ලබන සතියේදී ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකිර්ණය ඉන්දියාවට ලබා දිමට අදාළ ගිවිසුම අත්සන් කිරිමට ආණ්ඩුව තිරණය කර ඇති බව වාර්තාවේ.ඒ අනුව ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි තෙල් ටැංකි 109ක් මේ අනුව 99 වසරක බද්ධකට ඉන්දියාවට ලබා දිමට නියමිතය.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඒ බව සදහන් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර තිබේ.
එම තෙල් ටැංකි 99 වසරක බද්ධකට ඉන්දියාවට ලබා දිමට එරෙහිව පසුගිය අප්‍රේල් 24 වෙනිදින ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සේවකයින් අඛණ්‌ඩ වර්ජනයක් දියත්ක්ල් අතර අවසානයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවකදී අගමැතිවරයා එකග වුයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දිමට ප්‍රථම වෘත්තිය සමිති දැනුවත් කරන බවයි.
ත්‍රිමලේ තෙල් ටැංකි ගැන ටෙරන්ස් වනිගසිංහ තැබු සටහනකී
දෙවන ලෝක මහා සංග්‍රාමය ඇරැඹි සමයේ ශ්‍රී ලංකාද්වීපය යටත් කරගෙන සිටියේ ඉංග්‍රීසි ජාතිකයින් ය. ලංකාව යටත් කරගත් ඔවුහු රටේ පරිපාලනය පහසුව සඳහා පරිපාලන දිස්‌ත්‍රික්‌ක, නගර, පිහිටුවා ගත්හ. එමතුදු නොව ඔවුන්ගේ ආරක්‍ෂාව උදෙසා රටේ මර්මස්‌ථාන වඩාත් තර කළහ. ඔවුන් වැඩියෙන් අවධානය යොමු කළේ ගුවන් තොටුපළවල්, වරායන් හා ආරක්‍ෂක හමුදා පිහිටි ප්‍රදේශයන්ය.
ඔවුන්ගේ සුවිශේෂතම රැකවල වූයේ අප ලංකාවේ ඈත නැගෙනහිර ප්‍රධාන යුද හා වාණිජ නගරය වූ ත්‍රිකුණාමලයටය. ලෝකයේ පිහිටි ස්‌වභාවික, ආරක්‍ෂක වරායන්වලින් ඉහළම තැන හිමි වී තිබුණේ ත්‍රි,මලේ වරායට ය. තුන් පැත්තකින් කඳු වළල්ලකින් වට වී, එක් ස්‌ථානයකින් පමණක් ඇතුළු විය හැකි ත්‍රි,මලේ වරාය, දෙවන ලෝක යුද්ධයේදී වඩාත් ලොවේ අවධානයට ලක් වූ ස්‌ථානයකි. ඉංග්‍රීසීන්ගේ හා මිත්‍ර ජාතීන්ගේ නෞකා රැකවල් කර ගැනීමටද, සතුරු නෞකාවලට මෙම කඳු මුදුන් මත්තේ සිට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කොට විනාශ කිරීමට ද මෙම ත්‍රි,මලය වරාය වැදගත් විය. ගොඩබිම අසලම මීටර් පහළොවට (15) වඩා ගැඹුරු මුහුදක් පැවතීමද වඩා වාසිදායක අවස්‌ථාවක් විය.
මෙම වාසිය ඉංග්‍රීසීන් යොදා ගත්තේ යුද නෞකා රඳවා තබා ගැනීමට පමණක් නොවේ. ඔවුන් තම යුද නැව්වලට, ගුවන් යානාවලට හා තවත් ගොඩබිම වාහනවලට පමණක් නොව මිත්‍ර රටවල නෞකා, ගුවන් යානා සඳහා ඉන්ධන විකිණීමට, ලබා දීමට ඉන්ධන පුරවා ගත් නෞකා රැඳවීමට ද මෙම වරාය මහෝපකාරී විය.
මෙසේ නෞකාවල ඉන්ධන තබා ගැනීම වෙනුවට ඒවා ගොඩබිම ටැංකිවල තැන්පත් කොට සුරක්‍ෂිත කිරීමටත්, පසුව ක්‍රමානුකූලව බෙදා හැරීමටත් සුදුසු යෑයි සිතූ ඉංග්‍රීසිහු 1930 දී පමණ ත්‍රිමලේ වරාය අසළම චීන වරාය ගොඩබිම කැලය අක්‌කර අටසිය පලහ (850) පමණ පෙදෙසක ඉන්ධන තෙල් ටැංකි එකසිය එකක් (101) ඉදි කළහ. ඒවා එසේ මෙසේ ටැංකි නොවේ. අති විශාල දැවැන්ත යකඩ ටැංකිය. මහ කැලයේ ගස් අස්‌සේ ඉදි කළ නිසාම මේවා ගොඩබිමින් එක්‌වරම නොපෙනෙන අතර ඉහළින් අහසේ සිට බැලූ විට පමණක් පෙනෙයි. එසේ නමුත් ඉහළ අහසේ සිට ගුවන් ප්‍රහාරක යානා මගින් පැමිණ මේවාට ප්‍රහාර එල්ල කළ නොහැක්‌කේ වටේටම පිහිටි කඳු වළල්ලේ, කාලතුවක්‌කු අටවා රැකවල් කර ඇති නිසාවෙනි. ඉංග්‍රීසීන්ගේ යුද සංග්‍රාමික උපක්‍රමයන් කෙතරම් සුක්‍ෂ්ම වීද යන්න මින්ම පැහැදිලි වෙයි.
මෙම ටැංකිවල ඉදිකිරීම් ඉංග්‍රීසීන් සතු ඉංජිනේරුමය, තාක්‍ෂණමය දැනුම, අවබෝධය මොනවට ඔප්පු කරයි. ඔවුන්ගේ ඉදිකිරීම් අති විශිෂ්ටය. දුෂ්කර කඳු කැලයක ඔවුන් මෙම ටැංකි හා ඊට සම්බන්ධ නළ, බෙදා හැරීමේ ක්‍රමවේද, මාර්ග ජලාපවහන ක්‍රම, නඩත්තුව කෙසේ සිදු කළා දැයි සිතීමත් අසීරු කරුණෙකි. කෙසේ නමුත් ඔවුන් මේ සියලු බාධක ජයගෙන ආසියාවේ ප්‍රමුඛතම ඉන්ධන බෙදාහැරීමේ මධ්‍යස්‌ථානයක් පිහිටුවා ගත්තේ ලොවටම විශ්මයක් වන පරිද්දෙනි.
ඔවුන් මෙම ඉදිකිරීම් කර ඇත්තේ අපූර්ව ආකාරයෙනි. මෙම කැලය පුරා, දැවැන්ත තිරුවානා ගල් සහිත කඳු ශිඛර පිහිටා තිබෙන අතර ඒවා මඟහරවා, ඒවායින් ද තෙල් ටැංකිවලට ආරක්‍ෂාවක් ලැබෙන සේ ටැංකි ඉදි කරවා ඇත.
ප්‍රථමයෙන් මෙලෙස හඳුනාගත් ස්‌ථාන ලකුණු කොට එම භූමිය අඩි එකසිය පනහක (150) පමණ වට ප්‍රමාණයක පස් අඩි තිහක් (30) පමණ යටට කපා ඉවත් කොට තිබේ. එම ඉවත් කරන පස්, නැවැත රවුම් හැඩයට අඩි තිහ (30) ක් පමණ උසට දළ බෑවුම් සහිතව ගොඩ ගසා ආරක්‍ෂක වළල්ලක් තනා ඇත. එනිසා පිටතින් ගොඩබිමින් සතුරු වෙඩි ප්‍රහාරවලින් ටැංකි ආරක්‍ෂා වනවාට අමතරව මිනිසෙකුට හෝ වන සතෙකුට වල් අලියෙකුට මෙම දළ බෑවුම් හැඩැති කන්ද නැග ඒමටද දුෂ්කර කාරියක්‌ම වෙයි. වඩාත්ම ආරක්‍ෂාදායී ක්‍රියාව වනුයේ හදිසියේම එක් ඉන්ධන ටැංකියක්, පුපුරා හෝ බෝම්බ දමා ගිනි ඇවිළුණ හොත් මෙම පස් බැමි වළල්ල නිසා අවට අනිකුත් ටැංකිවලට ගිනි ඇවිළ නොයැමයි. පැතිරී නොයැමයි.
ඉන් අනතුරුව සාදාගත් භූමිය පත්ලේ යකඩ හා කොන්ක්‍රීට් සවිවර පාදමක් දමා ඒ මතුපිට යකඩ ආස්‌තරණයක් එළා ඒ මත්තේ අඟලක් ඝණකම් යකඩ තහඩු රැසක්, රවුමට හා අනුපිළිවෙළට රිවට් ක්‍රමයට අඟල් දෙකක පමණ විශ්කම්භය ඇති යකඩ ඇණ, අඟලෙන් අඟලට වද්දවා, ඇණ දහස් ගණනක් එක ටැංකියක් ඉදි කිරීම සඳහා භාවිත කර ඇත. ඒවා සවිකිරීම පිළිවෙළය. ක්‍රමානුකූලය. එසේම ස්‌ථාවර ය. ශක්‌තිමත් ය. ඉන් අනතුරුව පිටවුම වා සිදුරු කපොලු ඇතිව යකඩ තහඩුවෙන් චාප හැඩැති වහළ ඉදිකර ඇත. වැසි ජලය නොරැඳීමට එසේ කර ඇත. ඉන්ධන ඇතුළු කිරීමට ද, පිටතට ගැනීමටද ගණකම් කාස්‌ට් අයන් (CASTIOR) නළ යොදා ඇත. ඉන්පසු මළ නිවාරණ තීන්ත ආලේප කොට (NUNIBERINA) අංකනය කොට තිබේ.
ටැංකි ගණන එකසිය එකකි. (101) සිලින්ඩරාකාර ටැංකියක ධාරිතාව මෙට්‌රික් ටොන් 12500 කි. ටැංකි පද්ධතිය තුළ ඉන්ධන ලීටර් එක් කෝටිය ඉක්‌මවා ගබඩා කළ හැක. ටැංකියේ උස මීටර 14.5 කි. (දාහතර හමාරකි) ටැංකියේ විෂ්කම්භය මීටර් 35 (තිස් පහක්) වන අතර පරිධිය මීටර් 110 (එකසිය දහය) කි. පොම්ප පද්ධතියේ දිග කිලෝමීටර් දෙකකි. භූ ගර්භය තුළ නල එළා තිබේ. එකල මෙම ටැංකි ආරක්‍ෂාව සඳහා කඳු මුදුන්වල කාලතුවක්‌කුද? මහ මුහුදේ පෙර මග නැව්බල ඇණිද ගැඹුරු මුහුදේ සබ්මැරීනද, ටැංකි භූමි භාගය තුළ සෙබළුන් සහිත දැඩි ආරක්‍ෂාවද පවත්වා ගෙනගොස් ඇත.
ඒ කොපමණ රැකවල් කළ ද ජපනාගෙන් නම් අස්‌වැසිල්ලක් ලැබුණේම නැත. විටින් විට පහර එල්ල කිරීමට ගුවන් ප්‍රහාරක යානා පැමිණිය ද ඒ හැම විටකම ඉංග්‍රීසීන්ගේ කාලතුවක්‌කු හා නාවුක නෞකාවල කාලතුවක්‌කු ප්‍රහාරයන්ට ලක් වීමට ඔවුනට සිදු විය. එසේ ද වුවත් කොළඹට බෝම්බ හෙළීමට පැමිණි ජපනුන්ගෙන් “ෂීගනෝරී වටනබේ ගෝටෝ” හා සුටෝමු ටොෂිරා” යන දෙදෙනා 1942 අප්‍රේල් මස 09 වන දින 7.20 පැයට සිය ගුවන් යානය සමග අංක 91 (අනු එක) දරණ ටැංකියට කඩා වැදුණහ. ඔවුන් දෙදෙනා සමගම ගිනි ජාලාවක් මතු විය. ඔවුන් දෙදෙනා ඉන්ධන සමඟ දැවී අළු වී, නිල් අහසට කළු දුමාරයක් ද සමග නැඟුණි. එම ගින්න දින හතක් තිස්‌සේ ඇවිළුණු බව සඳහන්ය. ජපනා, සුද්දාට අභියෝග කළේ එසේයි. ඉන්පසුවද 1960 දී රාජකීය ලංකා ගුවන් හමුදාවට අයත් යානාවක් කඩා වැටී තව ටැංකියක් විනාශ වී ඇත. කෙසේ වෙතත් සුද්දාගේ ඉංජිනේරු තාක්‍ෂණයේ මහිමයෙන් අදටත් තවමත් ටැංකි අනූනවයක් (99) නිරුපද්‍රිතව තිබේ. සුද්දා එකලත් සිය ගාම්භීර හා නිර්භීත සෙබළුන් යොදවා, ආයුධ භාවිත කොට මේවා රැකවල් කළ අයුරු සිහියට නැඟෙයි. ඔවුන් ඒ සඳහා මහා දුක් කන්දරාවක් ම උසුලන්නටද ඇති ය.
දැනට මේ ටැංකි එකසිය එක (101) ම මහ වනයේ හුදෙකලාව “යකඩ භූතයින් සේ සැඟ වී සිටී. අවුවට වැස්‌සට පින්නට මේ භූතයා තවමත් මෙල්ල කිරීමට හැකියාවක් නැත්තේ ඒ තරමටම එහි පවත්නා සවි ශක්‌තිය නිසාමය. එහෙත් කවදා හෝ ඒවා දිරාපත් වනු නියතය. ඊට කලින් එයින් ඵල ප්‍රයෝජන ගත යුතු නොවේ ද? ටැංකි 15 ක් දැනට ඉන්දියන් ඔයිල් සමාගම (IOC) බදු ගෙන ඇත.
යුද සමයේ ඉදිකළ මෙම ටැංකි නඩත්තු කිරීමට වත් තවමත් අපට නොහැකිය. අප තවමත් පසුගාමී බඩගාමී සංවර්ධනයක කුසීත උරුමක්‌කාරයෝ වෙමු. මේවාට ඉන්ධන පුරවා ආසියාතික අසළ රටවලටවත් අඩුම තරමේ බෙදා දීමට අපට මූල්‍ය සැළසුම් නොමැත. ක්‍රමවේද නැත. ජාලගත ජාත්‍යන්තර බෙදා හැරීම් ව්‍යාපෘති නැත. අවසන අපට මුදල් ද නැත. අප රටට සිටින්නේ කම්මැලි තුසීත මිනිසුන්, ගැහැනුන් පමණි.
ලොව බලවතා වන ඇමෙරිකාවද අසල්වැසි ඉන්දියාවද මේ වරාය, ඉන්ධන ටැංකි දෙස නෙත් හෙළයි. කෙළ හළයි. ඒවා අල්ලා ගැනීමෙන් මුළු මහත් ආසියාකරයටම තර්ජනාංගුලිය එසවීමට, හැකි බව දෙරටම දනී. චීනය ද මේ සඳහා බොහෝ සේ දත කෑවේ ය. ඒ බව දන්නා ඉන්දියාව අන් අයගේ ආගමනය සුන්කර දමයි. අපේ රට අත උඩින් මේ ගනුදෙනුවට කැමැති මුත් බලවතුන් වන ඇමරිකාව, චීනය තම රටවලට තර්ජනයක් වනවාටත් රෙද්ද අස්‌සේ නයි දමා ගැනීමටත් ඉන්දියාව අකැමැති ය. අපේම ටැංකි හා වරාය අපටම මාරකයක් වී ඇත්තේද මේ බල අරගලය නිසාවෙනි. හෙට දවසේත් ඒ තර්ජනය එයාකර මය.
එසේ වුවද අපේ මහවුන් මෙම සම්පත් කුණු කොල්ලෙට පිටරටුනට (සම්තින් රැගෙන ) ලබා දීමට කැමැතිය. රුපියල් දාහ (1000) ට විකුණා රුපියල් 1000 ක් රටටත්, රුපියල් කෝටියක් තම සාක්‌කුවට දමා ගැනීමටත් ඔවුන් සමත් ය. රට විකුණන ඔවුනට නාඩාර්ලාට යකඩ ටැංකි විකිණීම කජ්ජක්‌ද?