Breaking
24 Feb 2025, Mon

දහ අතේ කෙප්ප කෙලින,රට පාවාදෙන, මංගල අස් නොකරන්නේ ඇයි?

මංගල සමරවීර විදේශ ඇමති. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති. රනිල් වික්‍රමසිංහ අගමැති. මේ තුන් දෙනා විදේශ විනිසුරුවන්, දෙමුහුන් විනිසුරුවන්, ගැන කියන්නේ එකක් ම ද?. ඒ සියල්ල ඇත්ත විය හැකි ද? ඒ සඳහා ඉඩකඩක් තිබේ ද? මෛත්‍රිපාල නම් කියන්නේ විදේශ විනිසුරුවන් පත් නොකරන බවයි. රනිල් කියන එකෙහි තේරුම විදේශ විනිසුරුවන් පත් කිරීමට ඉඩක් නැති බවයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විදේශ විනිසුරුවන් පත් කිරීමට නොහැකි බවයි. ඒ දෙදෙනා ම තම ප්‍රකාශ කරන්නේ ලංකාවේ දී. මංගල ජෙනීවා ගොස් කියන්නේ ගිය වසරේ ආණ්ඩුව අනුග්‍රහය දැක් වූ ඊනියා ජාත්‍යන්තර යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවුරුදු දෙකක් කල් දිය යුතු බවයි. වෙනත් වචනවලින් කිවුවොත් විදෙස් විනිසුරුවන් පත් කිරීමට තව අවුරුදු දෙකක් කල් දිය යුතු බවයි. එංගලන්තය එයට එකඟයි. දෙමළ ජාතික සංධානය නම් එකඟ නැහැ. ඔවුන්ට දෙමුහුන් අද ම ඕන.

දැන් කාට හරි හිතෙන්න පුළුවන් මංගල ජෙනීවා ගොස් ආණ්ඩුවට විරුද්ධ මතයක් ප්‍රකාශ කර ඇතැයි කියා. එවිට ප්‍රශ්නය වන්නේ එහෙනම් මංගල තව දුරටත් විදේශ ඇමති ලෙස රඳවා ගෙන සිටින්නේ ඇයි ද යන්නයි. ඇමතියකුට ජාත්‍යන්තර මණ්ඩලයක ආණ්ඩුවට විරුද්ධ මතයක් ප්‍රකාශ කළ හැකි ද? ඊනියා කැබිනට් සාමූහික වගකීම මංගලට අදාළ නැද්ද? ජාත්‍යන්තරයට බොරු කියා ඔවුන් රැවටිය හැකි ද? මහින්ද ජාත්‍යන්තරයට බොරු කිවුව කියලා නේ චෝදනා කරන්නෙ.

මෙහි දී කරුණු දෙකක් සඳහන් කළ යුතුයි. එකක් මහින්ද ගැනයි. මහින්ද 13+ දෙන බවට විවිධ අයට පෙරොන්දු වුණු බව කියනවා. විශේෂයෙන් ම ඔහු ම ඉන්දියාවට ඒ පොරොන්දුව දුන් බව කියනවා. 13 දෙන බවට පොරොන්දුවක් වූ බවත් කියනවා. 13 දෙන බවට පොරොන්දු නොවී නම් ඉන්දියාව කොටි පරද්දන්න උදවු නොදීමට තිබූ බව කියන දේශපාලන විචාරකයන් ද සිටිනවා. ඉන්දියාව කොටි පරද්දන්න උදවු නොදීම හෝ දීම හෝ කියන්නේ කුමක් ද? ඉන්දියාව ප්‍රභාකරන් නිදහස් කිරීමට බල කිරීම ද?

ඒ අවස්ථාවේ එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන් තකහනියක් ලංකාවට ආවේ කොටි පරද්දන්න එපා කියන්න. එහෙත් මහින්ද සිංහල ජනමතය සමග සිටියේ ඉතා ශක්තිමත් තැනක. ඔහු විදේශ ඇමතිවරුන් දෙදෙනා ඇඹීලිපිටයට ගෙන්නා ආපසු ඇරියා. ඇතැමුන් ඒ වෙලාවෙ මහින්ද රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් දන්නේ නැතැයි කියමින් දොස් පැවරුවා. ඉන්දියාව කොටි පරාද කරන්න එපා කියලා කිවුව නම් මහින්ද ඒ වෙලාවෙ එහෙයි කියාවි ද? එංගලන්තයයි ප්‍රංශයයි කිවුවට පස්සෙත් හිස නොනැමූ මහින්ද ඉන්දියාවට හිස නමයි ද? මහින්ද පිටුපස සිංහල ජනතාවගෙන් ඉතා වැඩි පිරිස සිටියා. එය ඔහුගේ ශක්තිය වුණා. ජාත්‍යන්තර දේශපාලනයේ දී ජාතියෙන් ලැබෙන ශක්තිය ගැන බටහිර දේශපාලන විද්‍යාඥයන්ට තේරුමක් නැහැ. ඔවුන් දන්නේ වෙන රටවල් ක්‍රියාකරන විධිය පමණයි. ඒවා බලපාන්නෙ අප නිවට නම්. නිවට කරණැවෑමියා දුටුවම එළුවත් නිකට පානවළු! සිංහල සංස්කෘතිය ගැන මෙළෝ හසරක් නොදන්න විචාරකයන්ට ඒක තේරෙන එකක් නැහැ. ඉන්දියාවට ප්‍රභාකරන් ඝාතනය කිරීමේ වුවමනාව තිබුණ. ඒ රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන්. ප්‍රභාකරන් පිටුපස බටහිරයන් සිටි බව ඉන්දියාව දැන සිටින්න ඇති. ඉන්දියාවට ඉන්දියන් සාගරයේ බලවතුන් අවශ්‍ය නැහැ. ඉන්දියාව ප්‍රභාකරන්ටත් මහින්දටත් විරුද්ධයි. ඉන්දියාව ප්‍රභාකරන් පරද්දන්න විරුද්ධ නූණෙ දහතුන දෙනවයි කිවුව හින්ද නො වෙයි. කොහොමත් මහින්ද ලව්ව දහතුන හරි 13+ හරි දෙනවයි කියෙව්වෙ කවුද? ඔහු වටා සිටි උපදේශකයන්, විදේශ ඇමතිවරුන්, තානාපතිවරුන්, දේශපාලන විශාරදයන් කවුද? දහතුන දෙනවයි කීම ගැන ඔවුන් වග කියන්න ඕන. එහෙම කියලා තිබුණත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ ඒ ඔක්කොම ඉවරයි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙත් දහතුන ගැන කියෙවුව අය අප හඳුනගන්න ඕන.

දෙවැනි කරුණ තමයි ඒකාබද්ධ විපක්‍ෂෙ ජාත්‍යන්තරයට දෙන තැන. පහුගිය දා ජී එල් පීරිස් කියලා තිබුණා පළාත් පාලන මැතිවරණ පැවැත්වීම දිගින් දිගට ම කල් දැම්මොත් යුරෝපා සංගමයට ගිහින් කියනව කියලා. මේ මනුස්සයා ගැන විශ්වාසයක් තබන්න පුළුවන් ද? ඒ වැඩෙන් වෙන්නෙ ජාත්‍යන්තරයට අපේ රටට ඇඟිලි ගහන්න තව තවත් අයිතිය ලබා දෙන එක. අද කළ යුතුව ඇත්තේ ට්‍රම්ප් හමු වී අපේ රටට ඇඟිලි ගැසීමෙන් වැළකී සිටිමට කීම බව අප කීහිප වතාවක් ම කියා තිබෙනවා. මේ ජී එල් ම තමයි පහුගිය දවසක සමගාමී ලැයිස්තුව ඉවත් කරන ලෙසට ලිපියක් භාර දුන්නෙ. අපේ ප්‍රශ්න විසඳන්න කියන්න අප ජාත්‍යන්තරයට, එනම් බටහිර රටවලට යන්නෙ අහවල් එහෙකට ද? චන්ද්‍රිකා එක්ක පැකේජ් ගිය අය දැන් තමන් බලය බෙදීමට විරුද්ධය කියාත් එසේ කරන්නේ ඇයි කියාත් පිළිගත හැකි ප්‍රසිද්ධ ප්‍රකාශ කරන තෙක් ඔවුන් ගැන විශ්වාසයක් නොතැබිය යුතුයි.

මංගල කල් ඉල්ලන්නේත් එංගලන්තය කල් දෙන්නේත් බැලූ බැල්මට ආණ්ඩු විරෝධී ප්‍රකාශ කරන මංගල ඇමති මණ්ඩලයෙන් අස් නොකරන්නේත් නොදැන වෙන්න බැහැ. මේ සැලැස්ම නව ව්‍යවස්ථාවක් ගෙනැල්ල ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යයත් අයින් කරල විදේශීය විනිසුරුවන් ගේන්න වෙන්න පුළුවන්. ඒ සඳහා කල් අවශ්‍ය බව ආණ්ඩුව එංගලන්තයට කියන්න ඇති. අද අර සිවල් සමාජ කැරොල් කරත්තය නැවත වැඩ පටන් අරන්. ඔවුන් නව ව්‍යවස්ථාවක් සඳහා ජාතික ව්‍යාපාරයක් හදලා. ජාතික ව්‍යාපාරය කියන එක අද කිසිම වටිනාකමක් නැති දෙයක් බවට පත් වෙලා. එහි මුල ඇත්තේ සිංහල ජනතාව රැවටීමට ත්‍රස්තවිරෝධී ජාතික ව්‍යාපාරය හදපු රතන හාමුදුරවන් හා චම්පක.

නව ව්‍යවස්ථාවක් ගෙනාවත් නැතත් ආණ්ඩුව විදෙස් විනිසුරුවන් පත් කරන්න පුළුවන් විධියට ව්‍යවස්ථාව සංශෝධනය කරන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එවිට මංගල හා රනිල් කියන්නේ දෙකක් නොවන බවත් මංගල අස්කිරීමට අවශ්‍ය නැති බවත් පැහැදිලි වෙනවා. එතකොට මෛත්‍රිපාල ආණ්ඩුවේ ද කියලා අහන්න වෙයි! අප මේ සියල්ල ගැන ජනතාව දැනුවත් කරමු.
නලින් ද සිල්වා

2017 මාර්තු 16

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.