ලෝකයා

තාත්ත වල් අස්සයෙක්,අම්ම බූරු දෙනක් නං… “මං යූඇන්පී එකේ නායකයා වෙනවා”

ළමයින්ට තේරෙන දේශපාලනයක් නැතත් බොහෝ දේශපාලකයෝ ළමුන් වඩාගැනීම ප්‍රිය කරති. එය අයහපත් දෙයක් නොවේ. නමුත් දරුවන් සිටීම සහ නොසිටීම මත දේශපාලනඥයකුගේ සාර්ථකත්වය තීරණය කළ නොහැක. සියලු දරුවන්ට ආදරය කිරීම නම් යහපත් දේශපාලනඥයකුගේ ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය. ළමයින් වඩා ගන්නේ නැතිය යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනාවක් විය. එතුමන්ගේ උපදේශකයන් එතුමන්ට උපදෙස් දෙන ලද්දේ මීළඟ රැස්වීමේදී ළමයකු වඩාගෙන ළමයින් වඩා ගැනීම ආරම්භ කර මෙම චෝදනාවෙන් මිදෙන ලෙසය.  මේ උපදෙස තරයේ සිතටගත් එතුමා කෙහෙල්වත්තේ පැවැත්වෙන ඊළඟ රැස්වීමේදීම ළමයකු වඩාගෙන මේ චෝදනාවෙන් මිදීමට අදිටන් කරගත්තේය. මේ කියන සිද්ධිය සිදුවූයේ 2005 ජනාධිපතිවරණ සමයේදීය.

රැස්වීම පවත්වෙන දින කල්තබාම වේදිකාව අසලට පැමිණි වික්‍රමසිංහ මහතා වේදිකාව අසළ සිටි වයස අවුරුදු හය හතක හුරුබුහුටි කොලුපැංචෙකු වඩාගෙන වේදිකාවට ගොඩවූයේ පාක්ෂිකයන්ගේ ඔල්වරසන් හඬ මැදය. වික්‍රමසිංහ මහතා කොලුවා ඇකයේ හිඳුවාගෙනම අසුන්ගත්තේය. වික්‍රමසිංහ මහතා වෙත කොලුවා පැවසුවේ “අපේ තාත්ත අලියෙක් නං අපේ අම්ම ඇතින්නක් නං මම අලි පැටියෙක් වෙනව” කියාය. වික්‍රමසිංහ මහතාගේ සහ වේදිකාවේ සිටි පිරිසගේ සතුට නිම්හිම් නැතිවිය. කොලුවා කටකාරයෙකි. ඊළඟට කොලුවා පැවසුවේ “අපේ තාත්ත මොණරෙක් නං  අපේ අම්ම සෙබඩක්  නං මම මොණර පැටියෙක් වෙනව” කියාය. පිරිස ප්‍රීතියට පත්කරමින් කොලුවා තමන්ගේ තාත්තා එක් සතෙකුටත් අම්මා එම වර්ගයේම ගැහැණු සතෙකුටත් තමා ඔවුන් වෙතින් බිහිවන එම වර්ගයේම පැටියෙකුටත් සමාන කරමින් තොරතෝංචියක් නැතිව කළ කතාව ටික වෙලාවකින් මහා කන්දොස්කිරියාවක් විය.

මින් කෝපයටපත් වික්‍රමසිංහ මහතා කොලුවාට යස පාඩමක් උගැන්වීමට සිතා “බොල කොලුවො, උඹලගේ තාත්ත වල් අස්සයෙක් නං උඹලගෙ අම්ම බූරු දෙනක් නං උඹ මොකෙක්ද වෙන්නෙ?” කියා ඇසීය. එක්වරම කොලුවාගේ කට වැසිණි. කොලුවා කල්පනාවට වැටිණි.

“මං යූඇන්පී එකේ නායකය වෙනව” යැයි එක්වරම කොලුවා මහ හඬින් පිළිතුරු දුන්නේය. වේදිකාව  සිනා සපිරි සතුටු සාගරයක්ම විය.

කොලුවාගේ අය්යලා පාඩම් කරණ විට අශ්වයාට ජාතකව සහ බූරු දෙනට ඉපදෙන සතා කොටළුවා බවත් කොටළුවාට අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහිකිරීමට නොහැකි බවත් කතාවෙනවා කොලුවාට ඇසී තිබිණි. අන්තර් අභිජනනයෙන් සරු ජනිතයන් බිහිකිරීමට බැරි කතාව ගැන කොලුවා අය්යලාගෙන් ඇසුවත් අය්යලා දුන් පිළිතුර වූයේ “ ඌට හදන්න බෑ බං” යන්න පමණි.

ඔය රැස්වීමෙන් පසු  කවදාවත්  රනිල් වික්‍රමසිංහ මහතා ළමයින් වඩා ගන්නට යන්නේ නැත.

විශේෂ ලියුම්කරු  

Top