Breaking
22 Feb 2025, Sat

ජ වි පෙ රනිල් වෙනුවෙන් ගහන ගැටය… සිරිසේනට මීළඟ ජනාධිපති වෙන්න බැහැ. ඒ නිසා සිරිසේන පැත්තක තියලා ප්‍රශ්නය දිහා බලන්න….

ජ වි පෙ වෙනින් පොතක් පෙරළන්න හදනවා. පසුගිය දා විජිත හේරත් කියා තිබුණා ඔවුන් ගෙන ඒමට බලාපොරොත්තුවන විසිවැනි සංශෝධනයෙන් කිසිවක් වෙනස් වන්නේ නැහැ කියා. ඔහු කියා තිබුණේ විධායක ජනාධිපති ක්‍රමයෙ වෙනසක් නොකරන බවත් බලතල කිසිවක් අඩු නොකරන බවත්. එහෙනම් සංශෝධනයක් ගෙන එන්නෙ මොනවට ද කියලා අහන්න පුළුවන්.

ජ වි පෙ විසිවැනි සංශෝධනයට එරෙහි ව නැගුණු විරෝධය හමුවේ තම අරමුණ වෙනස් කර ගෙන ද? ඔවුන්ට අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට. දැන් එහෙනම් විධායක ජනාධිපතිගෙ බලතල අඩු කරන්නෙ නැහැ කියන්නෙ මොක ද? අනුර කුමාරට තම වැරුද්ද වැටහිලාවත් ද?

ජ වි පෙ කරන්නෙ තමන්ට අවශ්‍ය දේ වෙනත් අයුරකින් කර ගැනීමට. ඔවුන් දැන් කියන්නෙ විධායක ජනාධිපති මුළු රට ම ඡන්ද කොට්ඨාශයක් ලෙස සලකා තෝරා පත්කර ගන්නෙ නැතිව පාර්ලිමේන්තුවෙන් පත්කර ගන්න කියලා. ඔවුන් විසිවැනි සංශෝධනය ගෙනෙන්නෙ මේ පොඩි වෙනස කරන්න කියලා ඔවුන් කියන්නෙ. ඒ ගැන කවුරුන්වත් කලබල වෙන්න එපාළු.

ඒත් අපට අහන්න තියෙන්නෙ ඇයි මේ පොඩි වෙනස කරන්නෙ කියලා. මේක පොඩි වෙනසක් නො වෙයි. මේ විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට යටත් කිරීමක්. කාට හරි බැලූ බැල්මට පේන්න පුළුවන් එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා. පාර්ලිමේන්තුවට එතකොට ජනතා පරමාධිපත්‍යයෙහි ව්‍යවස්ථාදායක අධිකරණ පමණක් නොවෙයි විධායක බලතලත් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා හිතේවි. මොනව වුණත් පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මහජන නියෝජිතයන් කියලා කියන්න පුළුවන්.

බැලූ බැල්මට නම් එහෙම තමයි. ඒ වුණත් මෙහි වැදගත් කරුණු දෙකක් තිබෙනවා. විධායක ජනාධිපති මුළු රටෙන් ම තෝරන කොට ඡන්ද කොට්ඨාශය මුළු රට ම වෙනවා. එවිට ජනාධිපති වග කියන්නෙ රටට ම. රටට පුළුවන් තමන්ට අවශ්‍ය ජනාධිපති සෘජුව ම පත්කර ගන්න. එහෙත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරණ විට එහි දී සිිදුවන්නේ වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ ඒ රටවල ජනාධිපති පත්කර ගන්නෙ එක් එක් ක්‍රමයට. සමහර රටවල ඉස්සෙල්ල ඡන්ද කොට්ඨාශයක් තෝරණවා. ඒකෙ සාමාජිකයන්ට කියනවා ජනාධිපති තෝරන්න කියලා, ඇමරිකා එක්සත් ජනපදයෙ තියෙන්නෙ එවැනි ක්‍රමයක්.

ජ වි පෙ කියන්නෙ ලංකාවෙදි ඒ ඡන්ද කොට්ඨාශය පාර්ලිමේන්තුව බවට පත් කරන්න කියලා. පාර්ලිමේන්තුවට තමයි එවිට ජනාධිපතිට වග කියන්න වෙන්නෙ. එහෙත් පාර්ලිමේන්තුව ඒ ඒ පක්‍ෂ මගින් අවසාන වශයෙන් පාලනය වෙන්නෙ. අපි හිතමු යම් විධියකින් අද ජනාධිපති තෝරා පත් කෙරුණෙ පාර්ලිමේන්තුවෙන් කියලා. අපි විහිළුවට හරි හිතමු පත් වුණෙ මෛත්‍රිපාල කියලා. එහෙම වුණා නම් අද මෛත්‍රිපාලට තියෙන සුළු ස්වාධීනත්වයවත් තියේවි ද? ඔහුට තනිකර ම රනිල් කියන විධියට මුල දි විතරක් නොවෙයි අදත් වැඩ කරන්න වෙනවා. වෙනත් අයුරකින් කියනවා නම් පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන විධායක ජනාධිපති අගමැතිගෙ රූකඩයක් පමණක් වෙනවා. එවිට ජනාධිපති වන්නෙ අගමැති මිසක් නිල ජනාධිපති නො වෙයි.

වෙනත් වචනවලින් කියනවා නම් එයින් සිද්ධ වෙන්නෙ ජනාධිපතිගෙ විධායක බලතල අහෝසි කිරීමක් හා ඒ බලතල අගමැතිට පැවරීමක්. ජ වි පෙ වැඩ කරන්නෙ රනිල්ට ඕන විධියට බව අප දන්නවා. මේ රනිල්ගෙ උපක්‍රමයක්. විධායක ජනාධිපති බලතල රනිල් අතට ගන්න. රටෙන් ම විධායක ජනාධිපති වීමට බැරි රනිල් පාර්ලිමේන්තුව මගින් ජනාධිපති පත් කරන්න හදනවා. දැන් කාට හරි කියන්න පුළුවන් මහින්දටත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා. නැහැ එහෙ ම ලැබෙන්නෙ නැහැ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අදාළ පරිදි සංශෝධනය නොකර.

දෙවනුව මෙයටත් වඩා බරපතල තත්වයක් තියෙනවා. මුළු රට ම ඡන්ද කොට්ඨාශය හැටියට ගත්ත ම සිංහලයකුට ලැබෙන විටිනාකම (ඡන්දය) අනෙක් අයට ලැබෙන වටිනාකමට අඩු වෙන්නෙ නැහැ. එහෙත් පාර්ලිමේන්තු ආසන බෙදා තිබෙන ආකාරයට හා පක්‍ෂ දේශපාලනය නිසා පාර්ලිමේන්තුව හරහා සිංහලයකුට ලැබෙන ඡන්ද වටිනාකම අඩු වෙනවා. එ ජා පක්‍ෂය සිංහල විරෝධී පක්‍ෂයක් නිසා ඔවුන් දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂ සමග එකතු වූ විට සිංහලයකුගෙ ඡන්ද වටිනාකම තවත් අඩු වෙනවා.

ඒ කියන්නෙ සිංහල විරෝධී ජනාධිපතිවරයකු නමට වුවත් තොරා ගැනීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා කියන එක. එවිට පාර්ලිමේන්තුවෙන් රනිල් අගමැති වුවහොත් ඔහුට අවශ්‍ය අයකු ජනාධිපති කරගෙන තනිකර සිංහල විරෝධී ආණඩුවක් පිහිටුවා ගන්න පුළුවන්.

දැන් කවුරු හරි කියන්න පුළුවන් මීළඟ මැතිවරණයක දී මහින්ද අගමැති කරන්න පුළුවන් කියලා. ඒක ඔය හිතන තරම් ලෙහෙසි නැහැ. පහුගිය පළාත් පාලන ආයතන ඡන්දයෙන් පොහාට්ටුව මහා ලොකු ජයග්‍රහණයක් ලැබී යැයි කියන පඬියන්ට නම් හිතෙන්න පුළුවන් මීළඟ මැතිවරණයේ දී පොහාට්ටුව ජයග්‍රහණය කරයි කියලා. පෙබරවාරියේ දී පොහොට්ටුව විශාල ජයග්‍රහණයක් ලැබුවෙ නැහැ කිවුව ම බැසිල්ට නම් ඒ බව තේරෙවි. එහෙත් බැසිලිකාවෙ පූජකයන්ට තේරෙන්නෙ නැහැ. පොහොට්ටුව ලැබූ ඡන්ද අනුව එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කී දෙනකු තේරෙවි ද කියලා ගණන් බලන්න. සමහරවිට කියන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයක දී ප්‍රතිඵල වෙනස් වෙයි කියලා. අද තියෙන තත්වය අනුව මොන මැතිවරණයක් තිබ්බත් ජනතාව පොහාට්ටුවට ඡන්දෙ දෙන්නෙ මහින්ද බලාගෙන. එහි විශාල වෙනසක් ඇති වීමට ඉඩක් නැහැ.

කවුරු හරි හිතනවා ද ජ වි පෙ මේ සංශෝධනය ගෙනෙන්නෙ පොහොට්ටුවට ආධාර කරන්න කියලා. එහෙම හිතාගෙන සංශෝධනයට පක්‍ෂව ඡන්දය දෙන්න ඕන කියලා. මේ මොන විධියකටවත් සිරිසේනට මීළඟ ජනාධිපති වෙන්න බැහැ. ඒ නිසා සිරිසේන පැත්තක තියලා ප්‍රශ්නය දිහා බලන්න.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.