Breaking
23 Feb 2025, Sun

ට්‍රම්ප් හා සුපිරිව්‍යුහය

ඊයේ ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජ්‍යවල හතළිස්පස්වැනි ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දීමෙන් පසු කළ කතාවේ දී කියා සිටියා මින් මතු එක්සත් රාජ්‍යයේ හමුදාවට පහසුකම් සැපයීමට මිස විදේශීය රාජ්‍යවල හමුදාවල ශක්තිය වැඩි කිරීමට ආධාර නොකරන බව. එමෙන් ම ඔහු කියා සිටියා විදේශවල කටයුතුවලට මැදිහත් නොවන බවත් අනෙක් රටවල් තම තමන්ගේ කටයුතු බලාකියා ගත යුතු බවත්. සී අයි ඒ සංවිධානය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප්ට ඉඩ හරීවි ද යන්න ප්‍රශ්නයක්. ඔහුගේ කතාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට ප්‍රශ්න ඇති කළ බවට සැකයක් නැහැ.

ජාත්‍යන්තර සුපිරිව්‍යුහය ගැන බොහෝ දෙනා දන්නේ නැහැ. එබැවින් ඒ ගැන විවිධ මත පළවෙනවා. සමහරුන් හිතන්නේ ජාත්‍යන්තර සුපිරිව්‍යුහය යන සංකල්පය දෙවැනි ලෝක යුද්ධ කාලයේ පටන් පවතින එකක් කියා. සංකල්පය ඇති වී සති කිහිපයක්වත් නැහැ. එහෙත් එයින් කියන්නේ සුපිරිව්‍යුහය ක්‍රියාත්මක වීමට පටන් ගෙන සති කිහිපයක් පමණක් ගෙවී ගොස් ඇති බව නො වෙයි. එය බොහෝ කලක සිට ක්‍රියාත්මක වෙනවා. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ බොහෝ කලක සිට ක්‍රියාත්මක වන සුපිරිව්‍යුහය ඊනියා යථාර්ථයක් කියා. ඒ සංකල්පය යම් ක්‍රියාදාමයක් තේරුම් ගැනීමට නිර්මාණය වූ සංකල්පයක් පමණයි. එය ඒ සඳහා වූ එකම සංකල්පය කියා මා කියන්නේ නැහැ.

පොළොවට පොල් (ඇපල්) වැටීම අප අත්දැකීමෙන් දන්නා දෙයක්. එය ද ඊනියා යථාර්ථයක් නො වෙයි. ඒ අත්දැකීම තේරුම් ගැනීමට නිවුටන් ගුරුත්වාකර්ෂණය කියන සංකල්පය නිර්මාණය කළා. එයින් කියැවෙන්නේ පොල් වැටෙන්න පටන් ගත්තේ ගුරුත්වාකරෂණ ප්‍රවාදය නිර්මාණය කිරීමෙන් පසුව බව නො වෙයි. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය අනුව නිවුටන්ට බොහෝ කලකට පෙර පොල් වැටීමත් තේරුම් ගත හැකියි. එහෙත් එයින් කියන්නේ ගුරුත්වාකර්ෂණය කියන්නේ ඊනියා යථාර්ථයක් බව නො වෙයි. ගුරුත්වාකර්ෂණය පොල් වැටීම තේරුම් ගැනීමට ඇති එක් සංකල්පයක් පමණයි. ඒ සඳහා තවත් සංකල්ප තිබෙනවා. අයින්ස්ටයින්ගේ අවකාශ –- කාල වක්‍රතාව තවත් සංකල්පයක්. ඉදිරියේ දී තවත් සංකල්ප, ප්‍රවාද ඇතිවන්න පුළුවන්.

මේ එකක්වත් තබා පොල් වැටීමවත් ඊනියා යථාර්ථයක් නො වෙයි. පොල් කියන සංකල්පයත් වැටීම කියන සංකල්පයත් අප විසින් ඇති කර ගනු ලැබූ දේ. මේවා ප්‍රත්‍යක්‍ෂ තමයි. නමුත් ප්‍රත්‍යක්‍ෂත් අපේ නිර්මාණ. අප, මා කියන සංකල්පත් අපේ නිර්මාණ වන විට අනෙක් සංකල්ප ගැන කියනුම කවරේ ද? මා කියා අයකු සිටින්නේ යැයි බෞද්ධයකුට කියන්න බැහැ. අප තනාගෙන ඇති භයානක ම සංකල්පය මම යන්නයි. සියලු සංකල්ප, සංකල්ප යන්නත් ඇතුළුව, අපේ නිර්මාණ. අප විසින් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනවබෝධය නිසා ඇති කරගනු ලැබූ සංකල්ප.

අප බටහිරයන් විසින් නිර්මාණය කරනු ලැබූ සංකල්ප පමණක් ඉගෙන ගන්නේ ඇයි. අප බුදුදහම පවා ඉගෙන ගන්නේ බටහිරයන්ට වුවමනා අන්දමට, බටහිරයන්ට සරිලන අන්දමට. අප සිංහල සාහිත්‍යය ඉගෙන ගන්නේත් බටහිර සංකල්ප අනුව. සාහිත්‍ය විචාරය පිළිබඳ මිනුම් දඬු කාගේ ද? අප ආණ්ඩුවක් පත් කර ගන්නේත් බටහිරයන්ට අවශ්‍ය අන්දමට. පාර්ලිමේන්තුව අපට එංගලන්තයෙන් ලැබුණු එකක්. දෙමළ ජාතිවාදය නැවත හිස ඔසවන්නේත් බටහිරයන්ගේ අනුග්‍රහයෙන්. මේ මෙසේ වන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට අපට අවශ්‍යයි.

අප එහි දී බොහෝ විට කෙළේ එංගලනතයට හා එක්සත් රාජ්‍යවලට හා අනෙක් බටහිර රාජ්‍යවලට වරද පැටවීමයි. සමහරු බටහිර කුමන්ත්‍රණ ලෙසත් මේ ක්‍රියාදාමය හඳුනා ගත්තා. එහෙත් බටහිර රටවල් එසේ ක්‍රියාකරනවා නම් එය කෙසේ සිදුවන්නේ ද? අපට මේ කරුණු වටහා ගැනීමේ දී ජාත්‍යන්තර සුපිරිව්‍යුහය යන සංකල්පය නිර්මාණය කර ගැනීමට හැකි වුණා. මේ සුපිරිව්‍යුහය නිර්මාණය වන්නට පටන් ගත්තේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නො වෙයි. සුපිරිව්‍යුහයට අයත් බොහෝ ආයතන ඒ ඊනියා ලෝක යුද්ධයෙන් පසු ඇති වූ ඒවා බව සැබෑව. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය වැනි විවිධ සංවිධාන, නේටෝව, බහුජාතික සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන, සිවල් සංවිධාන ආදිය අවුරුදු හැත්තෑවක කාලයක ඇති වු ආයතන.

එහෙත් එයට වඩා පැරණි ආයතන රාශියක් තිබෙනවා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, විශ්වවිද්‍යාල, එංගලන්ත අච්චුවේ පාසල්, බටහිර ඔත්තු සේවා, බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම අවුරුදු සිය ගණනක් තිස්සේ පවතිනවා. ක්‍රිස්තියානි සංස්කෘතියේ පෞද්ගලිකත්වය යන්න මාටින් ලූතර් කරා දිව යනවා. ග්‍රීකයන්ගේ ඇරිස්ටෝටලීය න්‍යායට අවුරුදු දෙදහස් ගණනක් වෙනවා. යුදෙවුවන්ගේ දෙවියන් වහන්සේ ඇතුළු වියුක්ත සංකල්ප එයටත් වඩා පැරණියි. මේ සියල්ලේ එකතුව තමයි ජාත්‍යන්තර සුපිරිව්‍යුහය ලෙස හැඳින්වෙන්නේ. එහි ප්‍රධාන ම සංරචකයක් වන්නේ බටහිර විද්‍යාවයි. බටහිර සංස්කෘතියට සාපේක්‍ෂව නිර්මාණය වූ දැනුමක් අද මුළු ලෝකයේ ම දැනුමක් බවට පත්කර තිබෙනවා. එය ඊනියා වාස්තවික දැනුමක් ලෙස ඉගැන්වෙනව.

සුපිරිව්‍යුහයේ සංස්කෘතියත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය. එයට උපසංස්කෘතියක් නැහැ. එහි ආයතන එකට එකතු වී සාකච්ඡා කර තීරණ ගන්නේ නැහැ. එහෙත් ඒ සියල්ල අර සංස්කෘතික හුයෙන් බැඳී තිබෙනවා. එහි චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි. මේ සුපිරිව්‍යුහය සංවිධානය වීම ඇරඹිලා අවුරුදු පන්සියයක් පමණ වෙනවා. එහි දී ඇරිස්ටෝටලීය න්‍යායත්, යුදෙවු වියුක්තකරණයත් විශේ’ෂයෙන් බලපානවා.

අද ලෝකය ම පාලනය කෙරෙන්නේ මේ ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙන්. අද බටහිර රටවලටත් අවශ්‍ය වෙලා තියෙනවා සුපිරිව්‍යුහයෙන් නිදහස් වීමට. එක්සත් රාජ්‍යයේ ජනාධිපතිවරු මෙතෙක් ක්‍රියා කෙළේ මේ සුපිරිව්‍යුහයේ අවශ්‍යතාවන් අනුව. බටහිර ජාතික රාජ්‍යය නැහැ. ඇත්තේ ආගමික රාජ්‍ය පමණයි. සුපිරිව්‍යුහය විසින් මේ රාජ්‍ය ඊනියා ජාතික රාජ්‍ය ලෙස හඳුන්වනු ලැබුවා. ඊයේ ට්‍රම්ප් දිවුරුම් දුන්නේ දකුණු අත ඔසවා වම් අත බයිබලය මත තබාගෙන. ඒත් ඔහු හා එක්සත් රාජ්‍ය ජනතාව යම් පිරිසක් සුපිරිව්‍යුහයෙන් නිදහස්වීමට තීරණය කර ඇති බව පැහැදිලියි. ට්‍රම්ප් ඊයේ සංස්ථාපනයට (එස්ටැබ්ලිෂ්මන්ට්) විරුද්ධව කතා කළා. මේ සංස්ථාපනයෙන් ජනතාව නිදහස් විය යුතු බව ඔහු කිවුවා. මේ සංස්ථාපනය අන්කිසිවක් නොව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයයි.

නලින් ද සිල්වා

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.