Breaking
23 Feb 2025, Sun

ටොයියන්ගේ ලෝකයේ හිර වූ බයියෝ

 Published on: Feb 24, 2018- මේ රටේ තරම් උගතුන් වෙනත් රටක නැතිව ඇති. ඔවුන් අද සතුටු වෙනවා ඇති අප කිහිප දෙනකු මෛත්‍රිපාලට රැවටුණා කියලා. ඔවුන් නොරැවටීම ගැනත් සතුටු වෙනවා ඇති. මට ප්‍රශ්නයක් තියෙනවා. ජී එල් පීරිස් රැ වැටුණු වළේ දවල් වැටුණ ද කියලා.  පොහොට්ටුවේ නායකයන් මෛත්‍රිපාලට සහාය දෙන බව කිව්වා. ඒ රැවටීමක් ද රැවැට්ටවීමක් ද? මෛත්‍රිපාල හොඳ යහපත් අයකු යැයි මා කියන්නේ නැහැ. අනෙක් අය ගැනත් එසේ කියන්නේ නැහැ.

මා ඉතා අසාර්ථක පුද්ගලයකු බව මා පිළිගන්නවා. මගෙන් කිසිවක් ඉගෙන ගත් කිසිවකු නැහැ. අර තරුණයන් කියන්නාක් මෙන් එවැන්නකු ලොවේ තබා ලොවි ගහේවත් නැහැ. මට ගෝලයන් කියා පිරිසක් නැහැ. පිරිසක් තබා එක් අයකුවත් නැහැ. අනෙක් අය මගේ ගෝලයන් යැයි සිතන ඇතැමුන් ලියන කියන දේ ගැන මා කණගාටු වෙනවා. රනිල් ඉවත් කිරීමේ වෑයමෙන් මා පරාදයි. මෙයත් මහින්දට ඇති ජනතා ආකර්ෂණයත් ලෝකයේ ජාතිකවාදත් මහින්දගේ ජාතිකවාදයත් ඉතා විස්තරාත්මක ව සාකච්ඡා කළ යුතුයි. එය ගැඹුරෙන් කළ යුත්තක් යැයි මා කියන්නේ නැහැ. ගැඹුරෙන් සාකච්ඡා කිරීම උගතුන්ගේ බුද්ධිමතුන්ගේ විද්වතුන්ගේ වැඩක්. ඔවුන්ට රනිල් ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් ඇත්තේ නැහැ. එහෙත් ඔවුන් අද ඉන්නේ උද්දාමයෙන්. මට වතුර නටන තුරු නටන කකුළුවා මතක් වෙනවා. රනිල් වතුර රත් කරනවා.

ලබන මස හත්වැනි දා පේරාදෙණියේ දී නිදහස ගැන සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අතර ඉතිහාස සංගමයේ දේශනයක් ගැන ද සඳහන් වෙනවා. ඒ හෙගල් ගැන. ඒ රැස්වීම් දෙක පිළිබඳ පළවන දැන්වීම්වලට කැමැත්ත පළ කරන සංඛ්‍යාව සංසන්දනය කරන්න. උගතුන් වඩා කැමති හෙගල් ගැන කතාබහට මිස නිදහස ගැන කතා කරන්න නො වෙයි. එහෙත් මේ දෙපැත්තේ ම උගතුන් මහින්ද වටාත් එක් රොක් වෙනවා.

මා පේරාදෙණියේ රැස්වීම් රාශියකට පසුගිය අවුරුදු හතළිහක පමණ කාලයක සහභාගි වී තිබෙනවා. කලක් මාක්ස්වාදියකු ලෙස. පසුව ජාතිකවාදියකු ලෙස. ඒ දෙක අතර සංක්‍රමණීය කාලයක් තිබූ බව උගතුන්ට තේරෙන්නේ නැහැ. පේරාදෙණියේ ජාතිකවාදියකු ලෙස සහභාගි වූ රැස්වීම් සංවිධනය කෙරුණේ සුමේධ වීරවර්ධන හා චන්න ජයසුමන විසින්. චන්න ඉතා කැපවීමෙන් මේ රැස්වීම් සංවිධානය කළා. මා සමග වැඩ කළ අයගෙන් ඉතාමත් කැප වීමෙන් වැඩ කෙළේ ගෙවිඳු කුමාරතුංග හා චන්න ජයසුමනයි. අද ඔවුන් දෙදෙනා ම දේශපාලන කටයුතුවල නිරත වෙනවා.

එකල පේරාදෙණියේ මා සහභාගි වූ රැස්වීම්වලට සිසුන් අති විශාල පිරිසක් සහභාගි වුණා. කලාගාරය හා කන්නන්ගර ශාලාව පිරෙන්න සිසුන්  සිටියා. එහෙත් අද රැස්වීමකට එන්නේ ඉතා සුළු පිරිසක්. ඊයේ පෙරේදා පේරදෙණියේ දර්ශන අධ්‍යයන අංශය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට නම් තරමක පිරිසක් සහභාගි වුණා. එහෙත් ඒ අය පැමිණියේ මගේ කතාව අහන්න නොවෙයි. එය පේරාදෙණියේ පැවැත්වූ තවත් විද්වත් සම්මන්ත්‍රණයක්. මා එහි එක් කථිකයකු වූවා පමණයි. මා නැතත් ඒ පිරිස සම්මන්ත්‍රණයට සහභාගි වෙනවා.

මොරටුව සරසවියේත් තත්වය එසේමයි. එකල ශාලාව පිරෙන්න සිසුන් සිටියත් මෑතක දී එහි සිංහල සංස්කෘතික සංගමය සංවිධානය කළ රැස්වීමකට සහභාගි වූයේ සුළු පිරිසක්. මගේ කතාවලට ලිපිවලට දැන් ආකර්ෂණයක් නැහැ. පෙබරවාරි පළාත් පාලන මැතිවරණ රැස්වීම්වලට සහභගි වීමට පොහොට්ටුවෙන් ආරාධනා ලැබුණේ නැහැ. වෙනදා මට රැස්වීම්වල කතා කිරීමට ආරාධනා කරන පක්‍ෂයක්වත් මට සහභාගි වීමට කිව්වේ නැහැ. මෙය මා වයසට යෑමේ ප්‍රශ්නයක් වෙන්න බැහැ. මට රැස්වීම් තුනකට පමණක් ආරාධනා ලැබුණා. ඒත් පෞද්ගලික හිතවත්කම් මත.

මා හිතන්නේ ජනමාධ්‍යවේදීන් මේ ප්‍රවනතාව කලින් ම තේරුම් ගත්තා. මුද්‍රිත මාධ්‍ය මගේ ලිපි පළ කිරීම නැවැත්තුවා. විද්‍යුත් මාධ්‍ය මට වැඩ සටහන්වලට ආරාධනය කිරීම නැවැත්තුවා. මා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවත් එයට නිසි ප්‍රචාරයක්, එනම් තත්පර තිහක ප්‍රචාරයක්වත් ලැබුණේ නැහැ. මගේ අදහස්වල වටිනාකමක් නැති බව ඔවුන් වටහා ගන්න ඇති. මෙය නාථ දෙවියන්, බටහිර විද්‍යාව විවේචනය කිරීම,සිංහල වෙදකමට හා ගොවිකමට වැදගත්කමක් දීම  ආදිය සමග සම්බන්ධයි. එහෙත් මට තේරුම් ගන්න බැරි පුවත්පත්වල මේ ඇතැම් කරුණුවලට විශාල ඉඩකඩක් වෙන්වීම. එය හොඳ ප්‍රවණතාවක්. එහෙත් ඒ වෙනුවෙන් ලියන මගේ ලිපිවලට තැනක් නැහැ.

රනිල් ඉවත් කිරීම අද කළ යුතු ප්‍රධාන ම කාර්යය ලෙස මා තේරුම් ගත්තා. එය කළ හැකි එකම පුද්ගලයා මෛත්‍රිපාල. ඔහුට විතරයි ව්‍යවස්ථාවෙන් ඒ බලය හිමි වී ඇත්තේ. මා යොදා ගත් වචනය ඉවත් කිරීම මිස අස් කිරීම නො වෙයි. මෛත්‍රිපාලට රනිල් අස්කරන්න බැහැ. එහෙත් ඉවත් කරන්න පුළුවන්. ඒ සඳහා මෛත්‍රිපාලට ශක්තියක් අවශ්‍යයයි. ඒ ශක්තිය දිය හැක්කේ මහින්දටයි. එය  මහින්දගේ පෞද්ගලික ශක්තියක් නො වෙයි. මහින්ද මගින් නියෝජනය වන ජාතිකත්වයේ ශක්තියයි. ඒ ජාතිකත්වය ඉතා පටු ජාතිකත්වයක්. ඒ ශක්තිය ලබා දිය හැකි ව තිබුණේ මහින්ද මගින්. එහෙත් අවසාන මොහොත දක්වා ම මහින්ද ඒ ශක්තිය ලබා දුන්නේ නැහැ. අවසාන අවස්ථාවේ දී නාමික ව පෙනී හිටියත් ශක්තිය ලබා දුන්නේ නැහැ. මේ සියල්ල මා ලියනවා. මගේ ලිපි කියෙව්වත් නැතත් මා ලියනවා. මට කාලය වෙබ් අඩවිය තියෙනවා.

රනිල් හා අමරවීර ඊයේ පාර්ලිමේන්තුවේ දී ඊනියා ජාතික ආණ්ඩුව තවමත් පවතින බව කිව්වා. රනිල් පාර්ලිමේන්තු මහා ලේකම් ලවා ඇමතිවරුන් තිහකට වඩා පවත්වාගෙන යෑමට පාර්ලිමේන්තුව අනුමත කර ඇති යෝජනාව කියෙව්වා. ඒ යෝජනාව පිළිගැණුනු එකක්. ඒ යෝජනා සම්මුතිය අදත් වලංගුයි. රනිල් වැඩ කරන්නේ ඔහුගේ සංස්කෘතියේ. ඔහු දන්නවා පාර්ලිමේන්තුව වැඩ කරන ආකාරය. අනෙක් බොහෝ දෙනා දන්නේ නැහැ. ඔවුන් දන්නේ ගිරිය පුප්පාගෙන කෑගහන්න. තරුණයන්ගේ බසින් කිව්වෙත් මෙහි ඇත්තේ ටොයියන්ගේ හා බයියන්ගේ ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව ටොයියන්ගේ. බයියන්ට වැඩ කිරීමට සිදු වී ඇත්තේ ටොයියන්ගේ පාර්ලිමේන්තුවක. මහින්දගේ පටු ජාතිකත්වය පාර්ලිමේන්තුවට යට වෙනවා. අප නුදුරු අනාගතයේ කිසි දිනෙක වෙනත් ආකාරයක පාලන තන්ත්‍රයක්  ගැන හිතන එකක්වත් නැහැ. බයියන් පරාජය උරුම කරගත් අය. බයියන් විමුක්තිය ලබන්න හදන්නේ ටොයියන්ගේ ක්‍රමවලින්.

මා ලියූ ලිපියකට පිළිතුරක් ලෙස 2015 ජනවාරි නවවැනි දා රනිල් පත් කිරීමට පෙර දි මු අස්කළ බවක් පඬියකු කියා තිබුණා. අප මතක තබා ගත යුතු කරුණක් තියෙනවා. ටොයියන්ගේ ලෝකයේ තානාපතිවරු ඉන්නේ රට වෙනුවෙන් බොරු කියන්න. ජනාධිපති ලේකම් ඉන්නේ ජනාධිපති වෙනුවෙන් බොරු කියන්න. අමාත්‍යාංශ ලේකම්ලා ඉන්නේ ඇමතිවරුන් වෙනුවෙන් බොරු කියන්න. මෙහි බොරු කියන්නේ මුසා බස් අර්ථයෙන් මිස බොරු හා පට්ටපල් බොරු අර්ථයෙන් නො වෙයි. එදින දිවුරුම් උත්සවයේ දී දි මු අස්කරන ලියවිල්ලක් අස්සන් කෙරුණේ නැහැ. අදාළ ශ්‍රව්‍ය දෘෂ්‍ය පටය ගෙන බලන්න. එය දැන් වෙනස් කරන්න බැරි නැහැ. දි මු අස්කිරීම වැනි ලියවිල්ලකට අස්සන් කළා නම් එදා විස්තර ප්‍රචාරය කළ නිවේදකයන් ඒ බවක් නොකියා සිටි ද?

________________________

වෙබ් අඩවියේ සංස්කාරකවරු

2018-02-22

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.