Breaking
22 Feb 2025, Sat

දහසය දෙනා මහින්ද හා මෛත්‍රිපාල

Published on: Jun 16, 2018- දහසය දෙනාගේ කණ්ඩායමට ඇතැමුන් විවිධ කොන්දේසි දමන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුවේ සිටි බව ඇත්ත. එහෙත් ඔවුන් එ ජා පෙරමුණටවත් එ ජා පක්‍ෂයටවත් ගියේ නැහැ. ඔවුන් 2015 අගෝස්තුවේ තරග කෙළේ අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අය මෙන් ම සංධානයෙන්. එකලත් ජනාධිපති මෛත්‍රිපාල සිිරිසේන. එහෙත් ඔවුන් තරග කෙළේ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන්.

ඔවුන් ඊට පසු ඊනියා ජාතික ආණ්ඩුවට එකතු වුණා. ඒ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් ලෙස. එය නීත්‍යානුකූල නැහැ. ඔවුන් පාර්ලිමේන්තුවට පත් වූයේ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් ලෙස නොවෙයි. ඊනියා ජාතික ආණ්ඩුව ම අප බොහෝ වතාවල කියා ඇති පරිදි නිත්‍යානුකූල නැහැ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය එය ගණන් ගත්තේ නැහැ. ඔවුන් සිතා සිටියේ ඔවුන්ටත් පාර්ලිමේන්තුවේ පක්‍ෂ කණ්ඩායමක් හැටියට පිළිගැනුමක් ලැබේවි කියා. ඒ නිසා දෝ ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුවට නීතිය අනුව විරුද්ධතාවක් පෑවේ නැහැ.

එහෙත් කරු ජයසූරිය ඊනියා ජාතික ආණ්ඩුවේ පක්‍ෂයක් ලෙස සංධානයෙන් තරග කළ ශ්‍රී ල නි ප මන්ත්‍රීන් හතළිස් පස්දෙනකුගේ ශ්‍රී ල නි පක්‍ෂය පිළිගත්තත් සංධානයෙන් ම තරග කළ ඒකාබද්ධ විපක්‍ෂයේ අය කණ්ඩායමක් ලෙසවත් පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළා. පාර්ලිමේන්තුවේ කටයුතු අධිකරණයේ ප්‍රශ්න කළ නොහැකි බැවින් ඒකාබද්ධ විපක්‍ෂයේ විරෝධතාවක් නැතිව අර මන්ත්‍රීවරුන් හතළිස්පස් දෙනා ඊනියා ජාතික ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ලෙස ක්‍රියා කළා.

එහෙත් ටික කලකින් මේ නීත්‍යානුකූල නැති ඊනියා ජාතික ආණ්ඩුව රනිල්ගේ ආණ්ඩුව හා මෛත්‍රිපාලගේ ආණ්ඩුව වශයෙන් කොටස් දෙකකට කැඩුණා. මේ විරසකය මෝරා යෑමේ ප්‍රතිඵලයක් ලෙස අර මන්ත්‍රීවරුන් හතළිස්පස් දෙනාගෙන් දහසය දෙනකු ආණ්ඩුවෙන් අස් වී විපක්‍ෂයට ගියා. එය මෑත ඉතිහාසයේ සිදු වූ යහපත් ම පෙරළිය. ඔවුන් දහසය දෙනා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් වීම අවශ්‍ය නැහැ. ඔවුන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීම ප්‍රමාණවත්.

ඔවුන්ගෙන් ඒකාබද්ධ විපක්‍ෂයේවත් පොදුජන පෙරමුණේවත් සාමාජිකයන් වන සේ ඉල්ලා සිටීම අනුවණ කමක්. ඒකාබද්ධ විපක්‍ෂයට ඊනියා ජාතික සංවිධායකයකු සිටියත් එය ජතික දේශපාලන පක්‍ෂයක් නො වෙයි. එය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන පක්‍ෂයක් ලෙස ලියා පදිංචි කර නැහැ. දහසය දෙනා ඒකාබද්ධ විපක්‍ෂයේ සාමාජිකයන් වීම අවශ්‍ය නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය යනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයක් පමණයි.

අනෙක් අතට ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනා පොදුජන පෙරමුණේ සාමාජිකයන් නො වෙයි. එබැවින් දහසය දෙනාට පොදුජන පෙරමුණේ සාමාජිකයන් වෙන්න කියන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුනුත් පසුගිය පෙබරවාරි මැතිවරණයේ දී පොදුජන පෙරමුණේ වේදිකාවේ කතා කිරීම පොදුජන පෙරමුණටවත් ශ්‍රී ල නි පක්‍ෂයටවත් සංධානයටවත් ප්‍රශ්නයක් වී නැහැ.

දහසය දෙනාගේ කණ්ඩායම මෛත්‍රිපාල ජනාධිපති ලෙස තබාගෙන මහින්ද අගමැති කරන්න සූදානම්. එය හොඳ ප්‍රවණතාවක්. ඒකාබද්ධ විපක්‍ෂය එයට අකුල් නොහෙළා අවශ්‍ය සෑම ආධාරයක් ම දිය යුතුයි. මේ ආසන සංවිධායකකම් ගැන හිතීමට කාලය නො වෙයි. අද ප්‍රධාන කටයුත්ත දැනට අවුරුදු තුනකට පමණ පෙර මෙන් ම රනිල් අගමැති කමෙන් ඉවත් කර මහින්ද අගමැති කිරීමයි. අද ඒ සඳහා ප්‍රායෝගික ව අවස්ථාවක් ලැබී තියෙනවා.

2019ක් ගැන අද කල්පනා නොකර අද කළ යුතු දේ අද කළ යුතුයි. විස්ස පරාජය කිරීමටත් රණවිරුවන් ආරක්‍ෂා කරගැනීමටත් තවත් දේටත් රනිල් ඉවත් කර මහින්ද අගමැති කිරීම පොදු සාධකයක් වෙනවා. ඒ සඳහා ආධාර නොකර දහසය දෙනා මන්ත්‍රීකම් ගැනීමට ආපසු ඇවිත් ආදී වශයෙන් කීම අද අවශ්‍ය දේ කර ගැනීමට බාධාවක් වෙනවා.

ඒකාබද්ධ විපක්‍ෂයේ කී දෙනෙක් කිසි දා පක්‍ෂ මාරු කර නැත් ද? ඔවුන් අතර මුල දී එ ජා පක්‍ෂයේ සිටි අය මෙන් ම කලක දී එ ජා පක්‍ෂයට ගොස් ආපසු පැමිණි අය ද ඉන්නවා. ඔවුන් තම අතීතය පොඩ්ඩක් මතක් කර ගන්නවා නම් හොඳයි. ඒ සමහර අය මෙන් නොව මේ දහසය දෙනා 2015 අගෝස්තු මාසයේ සංධානයට හෝ ශ්‍රී ල නි පක්‍ෂයට හෝ විරුද්ධ ව මැතිවරණයට ඉදිරිපත් වුණේ නැහැ.

අද දහසය දෙනාගෙන් බලාපොරොත්තු විය යුත්තේ හැකි ඉක්මණින් මෛත්‍රිපාල කැමති කරවා ගෙන මහින්ද අගමැති ලෙස පත්කර භාරකාර සම ආණ්ඩුවක් පිහිටුවීමයි. ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනා එයට එකඟ ය යනු මගේ විශ්වාසයයි. ඉතිරි කිහිප දෙනා ද එයට එකඟ කර ගැනීම දහසය දෙනාගේ ද ඒකාබද්ධ විපක්‍ෂයේ බහුතරයේ ද කාලීන කර්තව්‍යය වෙනවා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.