Breaking
23 Feb 2025, Sun

ජ වි පෙ රනිල්කාරිය හෙවත් රනිල්ට රෙදි ඇන්දවීම…. හඳුන්නෙත්තිලාට අවසානයේ දී අවශ්‍ය වන්නේ රනිල් බව පැහැදිලියි

මගේ මූලික විෂය, එහෙමත් නැත්නම් මා වඩාත්ම ප්‍රිය කරන විෂය දැනුමයි. දැනුම යනූ කුමක් දැයි දැන ගැනීම මගේ අභිලාෂයයි. මේ සියලු දැනුම් බොරු බවත් ඒ අතර පට්ටපල් බොරු තිබෙන බවත් මා කලක සිට කියනවා. මේ බොරු බොරු බව පසක් කර ගැනීම, බුද්ධියෙන් තර්කයෙන් නොව, නිවන් අවබෝධය ලෙස මට සිතෙනවා. එතෙක් අපට බොරුවේ ජීවත් වන්න සිදු වෙනවා. මා නමින් ඇති සංකල්පයත් (මම) බොරුවක්. එහෙත් මේ බොරු ප්‍රතික්‍ෂෙප කළ යුතු යැයි මෙයින් ගම්‍ය වන්නේ නැහැ. මේ බොරු අතර මුසාවාද තිබෙනවා. ඒ බොරු විශේෂයක්. අප පන්සිල් ගන්නා විට මුසාවාද කීමෙන් වැළකීමේ සික්ඛාපදය සමාදම් වෙනවා. අප සාමාන්‍යයෙන් බොරු කියා කියන්නේ මුසාවාදවලට. එබැවින් මා බොරු යැයි කියන දේ බොහෝ දෙනා වැරදියට හිතා ගන්නවා.

මා අනෙක් විෂය සියල්ල ම පාහේ ගැන උනන්දුවන්නේ එහි දැනුම් ගැන කියන නිසා. ඒ සියල්ල ගැන ලිවීමට අවශ්‍ය වුවත් මේ දිනවල දේශපාලනයෙන් ඒ සඳහා ඉඩක් ලැබෙන්නේ නැහැ. අදත් මට දැනුම ගැන සාධාරණ ව (පොදුවේ) කතා කිරීමට ලැබෙන්නේ නැහැ. ඒ හඳුන්නෙත්තිගේ විශේෂිත දැනුම ගැන යමක් ලිවීමට තිබෙන නිසා. ඇතැමුන් කියන විධියට හඳුන්නෙත්ති කලකට පෙර ජ වි පෙරමුණෙන් ඉවත් වෙන්න හිටියා. එහෙත් ඔහුට ග්‍රහ (ගෘහ) බලපෑම් නිසා ඉවත් වීමට හැකි වී නැහැ. කොහොමටත් ඒ දැනුම ගැන මට සහතික වෙන්න බැහැ.

හඳුන්නෙත්ති ඊයේ පෙරේදා රැස්වීමක කියා තිබුණා බැඳුම්කරයට ප්‍රධාන වරදකරු මෛත්‍රිපාල කියා. ඔහුගේ නිගමනය පදනම් වන්නේ අර්ජුන් මහේන්දූන් පත් කරනු ලැබුයේ මෛත්‍රිපාල විසින් වීම මත. මෛත්‍රිපාල නම් කියන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමට තමන් විරුද්ධ වූ බවයි. එහෙත් හඳුන්නෙත්ති පෙන්වා දෙන්නේ මහේන්ද්‍රන් පත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලෙස මෛත්‍රිපාල විසින් බවයි. රනිලගේ/රවිගේ නිර්දේශය මත පදනම් වුවත් පත්වීම කර ඇත්තේ මෛත්‍රිපාල. නිරදේශ හැමවිට ම නිර්දෝෂ නොවන බව මෛත්‍රිපාල දැන හිටින්න ඇති. එහෙත් ඔහු නිර්දේශය පිළිගෙන ඒ අනුව ක්‍රියාත්මක වී තියෙනවා. එබැවින් හඳුන්නෙත්තිට අනුව වරදකරුවා වෙන කිසිවකු නොව මෛත්‍රිපාලයි.

එහෙත් ජනාධිපතිට මුක්තිය තිබෙන බැවින් ඔහුට විරුද්ධව නීත්‍යානුකූල ව ක්‍රියා කරන්න බැහැ. එසේ නම් කළ යුත්තේ කුමක් ද? මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙන් ඉවත් වී රනිල්ට දොර විවෘත කිරීම ද? හඳුන්නෙත්තිලාට අවසානයේ දී අවශ්‍ය වන්නේ රනිල් බව පැහැදිලියි. ඔවුන්ට අනුව බැඳුම්කරය පිළිබඳ ව රනිල්ට වරද පැටවෙන්නේ නැහැ. මෙහි දී අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. හඳුන්නෙත්ති කෝප් කමිටෙුව් සභාපති. ඔහු ඒ තනතුරට පත් කෙරුණේ රනිල්ගේ ඕනැ කමට. එහෙත් පත් කෙරුණේ පාර්ලිමේන්තුවෙන්. අනුර කුමාර විපක්‍ෂයේ සංවිධායක වූයේත් ඒ අයුරින්. රනිල් නොවන්නට ඔවුන්ට ඒ තනතුරු නැහැ.

මෙරට විවිධ නිකායවල විවිධ පාර්ශ්ව තියෙන ආකාරයට ආණ්ඩුවේත් විවිධ පාර්ශ්ව තියෙනවා. ඒ පාර්ශ්ව අතර ජ වි පෙ පාර්ශ්වයත් එකක්. දෙමළ සංධානය තවත් පාර්ශ්වයක්. මෛත්‍රිපාල කණ්ඩායමත් එක් පාර්ශ්වයක් පමණයි. අද මෛත්‍රිපාල පාර්ශ්වය තනියම කටයුතු කරනවා. හඳුන්නෙත්තිලා ඒ පාර්ශ්වයට පහර දෙමින් රනිල් ආරක්‍ෂා කරනවා. හඳුන්නෙත්තිගේ කෝප් වාර්තාවෙන් ද රනිල් ආරක්‍ෂා කෙරුණා. ඩිව් ගුණසේකර වාර්තාවෙන් එසේ නොකෙරුණු බවයි මගේ වැටහීම.

අද වෙන කොට රනිල්ගේ රෙදි ගැල වී ගොස්. අර්ජුන් මහේන්ද්‍රන් පත් කරනු ලැබුයේ ජනාධිපති ලෙස මෛත්‍රිපාල විසින් බව ඇත්ත. එහෙත් මහේන්ද්‍රන් එතැනට ගෙනාවේ රනිල්. මෛත්‍රිපාල එකල රනිල් කියන දේ පමණක් නොවෙයි චන්ද්‍රිකා කීියන දේත් පිළිගත්තා. දැනුත් චන්ද්‍රිකා කියන දේ පිළිගන්නවා. මෛත්‍රිපාල අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා පමණක් නොව ඩිව් ගුණසේකර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තිබිය දී පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ රනිල් මෙන් ම මහේන්ද්‍රන් ආරක්‍ෂා කිරීම සඳහා. ජ වි පෙ ඒ අවස්ථාවේ දී මෛත්‍රිපාලට විරුද්ධ වූයේ නැහැ. ඔවුන් ද සතුටු සිතින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිගත්තා.

අද රනිල් හා එ ජා පක්‍ෂය ද කියන්න සූදානම් වන්නේ මහේන්ද්‍රන් පත් කරනු ලැබුයේ මෛත්‍රිපාල විසින් බවයි. ඒ රෙදි ගැල වී ඇති රනිල්ට රෙදි ඇන්දවීමට. හඳුන්නෙත්ති කරන්නේත් එයයි. ආණ්ඩුවේ ජ වි පෙ පාර්ශ්වයට අද දී ඇති රාජකාරිය හෙවත් රනිල්කාරිය වී ඇත්තේ රනිල්ට රෙදි ඇන්දවීමයි. ඒ අතර ජ වි පෙ රනිල් කෙනිත්තීමකුත් කරනවා ජනතාවට පේන්න.

හඳුන්නෙත්තිලාගේ තරකය එහි තරකානුකුල අන්තයට ගෙන ගියොත් බැඳුම්කරයට වරදකරු වන්නේ හැට දෙලක්‍ෂයක ජනතාවක්. එයට හේතුව මොන යුග පෙරළිකරුවන් හිටියත් ඔවුන් පිටුපස මොන ඔත්තුසේවා හිටීයත් මෛත්‍රිපාල පත් කිරීමට ඡන්දය දී ඇත්තේ හැට දෙලක්‍ෂයක ජනතාවක්. ඒ අතර ජ වි පෙ නායකයන් මෙන් ම පාක්‍ෂිකයන් ද අනුගාමිකයන් ද හිටි බව එකල ජ වි පෙ නායකයන් කළ කතා බහෙන් පැහැදිලි වෙනවා. එසේ නම් මෛත්‍රිපාල පත්කර ගැනීමෙන් ජ වි පෙ නායකයන් ද ඇතුඵ හැට දෙලක්‍ෂයක ජනතාවක් අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේ ක්‍රියාවලියට සහභාගි වී තියෙනවා. එයට අමතර ව ජ වි පෙ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ දී හා කෝප් කමිටුවේ රනිල් ආරක්‍ෂා කිරීම මගින් මහේන්ද්‍රන් ආරක්‍ෂා කර තියෙනවා. මහේන්ද්‍රන් පත් කිරීමේ දී හා ආරක්‍ෂා කිරීමේ දී වඩාත් ම කාර්යක්‍ෂම ව රනිල්කාරිය කර ඇත්තේ හා කරන්නේ අනුර කුමාර හා හඳුන්නෙත්ති බව පෙනී යනවා.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-01-20

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.