Breaking
23 Feb 2025, Sun

දැන් නාටකය හමාරයි….සිරා හමාරයි… බොරුවට අස්වෙන එවුන්ට එරෙහිව කොස්ස අතට ගනු

අද අප කතා කරන්නේ පීරිස්ලා දෙදෙනකු ගැන. එක් අයකු අශෝක පීරිස්. අනෙක් අය ගාමිණී ලක්‍ෂමන් පීරිස්, බොහෝ දෙනා දන්නා විධියට ජී එල්. දෙදෙනාම නාට්‍යයක් රඟ දැක්වීමක්, රංගනයක් අවසන් කිරීමට කටයුතු කළා. මා ජී එල් හෙවත් ලක්‍ෂමන් අවුරුදු හැටක් පමණ දන්නවා. අශෝක අවුරුදු හතළිහකට පමණ පෙර පේරාදෙණියේ දී මගෙන් ගණිතය ඉගෙන ගත් බව කියැවෙනවා. ඔහු පහෙන් තුනක් යනු බහුතරයක් බව දන්නවා. ෆයිසර් මුස්තාෆා මොනවා ඉගෙන ගත්තා දැයි දන්නේ නැහැ. ඔහුට අංක ගණිතය බැරි බව තේරෙනවා. විනිසුරුවන් පස් කට්ටුවක සභාපති ඇතුළු තුන්දෙනකුගේ එකඟත්වයෙන් දෙන තීන්දු ඔහු නීතිඥයකු ලෙස පිළිගන්නවා දැයි දන්නේ නැහැ. සමහරවිට සුමන්තිරන් දන්නවා ඇති. මෙරට ඒකීය භාවය පිළිබඳ දහතුන්වැනි සංශෝධනයේ් නඩුව තීන්දු කෙරුණේ නව දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලකින් පස්දෙනකු පමණක් එකඟ වීමෙන්. රාජා වනසුන්දර විනිසුරුවන්ට අනුව මෙරට ඇත්තේ සන්ධීය ව්‍යවස්ථාවක්. එකල මුස්තාෆා විධි ක්‍රමය යොදා ගත්තා නම් ඒ බහුතර නඩු තීන්දුව පිළි නොගෙන ඉන්න තිබුණා. මුස්තාෆා එකල ජනාධිපති නීතිඥයකු නොවන්න ඇති.

මට පසුගිය කාලයේ පොඩි බයක් තිබුණා. ඒ ජී එල් හා පිරිස 2015 දී රෑ වැටුණු වළේ 2017 දී දවල් වැටෙයි ද කියන එක. තවමත් ඒ බිය සම්පුර්ණයෙන් පහ වී නැහැ. 2015 දී අප ජී එල් ගේ නිවසේදී ම ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ වෙන ම පක්‍ෂයකින් තරග කරන ලෙසයි. ඔවුන් ඒ ඉල්ලීම පිළිගත්තේ නැහැ. එහි විපාක අද අප සියල්ලන් ම විඳිනවා. රෑ ආප්ප කා පසුදින උදයේ පිහියෙන් ඇන්න මෛත්‍රිපාල සතපහකට විශ්වාස කරන්න බැරි බව අප දැන සිටියා. එහෙත් ජී එල් හා පිරිස ඔහු ගැන විශ්වාසයක් තැබුවා. මෛත්‍රිපාල හා මහින්ද සහයෝගයෙන් කටයුතු කරාවි යැයි ඔවුන් බලාපොරොත්තු වූවා. මෛත්‍රිපාල උදේ කියන දේ සවසට නැතැයි කියන අයෙක්. සමහර දේ ඔහු දැනගන්නේ පත්තරයෙන්. ඔහු ඊයේ තිරසාර සංවර්ධන රැස්වීමේ දී බලයේ රැඳී සිටීම බලයට පත්වීම ආදිය ගැන කතා කෙළේ පෞද්ගලික ආශා දුර ලූ අයකු වගේ. ඔහු ඒ කතාවෙන් පසු තිරසර සංවර්ධනය පිළිබඳ වාර්තාවක් මගේ අවුරුදු හැටකට වැඩි මිත්‍රත්වයක් ඇති මොහාන් මුණසිංහට දෙනු ප්‍රවෘත්ති මගින් දුටුවා. මොහාන් මෛත්‍රිපාල ගැන මොනවා හිතුවත් මා හිතන දේ නම් හිතන එකක් නැහැ.

මෛත්‍රිපාලට වැදගත් ප්‍රශ්නයක් තිබුණා. ඒ රටේ අනාගතය නොවෙයි. තමාගේ අනාගතය ගැනයි. පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්නේ කෙසේ ද යන්නයි. තමා පරදින බව නියත වශයෙන් ම ඔහුත් දන්නවා. ඔහුගේ වෑයම වූයේ ඒකාබද්ධ විපක්‍ෂයත් එක්ක එකතු වී බලය ලබා ගැනීමයි. එහි දී මල් පොහොට්ටුව පොඩි පට්ටම් කිරීමයි. ජී එල්ට ඒ බව කාටත් වඩා හොඳින් තේරෙන්න ඇත්තේ ඔහු පොහොට්ටුවේ සභාපති නිසයි. ඒත් පොහොට්ටුවේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් ජී එල්ට විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒකට කමක් නැහැ. මෛත්‍රිපාලගේ කණ්ඩායමේ විවිධ පුද්ගලයන් ආණ්ඩුවෙන් අස්වෙන බවට ප්‍රචාර ගෙන ගියා. එක් අයකු අස්වුනා. ආණ්ඩුවෙන් අස්වීමට ඕන තරම් හේතු තියෙනවා. එට්කා ගිවිසුම, හම්බන්තොට වරාය හා ඉඩම් විකිණීම, ඒ සියල්ලට ම වඩා කිසිම ජනවරමක් නැතිව සිංහල විරෝධී ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ජාතිවාදයට කප්පන් දීම ආදී හේතු ආණ්ඩුවෙන් අස්වීමට ඕනවටත් වැඩියි. ඒත් ඔවුන් අස්වූයේ නැහැ. දැන්වත් අස්වෙනවා නම් හොඳයි. ඒත් ඒ ඒකාබද්ධ විපක්‍ෂය දුර්වල කිරීමට හෝ පොහොට්ටුව පොඩි පට්ටම් කිරීමට හෝ නොවිය යුතුයි.

මෛත්‍රිපාලට ප්‍රශ්නයක් වී තිබුණේ අශොක පීරිස් සීමා නීර්ණ කොමිසම. එහි වාර්තාව ලැබෙන තෙක් යැයි කියමින් පළාත් පාලන ඡන්ද කල් දැමීමට මුස්තාෆාට හැකි වූවා. කොමිසමේ වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැම්ම වීමට ආණ්ඩුවට අවශ්‍ය වු බව දැන් පැහැදිලියි. කොමිසමේ වාර්තාව පිළිගත්තොත් පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට සිදුවෙනවා. එහි දී පොහොට්ටුව තනිව ම ජයගැනීම වළක්වා තමනුත් ජයග්‍රහණයට සහභාගි වී ආණ්ඩුවට කල් ගැනීම මෛත්‍රිපාලගේ උපක්‍රමය වූවා. ඔහු දිගට ම ජනාධිපති. ඔහුට අවශ්‍ය පිරිසක් ආණ්ඩුවට ආපසු ගැනීමට වුවත් ඔහුට හැකි කම තිබුණා.

එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයෙන් තමන්ට සහායක් නොලැබේය යන සැකයත් මෛත්‍රිපාලට තියෙන්න ඇති. රනිල් හා මෛත්‍රිපාල ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන බයිලා කිවුවත් ඔවුන් දෙදෙනාට ම පළාත් පාලන මැතිවරණ පැවැත්වීම අවශ්‍ය නැහැ. අශෝක පීරිස් වාර්තාවට එ ජා ප හා මෛත්‍රිපාල මරා දැමූ ශ්‍රී ල නි ප නියෝජිතයන් දෙදෙනා අත්සන් නොකර මග හැර තිබෙන බව පැහැදිලියි. එසේ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට. අශෝක පීරිස් ඒ ගැන බලා නොසිට වාර්තාව ඇමතිට භාර දී තිබෙන බවත් පැහැදිලියි. දැන් ඔවුන් අශෝකට බනීවි. ඉක්මන් වුනා අරක මේක කියා. ඒකටත් කමක් නැහැ. අශෝක වැනි පරිපාලන නිලධාරීන් රටට ආඩම්බරයක්. කොහොමටත් ආණ්ඩුව දැන් වාර්තාව පිළිගන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණ තවත් කල් දාන්න පුළුවන්. මෛත්‍රිපාලගේ පිරිසට ආණ්ඩුවෙන් දැන් ම අස්වෙන්න ඕන නැහැ. මුට්ටිය වූ ප්‍රියන්කර රත්නායක ගන්ධබ්බ තත්වයකින් පසුවේවි.

දැන් නාටකය හමාරයි. මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුන්ට අප නොරැවටිය යුතුයි. මෛත්‍රිපාලට මහින්ද අගමැති කරන්න කියා අප සම්මන්ත්‍රණයක් තියා අවුරුද්දකට වැඩියි. අප එසේ කෙළේ මෛත්‍රීපාල ඒ නොකරන බව දැන දැනත් මහජන මතයක් ඇති කිරීමටයි. එහෙත් ජනමාධ්‍ය සුපුරුදු පරිදි එය වාර්තා කෙළේ නැහැ. අපට ජනමතයක් ඇති කිරීමට ජනමාධ්‍ය ආධාර කරන්නේ නැහැ. මෛත්‍රිපාලගේ කණ්ඩායම මෛත්‍රිපාලට විරුද්ධව ආණ්ඩුවෙන් අස්වන්නේ නම් පමණක් ඔවුන් ඒකාබද්ධ විපක්‍ෂයට ගත යුතුයි. එසේ නැතිව ඒකාබද්ධ විපක්‍ෂය දුර්වල කිරීමේ පවිටු චේතනාවෙන් ආණ්ඩුවෙන් අස්වන්නන් වෙනුවෙන් නම් කළ යුත්තේ කොස්ස අතට ගැනීමයි.

මෛත්‍රිපාලගේ හා රනිල්ගේ ගැටවලට හසු නොවී ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන්නේ නම් රටට යහපතක්. විවිධ පුද්ගලයන් ජී එල්ට බනීවි. එහෙත් ඔහු නාටකය හමාර කිරීමට කටයුතු කළා. අශෝක තම සීමා ඇතුළත සීමා නිර්ණ කොමිසමේ වාර්තාව භාර දීමෙන් රටට යහපතක් කළා. පීරිස්ට හා පීරිස්ට පින්!
නලින් ද සිල්වා
2016 ජනවාරි 03

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.