Breaking
22 Feb 2025, Sat

ජී එල් ඒකාබද්ධ විපක්‍ෂෙ ද?

Published on: Jun 30, 2018- මුහුණු පොතේ ඉන්න පඬි පෝතකයන් මා මෙයට පෙර දෙමළ ජාතිවාදය ගැන ලියා ඇති දේ කියවා නැතිව පමණක් නොවෙයි ඔවුන් නිගමනය කරනවා දෙමළ කතා කරන ජනයා මෙරටට පසුව පැමිණි නිසා ඔවුන් මේ රාජ්‍යයට අයත් නැති බව මා කියනවා කියා. දෙමළ කතා කරන ජනයා මේ රාජ්‍යයට අයත් නැති බවක් මා කිසිම තැනක කියා නැහැ. මේ පඬි පෝතකයන් ලබා ඇති අධ්‍යාපනයේ තරම! මයිකල් රොබට්ස්ගෙ කියමන් අනුගමනය කරමින් ඔවුන් අහනව කරාව දුරාව සලාගම කුල මෙරටට පැමිණියෙ කවදා ද කියලා. ඔවුන් මෙරටට පැමිණියා නොව දහහතර වැනි සියවසේ මෙරටට පැමිණි සමහරුන් එකලත් පැවති කුලවලට අවශෝෂණය කෙරුණා. දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව යන මැයෙන් ලියන ලිපි පෙළට ඉක්මනින් ම නැවත යන්න ඕන. ඒත් එදිනෙදා දේශපාලනය ගැන ලියන්නත් සිද්ධ වෙනවා.

ජී එල් පීරිස් තමාට සුපුරුදු විධියට එ ජා පක්‍ෂයට හිතවත් දේශපාලනයක් ගෙන යනවා. ඔහු කියා තිබෙනවා දහසයේ කණ්ඩායමට ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වීමට වුවමනා නම් ශ්‍රී ල නි පක්‍ෂයේ තමන් දරන තනතුරුවලින් ඉවත් විය යුතු බවට. ජී එල්ගේ ප්‍රකාශ පිටුපස ඉන්නේ කවුද කියන එක බොහෝ දෙනා දන්නවා. ජී එල්ටත් ඔහුටත් අවශ්‍ය රනිල්ගෙ ආණ්ඩුව තවදුරටත් තබා ගැනීම බව පැහැදිලියි.

රනිල් නොවන්නට ජී එල් පීරිස් අද ඉන්නෙ එ ජා පක්‍ෂයෙ. ඔහු දේශපාලනයට ආවෙ එ ජා පක්‍ෂයෙන් ප්‍රේමදාස යුගයෙ. ජේ ආර් කාලෙ නෙවෙයි ඊටත් ඉස්සර ඉඳලා ජී එල් පීරිස් එ ජා ප හිතවතෙක්. ඔහු එංගලන්ත හිතවතෙක්. මා ඔහු ගැන කුඩා කල ඉඳන් දන්නවා. ඒත් මා ඒ කිසිවක් මෙහි කියන්නේ නැහැ. රනිල් ජී එල් පීරිස් ගැන දන්නවා වෙන්න පුළුවන්. රනිල් කොළඹ නීති පීඨයෙ ඉන්න කාලෙ ජී එල් පීරිස් මහාචාර්යවරයා. ඒක නිසා වෙන්න පුළුවන් ජී එල්ට ඇමතිකමක් නොදෙන්නෙ.

මහින්ද ජනවාරි අටවැනි දා පැරදිලා මැදමූලනට ගියාට පස්සෙ බැසිල් රට ගියා. ජී එල් පීරිස්ව හොයා ගන්න බැරිව හිටියා. මහින්ද ඒ බව දැන් කියන එකක් නැහැ. ඒත් ඒ දවස්වල කිව්වා. ජී එල් පීරිස් එ ජා ප ඇමතිකමක් ගන්න එක නැවතුණෙ රනිල් හින්ද. රනිල් ජී එල් පීරිස්ට ඇමතිකමක් දුන්න නම් මේ අවුල් ඇති වන්නෙ නැහැ.

දහසයේ කණ්ඩායමට ඒකාබද්ධ විපක්‍ෂයට එකතුවීමට කොන්දේසි දාන්න ජී එල් පීරිස් කවුද? ඔහු ඒකාබද්ධ විපක්‍ෂයෙ කවුද? ඒකාබද්ධ විපක්‍ෂයෙ නායක දිනේෂ් ගුණවර්ධන කොන්දේසි දැම්ම නම් හිතා ගන්න පුළුවන්. දිනේෂ් ඉන්දැද්දි ජී එල් පිරිස් කොන්දේසි දාන එක දිනේෂ්ට හොඳ නැහැ. ඒ මදිවාට බැසිල් ඒකාබද්ධ විපක්‍ෂෙ රැස්වීමකට සහභාගි වුණු බව වාර්තා වෙලා තිබුණා. මහින්ද හරි දිනේෂ් හරි ඔහුට ආරාධනා කළා ද දන්නෙ නැහැ. එහෙම නැත්නම් එය ප්‍රශ්නයක්.

මහින්ද ඒකාබද්ධ විපක්‍ෂයෙ ඉන්නවා. ඔහු ශ්‍රී ල නි ප අනුශාසකවරයකු බවයි මගේ හැඟීම. එහෙම නම් ජී එල් පීරිස් මහින්දටත් කියනවා ද ශ්‍රී ල නි පක්‍ෂයෙ දරණ තනතුරෙන් ඉවත් වෙන්න කියලා. ඒකාබද්ධ විපක්‍ෂෙ කී දෙනකු ශ්‍රි ල නි පක්‍ෂයෙ මධ්‍යම කාරක සභාවෙ හරි එයට තුල්‍ය සභාවක ඉන්නවා ද කියලා කියනවා ද? ඒකාබද්ධ විපක්‍ෂෙ බොහෝ දෙනකු ශ්‍රී ල නි පක්‍ෂයෙ සාමාජිකයන්. ඔවුන් යම් සභාවක කමිටුවක ඉන්නව නම් ඒ තනතුරු දැරීමක්. එවැන්නන් ඉන්නව නම් ඔවුන්ටත් ඒ තනතුරු අත්හරින්න කියනවා ද? තනතුරු කියන්නෙ ලේකම් භාණ්ඩාගාරික වැනි නිල පමණ ද? ඔවුන් නිලධාරීන්. නිල දරන්නවුන්. නිලවලට අමතර ව තවත් තනතුරු තියෙනවා.

ජී එල් පීරිස් පොදුජන පෙරමුණේ සභාපති බව ඇත්ත. බැසිල් ඒ පක්‍ෂය සංවිධානය කරපු බවත් ඇත්ත. ඒත් මිනිසුන් පොදු ජන පෙරමුණට ඡන්දෙ දෙන්නෙ ජී එල් පීරිස් නිසාවත් බැසිල් නිසාවත් නො වෙයි. ඔවුන් එහෙම හිතනවා නම් ඒක අර කටුස්සා මේවා අලින්නෙ අපේ වැඩ කිව්ව වගේ. කොහොම වෙතත් මෙහි අලින්නෙ වැඩක් ඇති බවක් නම් පේනවා. මිනිසුන් පොදු ජන පෙරමුණට ඡන්දෙ දෙන්නෙ මහින්ද හා මහින්ද නිසා ම පමණයි.

අද රනිල්ගෙ ආණ්ඩුව ඉවත් කරන්න බැරි ජී එල් පීරිස් වැන්නන්ගෙ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් හා තවත් ටිකක් සෙවීමේ ප්‍රතිපත්තිය නිසාත් මෛත්‍රිපාලගෙ බය හා සැක නිසාත්. මෛත්‍රිපාල වැන්නකු මේ රටේ ජනාධිපති වීම රටට ප්‍රශ්නයක් වුණත් ඔහු අද ජනාධිපති. අපේ හාමුදුරුවරුන් අනුශාසනා කරනවා අද රටට අවශ්‍ය ශක්තිමත් නායකයකු කියා. උන්වහන්සේලාගේ අනුශාසනාව ගැන පින් අනුමෝදන් කරන අතර උන්වහන්සේට දැන් අණ දීමට කාලය පැමිණ ඇතැයි කියා හිතෙනවා. මෛත්‍රිපාල ජනාධිපතිකමෙන් අස්වුණොත් රනිල් ජනාධිපති වෙනවා. අද මගක් හොයන්න ඕන රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න.

මේ රට තව අවුරුදු එකහමාරක් මේ විධියට කර ගෙන ගියොත් රටක් ඉතිරි වන්නේ නැහැ. මෛත්‍රිපාල මේ රට අගාධයට පත් කළ ජනාධිපති ලෙස ඉතිහාස ගත වේවි ද? මෛත්‍රිපාල ප්‍රජතන්ත්‍රවාදය ගැන කියන්නෙ ඔහු ශක්තිමත් නැති නිසා. ඔහු ඇමති මණ්ඩලයෙ ගොබෙල්ස් තියාගෙන හිට්ලර් ගැන කතා කරනවා. රනිල් තියාගෙන හිට්ලර් ගැන කතා කරනවා. රනිල්ට අර්ජුන මහේන්ද්‍රන් එක්ක සම්බන්ධකම් කිසිවක් දැන් නැතිළු. හොඳයි එහෙම තමයි කියලා කියමු. අර්ජුන් මහේන්ද්‍රන්ගෙ තාත්තා චාලි මහේන්ද්‍රන් එකල රාජකීය විදුහලේ ගුරුවරයෙක්. ඒ කොහොම වෙතත් රනිල්ට අර්ජුන් මහේන්ද්‍රන් එක්ක දැන් කිසිම සම්බන්ධකමක් නැති වුණත් අපේ බුද්ධි අංශයට ඔහු හොයා ගන්න බැරි මොක ද? කේ පී ගෙනා බුද්ධි අංශය දැන් දුර්වල කරලා ද? පඬි පෝතකයකු අහන්න ඕනෙ නැහැ කේ පීට මොකද වුණෙ කියලා. අප කතා කරන්නෙ කේ පී ගෙනාපු එක ගැන. රනිල් මහේන්ද්‍රන් ගේන්න ඕන නැහැ. ඒ වැඩේ අදාල නිලධාරීන්ට කරන්න ඉඩ දෙන්න.

ජී එල් කරන්නෙ රනිල්ගෙ ආණ්ඩුව තවත් පවත්වාගෙන යෑමට ඒකාබද්ධ විපක්‍ෂෙ නොසිට එහි භේද ඇති කිරීම. අපේ හාමුදුරුවන්ගන් අණ ලැබෙන තෙක් අපි බලා ඉඳිමු. එහෙත් අණ ප්‍රමාද වුවොත් රටත් ශාසනයත් රැක ගන්න බැරි වෙන්නත් ඉඩක් තියෙනවා.

~~ කාළය~~

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.