විශේෂාංග

තල මල පිපිලා

තල ගස අසිරිමත් නිර්මාණයකි. එහි විශාලවූ හා උස්වූ කඳ, විශාල පත්‍ර, ගස වර්ධනය වී අවසානයේ එහි විනාශය උදා කරවමින් තල ගසේ පිපෙන අලංකාර තලමල සුවිශේෂි දර්ශනයකි. තලමල තල ගසේ අවසානය හෙවත් විනාශය උදාකරන බැවින් එය සෞභාග්‍යයේ සංකේතයක් නොව ගමක් පාළුවී යාහැකි ඉඟියක් සේ ගැමියෝ සලකති. ගමක එකවර තලමල් හතක් පිපුණේ නම් එය ඉතාමත් අපලකාරි, විනාශකාරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවෙතැයි ජනතාවගේ සිත්හි උපදින්නේ කනස්සල්ලකි. ‘යහපාලන’යද තල ගසක් සේය.

‘යහපාලන’යට අදට හරියටම වසරකි. මාස 12කි. දින 365කි. රොටිත් නැත. තැටිය රත්කල අයත් නැත. වසර 2014 නිමාවූයේ ආප්පයෙනි. 2015 වසර අවසන් වූයේ බ්‍රා එකෙනි. මහින්ද රාජපක්ෂ යුගයට වඩා තෙගුණයක් රට සංවර්ධනය කරන බව කියා පැමිණියද සියගුණයක් රට ආපස්සට ගෙන ගිය වසරකි. වසර 2016 මොකකින් ඉවර වේදැයි සිතීම උගහටය. ප්‍රතිපත්ති සම්පාදනයේදී සහ ක්‍රියාත්මක කිරීමේදී රජය තුළ තවත් රජයකි. කලින් වසරේ පැවති සියයට 7.5 පමණ ආර්ථික වර්ධනය 2015 මුල් මාස9 තුළ සියයට 5.2ක් දක්වා පසුබැස ඇත. විදෙස් මුදල්වලට සාපේක්ෂව රුපියලේ අගය ඩවුන්ද පල්ලම්ය. උද්ධමනය සියයට 50කින් ඉහල ගොස්ය. ආණ්ඩුව කිලිනොච්චියේය. මුදල් ඇමති මැදවච්චියේය. ‘යහපාලන’යේ වාර්ෂික ප්‍රගති වාර්තාව ගැන තවත් අටුවා ටීකා කුමට?

ජනාධිපති තනතුරේ මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දුන්නේ සාම්ප්‍රදායික ලෙස අගවිනිසුරු ඉදිරිපිට නොවේ. අගමැති පත්කළේ පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් හිමි එජාපයෙනි. අගවිනිසුරු මොහාන් පීරිස්, නීතිඥ සංගමයේද සහයෝගය ඇතිව දොට්ට දැම්මේ නරක පූර්වාදර්ශයක් යළි ක්‍රියාවට නගමිනි. මූල්‍ය අපරාධ ඒකකය පිහිටුවීම විවාදිතය. වසරක් ගතවනවිට ‘යහපාලන’ ගින්දර හැමතැනම උඩු දුවමින් යසපාලන ළැව්ගින්නක් වී ඇත. උදාවෙමින් ඇත්තේ අවිනිශ්චිත කාලයකි. ආණ්ඩුව තුළ ආණ්ඩු 2කි. එහෙම පිටින්ම අච්චාරු ආණ්ඩුවකි. දොන් සිමන් දෙකක් කිරීම උගහටය. කැලෑ නීතිය රජවෙමින් පවතී.

මහ මැතිවරණයේදී ශ්‍රිලනිප ජාතික ලැයිස්තුව හයිජැක් කරමින් පරාජිත ඡන්ද අපේක්ෂකයින් 7ක් ඇතුළු 12 දෙනෙකු පත් කළෝය. ජාතික ලැයිස්තුව ජාති(ක) ලැයිස්තුවක් බවට පත්විය. ජනාධිපතිවරණ පරාජයෙන් පසු හිටපු ඇමති දුසිමක් පමණ කියාසිටියේ රාජපක්ෂලා විසින් සන්ධාන ආණ්ඩුවේ ඇමතිවරු වශයෙන් තමනට වැඩකිරීමට නොදුන් අතර තමන් සිටියේ රූකඩ මෙන් බවය. ඔවුහු අද එජාප හවුල් ආණ්ඩුවේ ඇමතිවරුන්වන ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්වන අතර වර්තමානයේද වැඩක් කරන බවත් නොපෙනේ. එයට හේතුව වැඩි බැරි නිසාද හෝ රූකඩයන් පඹයන් බවට පත්වීම නිසාදැයි සැකයකි.

ජනාධිපති මන්දිරයෙන් රන් කඩු සොයා ගත්තේය. පසුව ඒවා තඹ කඩු බව පසක් විය. මන්දිරිය අස්සේ තිබුණායැයි කියූ භූගත මාළිගය සොයා ගැනීමට මාස 10ක් කල්ගත විය. ප්‍රභාකරන්ගේ භූගත මාළිගය සොයා ගැනීමට ගියේනම් වසර 100ක්වත් යනු ඇත. ‘යහපාලන’යට ඥාති සංග්‍රහ අරහං බව කීවේ ඔවුන්ය. වරායේ සභාපතිකම ඇමති අර්ජුනගේ මල්ලි ධම්මිකටය. රක්ෂණයේ ලොක්කෙකු වූයේ රවීගේ මස්සිනාය. ටෙලිකොම් සභාපති අරයගේ අරයාය. මෙය දිග ලිස්ට් එකකි. කුඩු ජාවාරම්කාරයින්ගේ ලිස්ට් තියෙන බව කීවේය. අල්ලපු කුඩු රජෙකුත් නැත. හෙළිකළ දේශපාලන කුඩු මුදලාලි කෙනෙකුත් නැත. ආණ්ඩුවේ විසිල් විතරය. බල්ටි නැත.

සූ ගාලා එනබව කියූ ආයෝජකයෝ වසරක් ගතවන තෙක් පැමිණ නැත. බිස්නස් ඕපන් කරන්නට ආවේ ඉන්දියාවේ ක්‍රිකට් ගැසූ හර්බජාන් සිංය. ආර්ථිකයට උපදෙස් දෙන්නට එන්නේ ඇමරිකාවේ කුප්‍රකට මූල්‍ය ජාවාරම් කරුවෙකුවූ ජෝර්ජ් සෝරෝස්ය. ඉරානය විනාශකල ටෝනි බ්ලෙයාර් දැන් අඹ යාළුවන්ය. ජාතියට සංස්කෘතියට එන පොට හොද නැත. නාගදීපෙ නම ගැසටුවේ වෙනස්ය. රණවිරුවන් ගස්ය. කොටි නිදහස්ය. කොටියට ඕනේ නැගිටින යුගයක්ය. ඒකට ඕනේ මෙහෙම යුගයක්ය.

මානව හිමිකම් දෝරේ ගලා යමින් පවතී. පොලිස් ලොක්කෝ වෝඩ් පෙදෙසේදී බැටන් පොල්ලෙන් සරලව ඔළුවට ගසා ඩ්‍රම්ස් වාදනය කරන හැටි උගන්වනු ලබයි. පොලිස් කොමිසමේ තීරණය අනුව පහර කෑ සිසුවියට වන්දි ගෙවන්නේ ආණ්ඩුවෙනි. එදා කොල්ලුපිටිය පොලිසියේදී විවියන් ගුණවර්ධනට පහර දුන් පොලිස් ස්ථානාධිපතිවරයාටද ගම්පහ සාම විහාරයේ පැවති පැවිදි හඬ සම්මන්ත්‍රණය තහනම් කල පොලිස් අධිකාරි උඩුගම්පොලටද වන්දි ගෙව්වේද ආණ්ඩුවෙනි. මේ දෙක අතර වෙනසක් නැත. සිසුවියට පහරදුන් පොලිස් නිලධාරියා දඬුවමකින් තොරව යළි සේවයේය. පොලිස් කොමිසම කන්දක් විළිලා මීයෙක් වැදුවා හා සමානය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැන් එක්සත් ජාතික පක්ෂයේ අනුරුවක් බවට පත්වී ඇත. ශ්‍රිලනිප හාන්සිය. පළාත් පාලන මැතිවරණයක් තැබුවහොත් නෛතික ශ්‍රිලනිපට අද හිමිවන්නේ තෙවැනි තැනය. ලබන මාර්තු මස පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය ජුලි මාසය දක්වා කල් තබා ඇත්තේ එබැවිනි. ප්‍රජාතන්තවාදය ගැන සටන් කරන බව කියූ ‘යහපාලනය’ පලාත් පාලන ඡන්දය පැවැත්විමට බියවීම හාස්‍යජනකය. ශ්‍රිලනිපයට ක්‍රේන් ගෙන ගොස් අලුතින් බෝඩ් ගැසුවාට වැඩක් නැත. ඩාර්ලි පාරේ දැන් ඇත්තේ නෛතික ශ්‍රිලනිපය වේ. සැබෑ ශ්‍රිලනිපය ඇත්තේ ගමේ ගොඩේ, සිදාදියේ මෙන්ම ප්‍රගතිශීලින් හා දේශප්‍රේමීන්ගේද හදවතේය. ඔවුන් නියෝජනය කරනුයේ අධිරාජ්‍ය ගැති එජාපය නොව මව්බිමට හිතැති දේශප්‍රේමය සහ අධිරාජ්‍ය විරෝධී ප්‍රගතිශීලි ව්‍යාපාරය වේ.

රාජ්‍ය සේවය හබක්ය. විධායක නිලධාරින්ට එදා වසර 30ක් තුළ ලැබූ වාහන පර්මිට් 6ක් වෙනුවට දැන් උපරිම හිමිකම් ඇත්තේ 2කටය. ජනවාරි 1වැනිදා සිට බැදුනු රාජ්‍ය සේවයින්ට විශ්‍රාම වැටුප නැත. තීරු බදු සහිතව රුපියල් 50,000 හිමිවූ යතුරු පැදියට තිත තැබිණි. බැංකුවේ උගසට තියපු රන්බඩුවල පොලිය කැපුන ගනුදෙනුකරුවෙක් සොයා ගැනීම හාවා හඳ දකින්නා සේය. වෙනසක් සෙයූ රාජ්‍ය සේවකයින්ගේ වැටුපට එල්ලූ රුපියල් 10,000 මූලික වැටුපට එක්වූයේ 2,000කි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇද වැටී උවමනාවෙන්ම මියයෑමට සලස්සවා තිබූ රාජ්‍ය සේවය යළි මුදුනට ඔසවා තැබීය. වෙනසක් වෙනුවෙන් රාජ්‍ය සේවකයෝද ‘යහපාලන’ය වැලඳගත්හ. දැන් එයට සිදුවී ඇත්තේ ලිස්සන ගසේ සෙල්ලමය. ඔපදමන්නා කිසිදින මැණිකට හිමිකම් නොකියන බව කියන්නේ මේවාටය.

මහින්ද රාජපක්ෂගේ ඩොලර් බිලියන 12ක ඩුබායි බැංකුවක වත්කම, සීසෙල්ෆ් රටේ රහසිගත බැංකු ගිනුම් සොයාගැනීමද හොද අතේ රෝලකි. හිටපු ජනපතිගේ පවුලේ සාමාජිකයින් පරිහරණයකල බව කියූ උදේට නුවරඑලියේ අශ්වයින් පැදීමට ගිය හෙලිකොප්ටර්ද, ලැම්බෝගිනි කාර්, රත්‍රං අශ්වයින් ගොබෙල්ස්ගේ තියරියන්ය. කොටුවේ නෙළුම් කුළුනේ විදුලි සෝපානයේ ටෙන්ඩර් අවුල විසදූ පසු එය ඕකේය. ගාලු මුවදොර පෝට් සිටිය දැන් ඕකේය. එහි ප්‍රමාදයට චින ආයෝජකයින්ට ගිවිසුම අනුව වන්දිද දැන් ගෙවිය යුතුය. මෙගා ඩීල් කිව්වේ මේවාය.

නව ව්‍යවස්ථාවක් ඇත්තෙන්ම රටට අවශ්‍යද? දැනට පවතින ව්‍යවස්ථාවෙන් ඉටුකර ගත නොහැකි කරුණු කාරණා රට තුළ පවතීද? එසේ නම් ඒ ඒකීයභාවය හෝ බෞද්ධාගමට මුල්තැන දීම ඉවත් කිරීමද? මේ තිස් වසරක දෙමළ බෙදුම්වාදය සුන්නද්දූලි කල රටේ ශක්තිමත් ව්‍යවස්ථාව දියකර හැරීමේ වෑයමකි. ගුරුවරියන්ගේ බුරිය ඉසුරක් බවට පත් කළේය. පෙකනිය පේන ඇදුම් සහ ජංගම දුරකථන භාවිතය තහනම් කලාට ගුරුවරුන්ට හිඟ වැටුප්, නිල නිවාස, ගුරු විවේකාගාර, වැසිකිලි වැනි අවම පහසුකම් හෝ නැත. කථාව දෝලාවෙන්ය. ගමන පයින්ය.

පොහොර සහනාධාරයට පික් පොකට් ගැසුවේය. වී විකුණාගැනීමට බැරිය. ගබඩා පිරිලාය. ගොවියා වී විකිණීම සඳහා ලියාපදිංචි විය යුත්තේ ඉන්ටනෙට් හරහාය. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමෙන් ජාත්‍යන්තර ගුවන් ජාලයන් ඉදිරියේ මත්තල මස්තබාල්දු කළේය. දැන් මීලඟ ජාත්‍යන්තර ගුවන්තොටුපල පලාලිවල ඉදිකරන්නැයි ද්‍රවිඩ සන්ධානයෙන් ඉල්ලීමකි. වී ගොවිතැන ගොවියාට එපා කිරීම සැලසුමේ අරමුණය. එවිට හාල් තොග පිටරටින් ආනයනය කල හැක.

පරික්ෂණ කොමිසමේ ස්වාධීන රූපවාහිනියේ මහින්දගේ ප්‍රචාරක බිල පිළිබඳ චෝදනාව මාර ආතල්ය. තව ටික දිනක් යන විට අයි.ටී.එන් එකට ඇතැම් විට මහින්දට හිඟ මුදලක්ද ගෙවීමට සිදුවනු ඇත. එදා වසරකට පෙර තරගකාරි අංශයෙන් ප්‍රථම නාලිකාවවු ස්වාධීන රූපවාහිනිය අද ඉන්නේ පස්වැනි තැනය. වෙනස මාරය අයි.ටී.එන්. හමාරය. ඇවන්ගාඩ් චෝදනාව මරුය. එයට එරෙහි අය කෑ ගසන්නේ රටේ නීතිපතිගේ තීරණයට එරෙහිවය. තාජුඩීන්ගේ පරික්ෂණ දැන් එරොප්පෙන් එතෙර යාමට සූදානම්ය. තොරණ් ගසා, කොඩි දමා, රබන් වයා, නැටුම් නටා ගෙන ආ ඖෂධ පනතෙන් පැරසිටමෝල් පෙත්තක් හෝ මිල අඩු වුනේ නැත. බිබිලේ ප්‍රතිපත්තියයැයි කීවාට ඖෂධ පනත මළ පනතකි. ෆුල් ෆේස් හෙල්මට් එකෙන් මෙන්ම පාසැල් යුනිෆෝම් එකෙන් සහ දුම් සහතිකයෙන්ද අනාගත්තේය. ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට දමනු ලැබුවේ රට විරුවන්ට අවුරුදු තෑග්ගක් වශයෙනි.

නීතිය ක්‍රියාත්මක වන්නේ දෙවිදිහකටය. එජාප මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මෙහෙයවීමෙන් කළු ඩිෆෙන්ඩරයකින් මහා දවල් පුද්ගලයෙකු පැහැරගෙන, බියවද්දා තර්ජනය කිරීම පිළිබදව සී.සී.ටී.වී දර්ශන සහිතව සාක්ෂි තිබියදී ඇය තවමත් නිදැල්ලේය. කොලොන්නාවේ නිවසක බලහත්කාරයෙන් රැදී සිට එය අල්ලාගත්තා යැයි හිරුණිකාට දැන් තවත් නඩුවකි. ‘යහපාලන’ය වෙනුවෙන් එදා පෙනී සිටි මේ දැරිවි දැන් හැසිරෙන්නේ යස පාලනය කරලියට ගැනීමෙනි. අයවැයෙන් ජාතිය ගොඩනැගීමේ බද්ද වැඩිකිරීම නිසා තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 2කින් ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් මගින් ඊයේ සිට වැඩිකර තිබේ. දැන් පාන් ගෙඩියක මිලද රුපියල් 2කින් මිල වැඩිවනු ඇතැයි වෙළෙදුන් පවසන්නේ එයට යොදන අනිකුත් අමුද්‍රව්‍ය මිලද නව බදු ක්‍රමය නිසා වැඩිවූ බවය. ඒ අනුව භාණ්ඩ මිල ඉහළ යෑම අනිවාර්යය. ජනතාවට වෙනස දැනිලා ඉවරය.

කුමාර් ගුණරත්නම් සිරගත කර මාස දෙකකි. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව සුද්දන්ටද ද්විත්ව පුරවැසිකම් දෙන්නේ උත්සවත්ශ්‍රීයෙනි. ශ්‍රී ලංකාවේ ඉපිද, ශ්‍රී ලංකාවේම අධ්‍යාපනය ලත් දේශපාලන ආරක්ෂාව සඳහා ඕස්ට්‍රේලියානු පුරවැසිකම ලබාගත් කුමාර් ගුණරත්නම්ට තවමත් සපිරි ගෙදරය. දෙනවායැයි කියූ ප්‍රජාතන්ත්‍රවාදය මෙයද? ‘යහපාලන’යේ අපමන අගයක මහිමය. ජවිපෙ දැන් පවසන්නේ පාදඩකරණය වෙනුවට සැබෑ ජනවරමට ගරු කරන ලෙසය. ඔවුන්ගේ හොරු ඇල්ලීමේ කලාව මාධ්‍ය සංදර්ශන සඳහා අළුත් සොයා ගැනීමක් පමණි. ජවිපෙ එදා ඇසුවේ මහින්ද හයිවේ හැදුවේ රත්‍රං වලින්ද කියාය. දවල්ට 5000 කොල වලින් මැල්ලුම් කෑවාද කියාය. ඒ කාලේවත් මෙතරම් ජීවන වියදමක් තිබුණේ නැත. සරසවි ආචාර්යවරු ‘යහපාලන’ය වෙනුවෙන් කරගෙන ගිය අරගලය දැන් රුපියල් 2ට වැටී ඇත. ෆූටා සංවිධානය දැන් හුටා සංවිධානයක් බවට පත්වී ඇත. ලක් ඉතිහාසයේ සිදුවූ දැවැන්ත වංචාව වූ කෝටි 4,280 මහබැංකු බැඳම්කර මගඩිය මාරය.

වසරක් ගෙවී ගියද හරිහමන් විදිහට කාපට් කර පාරක් නැත. විද්‍යාත්මක ක්‍රමයකට පිහිටුවනවා යැයි කියූ 25ක ඇමති මණ්ඩලය දැන් 100කට ආසන්නය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු ඇමති මණ්ඩලය පැදරවීමට තව අවැසි වන්නේ ඇමති ජෝඩු තුන හතරකි. සියළුම ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, කන්කානම් ඇමතිවරුනට වැටුප්, වාහන සහිත කාර්ය මණ්ඩලයකි. සියළු දීමනා සහ වරදාන වලට එක් අයෙකුට වාර්ෂිකව කෝටි ගණනකි. දැන් දියවන්නාවට එනවිටද දවසකට දැනට ගෙවන 500 වෙනුවට රුපියල් 20,000ක් ගෙවන ලෙසට ඉල්ලීමකි. දැන් ලේසිය. දියවන්නාව ඇතුළට ගියේය. ඔළුව නැමුවේය. වාඩිවුනේය. නැගිට්ටේය. ඔළුව නැමුවේය. ටික වේලාවක් කැන්ටිමේ හිද සහන මිලට කාබී පිටව ගියේය. විමධ්‍යගත අයවැයෙන් 1972 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාර්ෂික ප්‍රතිපාදන ඉතිහාසයේ ප්‍රථම වතාවට 2015 වසරේ නොලැබිණි. දින 100 අයවැයෙන් කීවේ මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන ලක්ෂ 100ක් 2015 දෙන බවකි.

වෙලේ මාර්ෂල් නම් කියලා වැලක් නැත. දැන් හතේ හතය. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ වෙල් විදානේගේ පූනූ හැරියේය. පළාත් සභාවල සිටින ඔහුගේ පලා බබාලා පල නොකියා පලා බෙදුවේය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය. සීපා ගිවිසුම වෙනුවට දැන් අත්සන් කරන්නේ ඉන්දු ලංකා වෙළඳ සහ තාක්ෂණික ගිවිසුමකි. එය ඉන්දියානු ව්‍යාප්තවාදයේම දිගුවකි. නමුත් දුක යනු තවමත් එයට එරෙහි වී ඇත්තේ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පමණක් වීමය.

විල්පත්තුව සූරා කන්නේ වෙනින් කවුරුත් නොව ‘යහපාලන’ නැගෙනහිර ඇමැත්තාය. වන සංරක්‍ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත යන සියළු අණ පනත් උල්ලංඝනය කරමින් මෙම ක්‍රියා සිදුකර තිබේ. අයි නෝ ද ලෝ කියා ටෙලි නළුවන් මෙන් හැසිරීමෙන් වැඩක් නැත. විල්පත්තු සංහාරයේ සැඟවුණු අරමුණ වයඹදිග වෙරළ තීරය ආක්‍රමණය කරමින් මුස්ලිම් ජනපද කලාපයක් බිහි කිරීමය. පාරිසරික විනාශය මෙන්ම එහි අනතුරද තේරුම්ගත යුතුය. ගම්පහ රතුපස්වල ජල ප්‍රශ්නය සහ කොස්ලන්ද මීරියබැද්ද නිවාස නාය යෑම පිළිබදව දුන් මැතිවරණ පොරොන්දු තවමත් හමස් පෙට්ටියේය. මහින්දෝදය විද්‍යාගාර වෙනුවට දැන් ඇත්තේ මෛත්‍රී සෙවන නිකේතනයන්ය. මේ යන්නේද උරුලෑවා ගියා පාරේමය.

යහපත් සිතුවිල්ලකට සමවැදෙන විට පබළු වැල භාවිතා කරන විට ආගම් වල හද පතුලේම රැඳී තිබෙන සිරිතකි. බෞද්ධයන්ට එය නව ගුණ වැලය. කතෝලිකයින්ට එය කොන්තය. ඉස්ලාම් භක්තිකයන්ට එය තස්බිය. හින්දු භක්තිකයින්ට එය රුද්‍රාක්ෂ මාලාය. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් පැවසුවේ සංග්‍රාමයට නවගුණ වැල ගෙනයනවා වෙනුවට සංග්‍රාමයෙන් පසු එය ගෙනයන ලෙසය. ආරම්භයේදී සඳහන් කල පරිදි ලොව ලොකුම මල තලමලය. එහි පිපෙන්නේ එක මලකි. අවසානයේ එය පරවන්නේ තල ගසේද කඳ පණුවන් සැදී කුණුවී ඕජස් ගලමින් මහ පොලවටම කඩා හැලීමෙනි. ‘යහපාලන’යද දැන් පිපිනු තල මලක් වැනිය.

ධර්මන් වික්‍රමරත්න

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

Top