොලිසිය තියෙන එක භයානකයි.ඒ නිසා ජනාධිපතිවරයාගෙන් පොලිසිය ගැලවිය යුතුයි කියල. ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව කියල එකක් යෝජනා කළා.
හැබැයි 17 එක් වැදගත් වගන්තියක් තියෙනව. එකේ කියනව ජනාධිපතිවරයාගෙන් පොලිසිය ගැලෙව්වත් පළාත් සභාවල අහඇමතිවරයා සම්බන්ධයෙන් එය ක්‍රියාත්මක නොවන බව.

මේක වැරදිලා කරපු දෙයක් නෙවෙයි.

ඔවුන්ට අනුව ලංකාවෙන්ම 50% ට වඩා චන්ද ගත්ත ජනාධිපතිවරයා සතුව මේ බලතල තියෙන එක යහපාලනයට පටහැනියි .පළාත් සභාවල ඒ බලතල තියෙන ක යහපාලනයට අනුකූලයි .මම නම් ඔය 17 ට ,19 ට විරුද්ධ ඒ හරහා මධ්‍යම ආණ්ඩුව දුර්වල කරන අතරේ පළාත් ආණ්ඩු ශක්තිමත් කරන බැවිනුයි.

දැන් මේ යෝජනාවලිය තුල ජාතික ආරක්ෂක පනතත් අහෝසි කරගත්ත,13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමත් කරගත්ත,ඉන් පසු ඔවුන් යොමු වෙනව උසාවිය වෙත.

හයිබ්‍රිඩ් උසාවියෙන් රණ විරුවන් පෝරකයට…

දැන් මේ කුමාරයගේ වාර්ථාවේ තියෙනව හයිබ්‍රිඩ් උසාවියක් ගැන. අපේ මිනිස්සු ගොනාට අන්දන්න පුලුවන් කියල මේ දේශපාලනඥයො හිතනව. ඒ නිසා හයිබ්‍රිඩ් කියන වචනේ ඔවුන් අයින් කරනව.හැබැයි අර යෝජනාවලිය එහෙමම තියෙනව.ඒ කියන්නේ විදේශ විනිශ්චකාරවරු , විදේශ අධිචෝදකවරු , උපදේශකයින් වගේම විත්තියේ නීතිඥයනුත් පිටින් ගේන්න පුළුවන්.

අප ජාතියක් හැටියට නිද්‍රාශීලීව ඉන්න නිසයි මේ දේවල් අපට වෙන්නේ.පසුගිය දවස්වල මහ බැංකුවේ අධිපතිධූරයට පත් කළා ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක්ව. අපේ සල්ලි කොලේ අත්සන් කරන්නේ ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. හැබැයි අපට ඒක ගානක්වත් නෑ.
අන්න ඒ වගේම විදේශීය විනිසුරුවරුනුත් ඇවිල්ලා මෙහේ වැඩ කරාවි. ඔවුන්ට සම්පූර්ණ ආරක්ෂාව අර ඉහත කියපු මෙහේ පිහිටවන ලේකම් කාර්යාලයෙන් ලැබෙනව. මතක තබාගන්න මේක නිකන් අර ටෘත් කමිෂන් කියන ඒව වගේ නෙවෙයි. මෙහි පැහැදිලිව තිබෙනව විභාග කොට දඬුව්ම් කිරීම සඳහා සුද්දන්ගෙන් සැදුම්ලත් අධිකරණයක්.

දැන් මොකක්ද මේ රටට මේ වෙන්නේ? මොකක්ද අපේ ස්වාධිපත්‍යට වෙන්න. තවදුරටත් අපේ බෞමික අඛන්ඩතාවයට ,ස්වෛරීභාවයට වෙන්නේ?

ඒ විතරක් නෙවෙයි. අප හමුදාව ගැනත් මෙහි සඳහන් වෙනව. එහි එකක් තමයි හමුදාවේ නිළධාරියෙකුට එරෙහිව විස්වාශ කළ හැකි තොරතුරු ලැබුනොත් මූලික විමර්ශනයක් වත් පැවැත්වීමට පෙර ඔහු හමුදාවෙන් ඉවත් කළ යුතුයි.සාමාන්‍යයෙන් ආයතනයක සේවකයෙක් වරදක් කළොත් මූලික විමර්ශනයක් කරල බලනව මේ චෝදනා ඇත්තද කියල. එහිදී සාක්ෂි තිබේනන් ඔහුට එරෙහිව පරීක්ෂණයක් කෙරෙනව. හැබැයි මේගොල්ලො මොකද මේකෙදි කියන්නේ?
එහෙම විමර්ශනක්වත් කිරීමට පෙර අර චෝදනාවට ලක්වූ හමුදා නිළධාරීන් ගෙදර යැවිය යුතුයි.ඒක බලන්න තමයි මෙහේ ලේකම් කාර්යාලයක් දාන්නේ.
ඔවුන් බලාගෙන ඉඳියි වැඩේ කෙරෙන හැටි, හරියට අර මීට ටික කලකට ඉහත කැබිනට් මණ්ඩලයටත් උඩින් මණ්ඩලයක් තිබ්බේ.අන්න ඒ වගේ. ඔවුන් තමයි යෝජනා කරන්නේ අහවල් කෙනාට විරුද්ධව චොදනා තියෙනව. ඔවුන් ඉවත් කරන්න කියල.

එතනදි ලංකාව කිව්වොත් ‘අපි මූලික විමර්ශනයක් කරල බලන්නම් කියල, ඔවුන් කියනව මූලික විමර්ශනය ඔයාල පස්සේ කරගන්න . දැන් මොවුන් සේවයෙන් ඉවත් කරන්න’ කියල .

දැන් මේ රට බෙදන්න කරන පිඹුරුපත බොහොම හොඳට පැහැදිලියි.මේ රට ආරක්ෂා කරන රණවිරුවා හමුදාවෙන් ඉවත් කරන්න පුළුවන් මේ හරහා.ඒක වෙනවද බලන්න අධීක්ෂකයො ලංකාවේ ඉන්නව. ඊට එරෙහිව රටේ ජනාධිපතිවරයා යම් පියවරක් ගත්තොත් අන්න වාර්ථාව කඩකළා කියල වැරදිකරු වෙනවා.
මොකක්ද අපට මේ වෙන්නේ?

හවුල් ආණ්ඩුවේ නිවට පාවාදීම

මේ වාර්ථාවේ හැම වාක්‍යක්ම අපේ රටේ ජනතාවට විරුද්ධවයි තියෙන්නේ. වාර්ථාවේ මුලින්ම සඳහන් වෙනවා ප්‍රශ්නයේ ආරම්භය ගැන. ඔවුන් එය පටන් ගන්නේ 1948න්. නිදහසෙන් පසු මේ රටේ ආණ්ඩු දෙමළ ජනතාව කොන් කරල ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංගනය වන පරිදි ක්‍රියා කළා කියල එහි තිබෙනව. දැන් මේ මානව හිමිකම් කුමාරයට පෙනුනේ නැද්ද 48 ට කලින් මේ රටේ සිංහල බෞද්ධ ජනයාට කරපු විනාශය.විනාශය කියන වචනෙත් හොඳ වැඩ්යි ඒ ව්‍යයසනයට. ඒවා මානව හිමිකම් කඩවීම් විදියට ඔවුන් සළකන්නේ නෑ. 1972 ව්‍යවස්ථාවට බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියල ඇතුලත් කලේ මේ රටේ අනෙකුත් ආගමිකයන්ට අඩු සැලකිල්ලක් දක්වන්න නෙවෙයි. එසේ කළේ ඊට අවුරුදු 500 කට පමණ පෙර සිට සිංහලකමට බුද්ධාගමට සිදු කරපු විනාශය ගැන අවබෝධයක් තිබ්බ නිසයි.

සෝල්බරි ව්‍යවස්ථාවෙන් කිව්ව සියලු ආගම්වලට එක සමානව සලකන්න කියල. ඒ ඔවුන් ඊට පෙර බුද්ධ සාසනය වනසල තිබ්බ නිසයි. එතැන ඉඳල හැමදෙනාම එක සමානව ඉන්න කියලයි සුද්දා කිව්වේ. අපේ ජාතියට අපේ ආගමට සිදු වන අකටයුතුකම් ගැන එකල කතා කළෙත් නෑ අද මේ වාර්ථාවෙන් කතා වෙන්නෙත් නෑ.

එලෙස සඳහන් කරල ඉන් පසු වාර්ථාවේ සඳහන් වෙනව බොරු දහස් ගණනක්.මම එකක් පැහැදිලි කරන්නම්. 83 ජූලි කලබලවලින් දෙමළ ජනයා 3000 ක් මැරුව කියල. කෙලින්ම ඇඟිල්ල දිගු කරන්නේ සිංහල ජනයාට. මම පොඩ්ඩක් හොයල බැලුවා මේ 3000 ඉලක්කම ගත්තේ කොහෙන්ද කියල. ඒක ඔවුන් අරගෙන තිබ්බේ අර විග්නේෂ්වරන් උදුරේ මහඇමතිතුමා පසුගියදා පළාත් සභාවේ සම්මත කරගත් යෝජනාවෙන්.

මේ චෝදනාව ඇත්තද?

2002 චන්ද්‍රිකාගේ පාලන සමයේ ඇය පත් කළා කොමිෂමක්. 83 කලබල ගැන සොයන්න. ඒකට කිව්වෙත් ටෘත් කොමිෂන් කියල. ඒකේ මූලිකය වුනේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අනුමත කරපු පසුව බස්නාහිර ආණ්ඩුකාරයා වුනු සර්වානන්ද විනිසුරුතුමා.ඔහු එහිදී පැහැදිලුව කියනව 1000 ක් දෙනා ඝාතනය වූ බවට කිසීඳු සාධකයක් ,සාක්ෂියක් නෑ කියල. ඒ වාර්ථාවෙන් කියවෙන්නේ දෙමළ ජාතිකයින් 300ක් පමණ ඝාතනය වූ බවයි.

එසේ තිබියදී ජිනීවා යෝජනාවේ ලැජ්ජාසහගත ලෙස අන්තර්ගත වෙලා තියෙනව 3000ක් ඝාතනය වුනා කියල. ඒ අර ව්ග්නේෂ්වරන්ගේ වාර්තාවේ තියෙන ගනන 3න් වැඩි කරල 3000 කියල දාල. මෙවැනි ව්‍යාජයක් තියෙද්දි අපේ ආණ්ඩුව ඒ චොදනාව ඉස් මුදුනින් පිළිගෙන සාදරයෙන් පිළිගැනීම හරිම පුදුම අහගතයි. එහෙව් ආණ්ඩුවක් කොයි තරම් සුදුසුද අපව නියෝජනය කරන්න.

අප කියන නිසා විස්වාස කරන්න එපා.

ඔබ සියලු දෙනා මේ වාර්ථාව කියවන්න.අපි පොඩි කාලේ උඩරට පාවාදීමේ ගිවිසුම කියෙව්ව වගේ.අනාගත පරම්පරාවල දුවා දරුවන් මේ රට පාවාදීපු හැටි මෙයින් ඉගෙන ගනීවි. අපේ ආණ්ඩුව මේ යෝජනාවලිද දොහොත් මුදුන් දී පිළිගැනීම හරහා ඒ පාවාදීම සිදු කරල අවසන්.
මේ හරහා අපේ දූදරුවන්ට අනාරක්ෂිත හෙට දිනයක් නිර්මාණය වෙන බව සිකුරුයි. මේ වැඩ පිළිවෙල ආපසු හැරවූයේ නැත්නම් මේ රටේ අවසානයයි කියල මම කියනව. මේ වාර්ථාව හොඳින් කියෙව්වොත් ඔබටත් එය වැටහේවි.

යුතුකම සංවාද කවය

Top