Breaking
22 Feb 2025, Sat

ඩිස්කේ අම්මට ඩිස්කඩේ….

පහුගිය දවස්වල සමාජ මාධ්‍ය ජාලවලට ලොකුම කටගැස්මක් වූයේ දයාසිරිගේ ඩිස්කේ අම්මට ඩිස්කඩේය. දයාසිරි මේ අමාරුවේ වැටුණේ කොළයක් බලාගෙන කතාවක් කරන්න ගිහිල්ලාය. කතාව අවසන් කරන්න තිබුණේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨයෙනි. DISCE AUT DISCEDE යනු ලතින් වචන තුනකි. එහි සිංහල තේරුම “උගනිව් නැතිනම් පිටවෙව්” යන්නය. ඉංග්‍රීසියෙන් ලියලා තිබ්බ මේ වචන තුන නුහුරු නිසා දයාසිරිට හරියට කියවා ගන්න බැරි වුණේය. දයාසිරි කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු නොවන නිසා ඒ වචන තුන හරියට කියවා ගන්න බැරි වෙච්ච එක නම් මහ ලොකු පුදුමයක් නොවේ. ඒක දයාසිරිව බයිට් කරන්න තරම් මහ ලොකු වැරදීමකුත් නොවේ. හැබැයි ලොකුම ප්‍රශ්නය වන්නේ රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට මේ වචන තුන හරියට කියවා ගන්න බැරි වෙච්ච එකය.

ඇත්තම කිව්වොත් දැන් එක්සත් ජාතික පක්ෂයට වෙනදාටත් වඩා හොඳට මේ වචන තුන කියවා ගන්නට පුළුවන් වෙන්න ඕනෑය. ඒකට හේතුව දැන් එක්සත් ජාතික පක්ෂයේ බලය කොළඹ රාජකීය විද්‍යාලයට ගිහින් තියෙන එකය. අද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ආදි රාජකීයයෙකි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ආදී රාජකීයයෙකි. එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවි කරුණානායක ආදි රාජකීයයෙකි. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක ආදි රාජකීයයෙකි. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබිර් හෂීම් ආදි රාජකීයයෙකි. එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා ආදි රාජකීයයෙකි. එහෙම බලනකොට යූ.එන්.පී. එකේ ධුරාවලියේ රාජකීයයකු නොවන්නේ අකිල විරාජ් කාරියවසම් විතරය. රාජකීයයකු නොවුණත් රනිල්ට හිතවත්ම මන්ත්‍රීවරයා අකිලය. සජිත්, මහ ‍ලේකම්කමට ඉමිටියාස් බාකීර් මාකර්ව යෝජනා කරද්දී රනිල්ගේ සහයෝගයෙන් අකිල මහ‍ලේකම් වන්නේ ඒ හිතවත්කම නිසාය.

කොහොම වුණත් මේ ධූරාවලිය පරීක්ෂා කරද්දී බොහොම පැහැදිලිව පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පමණක් නොව තනතුරුවලින් 90ක්ම පාහේ කොළඹ හතේ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන්ට හිමි වී තිබෙන බවය. රාජපක්ෂලා පවුලට තැන දුන්නා කියලා චෝදනාවක් එල්ල වෙද්දී රනිල්ට එල්ල වෙච්ච චෝදනාව වූයේ රාජකීය විද්‍යාලයේ ගජමිතුරන් සෙට් එකක් ළං කරගෙන පක්ෂයත් රටත් පාලනය කරනවා කියන එකය.

ඉස්සර උව් එකට සමහරුන් කිව්වේ උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියලාය. හැබැයි දැන්නම් යූ.එන්.පී. එකට කියන්න පුළුවන් උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය කියලා නොව කොළඹ හතේ රාජකීයයන්ගේ පක්ෂය කියලාය. ඇත්තටම මේ තත්ත්වය ගැන පාසලක් හැටියට රාජකීය විද්‍යාලය ආඩම්බර වෙන්න ඕනෑය. ලංකාවේ ප්‍රධානතම දේශපාලන පක්ෂයක උඩ ඉඳන් පහළට තනතුරුවලින් 90ක්ම පාහේ රාජකීයයන්ගෙන් පිරෙනවා කියන්නේ පාසලටත් ලොකු අභිමානයකි.

මීට කලින් මේ වගේ අභිමානයක් භුක්ති විඳින්න කොළඹ ආනන්ද විද්‍යාලයට හැකි වුණේය. ඒ ඊළාම් යුද්ධ සමයේදීය. එකල සිව් වැනි ඊළාම් යුද්ධය මෙහෙය වූ හමුදා නායකයන්ගෙන් 90ක් පමණ ආදි ආනන්දියෝ වූහ. ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති සරත් ෆොන්සේකා, නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, සේනාංකාධිපතිවරුන් වූ ප්‍රසන්න සිල්වා, කමල් ගුණරත්න, චාගි ගාල්ලගේ, ජගත් ඩයස් ආදීහු ඒ අතර ඉදිරියෙන්ම වූහ. එදා යුද විරුවන්ගේ ලැයිස්තුව ආදි ආනන්දියන්ගෙන් පිරී ගියා වගේ මෙදා එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ගේ ලැයිස්තුව රාජකීයයන්ගෙන් පිරී ගිහිල්ලා තිබේ.

හැබැයි මේ නායකත්ව ලැයිස්තුවේ උඩින්ම ඉන්න රනිල් රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය තවමත් හරියට තේරුම් අරන් නොතිබිම නම් කනගාටුවට කරුණකි. රාජකීය ආදර්ශ පාඨය වන්නේ උගනිව් නැතිනම් පලයව් ය. ඒ කියන්නේ පාසලට ආවා නම් ඉගෙන ගන්න, ඉගෙන ගන්න බැරි නම් පාසලෙන් පිටවෙලා යන්න කියන එකය. ඒක දේශපාලන පක්ෂයකට ආදේශ කළොත් කියන්න වෙන්නේ නායකත්වය බාර ගත්තා නම් පක්ෂය දිනවන්න. දිනවන්න බැරි නම් පක්ෂයෙන් අයින් වෙලා යන්න කියලාය.

හැබැයි ආදි රාජකීයයකු වුණ රනිල්, රාජකීය ආදර්ශ පාඨය අනුව වැඩ කරන බවක් නම් කොහෙත්ම පේන්න නැත.

විශ්වාසභංගයට කලින් කිව්වේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලොකු ප්‍රතිසංවිධානයක් සිද්ධ වෙනවා කියාය. හැබැයි අන්තිමට සිද්ධ වුණේ ‍ලේකම් ධුරය දැරූ කබිර් සභාපති වෙලා අකිල ‍ලේකම් වෙච්ච එකය. නවීන්ට ජාතික සංවිධායක තනතුරක් ලැබිච්ච එකය. පක්ෂයේ ප්‍රධාන තනතුරු තුනේම කිසිම වෙනසක් නැත. නායකයා රනිල්මය. නියෝජ්‍ය නායකයා සජිත්මය. උප නායකයා රවීමය. රනිල්ව අයින් කරලා අලුත් නායකයකු ගෙනැල්ලා පක්ෂය අලුත් කරන්න ගිය රංගේ බණ්ඩාරලාට, වසන්ත සේනානායකලාට, සුජීව සේනසිංහලාට, අජිත් පෙරේරලාට වැ‍ලේ වැල් නැත.

හරි නම් මේ වෙලාවේ රනිල් කරන්න ඕනෑ රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය අනුව කටයුතු කරමින් පක්ෂයට අලුත් නායකයකු පත්කර ගන්න ඉඩ දෙන එකය. හැබැයි එහෙම වෙන පාටක් නම් පේන්න නැත. අකිලලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ 2020 ජනාධිපති අපේක්ෂකයාත් රනිල් කියලාය. එහෙම නම් එක්සත් ජාතික පක්ෂයේ සිද්ධ වෙච්ච ප්‍රතිසංවිධානයක් නැත. රාජකීය නඩයක් යූ.එන්.පී. නායකත්ව පුටුවලට ආවාට රාජකීය විද්‍යාලයේ ආදර්ශ පාඨය වන ඩිස් අව්ට් ඩිසීඩ් නම් ක්‍රියාත්මක වෙලා නැත. යූ.එන්.පී එක ඇතුළේ අන්තිමට ක්‍රියාත්මක වෙලා තියන්නේ දයාසිරිගේ ඩිස්කේ අම්මට ඩිස්කඩේය.

සදුන් ජීවන්ත

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.