විශේෂාංග

දැන් පෙන්වනවා ….සිරිසේන සමඟ හෙළුවෙන්

පසුගිය මහමැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප සැකයට බඳුන් වෙමින් තිබේ. රෝසි සේනානායක නැවත ගණන් කිරීමක් ඉල්ලා සිටියි. සිරිසේනට හිතවත් හිරුණිකා එක්සත් ජාතික පෙරමුණෙන් ජයගෙන ඇත. සිරිසේන හිතවත් රාජිත සහ පාඨලී ද එජාපෙන් දිනා ඇත.
ඒ එජාපෙ මනාප ගැනය.

සන්ධානයේ මනාප ගැන දැකිය හැකි සුවිශේෂීත්වයක් ඇත. එනම් සිරිසේන හිතවතුන් එජාපෙ තුළ කුමන ආකාරයකින් හෝ ජයගනිත්දී සන්ධානය තුළ සිරිසේන හිතවතුන් ප්‍රබල පරාජයකට ලක් වී තිබීමයි. අප්පච්චි මළෝ කණ්ඩායම මිනිසුන් විසින් පරදවා ඇත. මිනිසුන් විසින් පරදවන්නන් ජාතික ලැයිස්තු හිලෙන් රිංගවන්නාට අපි කුමක් නම් කියමුද? සෝභිත හිමි සහ බැන්කී මූන් මෙන් අපත් උන්ට යහපාලකයා කියමුද? ඒ තරම් උචිත හැඳින්වීමක් තවත් ඇතිද? යහපාලනය අද ප්‍රහසනයක් වූ වෙනසක අරුමය අපූරු නොවෙද?

නිරුවත් වුනු යහපාලනය විසින් පැරදුනු උන්ට ඇමති දොළපිදේනිය ද පුදනු නිසැකය. යහපාලකයාට රට කරවීමට ඇවැසි වන්නේ පෑනක් සහ කොළ බන්ඩලයක් පමණි. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළබඳ මාගේ මිත්‍රයෙක් පවසා සිටියේ මේ ආකාරයටය

“ගත්තා කොළේ, අස් කළා අරූව, ගැහුවා අත්සන. ගත්තා කොළේ, පත් කළා මූව, ගැහුව අත්සන.”

ඉදින් යහපාලකයාගේ කොළයට සහ පෑනට සැවොම බයය. වෙනෙකෙකුට තබා ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුටද ඒ සෙතමය. ගත්තා කොළේ, ලිව්වා “මේ ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුතුමා මෙතක් කල් හිටලා නැත. හිටලා නැති එකා දැන් ඉන්නෙත් නැත.” දැම්මා අත්සන. එයා හිටලා නැති නිසා ඊට කළින් සිටි විනිසුරුතුමිය ගෙන්වා ඉල්ලා අස් කෙරව්වේය. ඒ යහපාලනයේ අරුමය දැක පහන් සිතින් සාධුකාර දෙන සෝභිත හිමි ඇතුළු පිරිස දකින ජනතාව ශ්‍රද්ධාවෙන් ඇලලී නොයන්නේ කුමන කාරණාවකට?
ජනමතය කවුද ගණන් ගන්නේ? මෙතැනදි වැදගත් වෙන්නේ යහපාලකයාගේ මතයයි. එතුමා සිතනවා නම් කවුරුන් හෝ පාර්ලිමේන්තුවට ගත යුතුයි කියා එතුමා එය කරනු ඇත. කොහොමද අභීත නායකත්වය? කිව්වේ කොන්ද පණ නෑ කියලා නේද? කොන්ද පණ නැත්තේ ජනතාවට කියා දැන්වත් වැටහුනිද?
දැන් මේ ගැන යහපාලනය වෙනුවෙන් එදවස ඉදිරිපත් වූ තමුන් බුද්ධිමතුන් යැයි හඳුන්වා ගත් ඊනියා විද්වතුන් රැළ කියන්නේ කුමක්ද?

යහපාලකයා මහ දවල් අමු නිරුවතින් මහ පාරේ අලියා පිටේ වීදි සංචාරය කරමින් සිටියි. ඒ නිරුවත දකින ජනී ජනයා තූ නොදකින් නොකියා අහක බලා ගනිත්. අනේ අර බුද්ධිමත්තු නම් සාධු නද දෙමින් යහපාලකයාගේ අලියාගේ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකය බලා යාටමට සැරසෙති. යහපාලකයාගේ නිරුවත අපට පෙනෙන්නේ ඔහුගේ අලංකාර ඇඳුම අනුවණ අපට නොපෙනෙන නිසා යයි දෙසති. එය පෙනෙන්නේ බුද්ධිමත් එතුමන්ලාට, බැංකි මූන්ට, ඇමරිකාවේ බිස්වාල්ට සහ සෝභිත හිමිට පමණලු.

යහපාලකයාගේ ලස්සන ඇඳුම නොදැක, ඔහුගේ නිරුවත අප දකින්නේ අප උන් මෙන් බුද්ධිමතුන් නොවූ පවටලු. වරද අපේලු.

දැන් දැන් මේ ඊනියා උගත්තුද සිය සලුපිළි ගලවා හිස වටේ කරකවා වීසි කර, අර අපට නොපෙනෙන යහපාලකයාගේ ඇඳුමෙන්ම මාධ්‍යයට එති. ඒ ඇදුමෙන් බොහෝ විට මුලින්ම මේ අය එවන්නේ භික්ෂුවකි. ඒ මන්දැයි අපි නොදනිමු. මෙදා මුලින්ම ආවේ දඹර හිමිය. අප්පච්චි මළෝ කණ්ඩායන්මේ සොයිසා පාර්ලිමේන්තුවට අවැසි යයි උන්නාන්සේ දේශනා කළහ. අනේ අප කළ පවට අපට උන්නාසේගේ වස්ත්‍රය නොපෙනිනි. නිරුවත පමණක් දැකීමට අපි අකුසල් කර සිටියෙමු. මේ යන විදියට තව තව උදවිය අපට නොපෙනෙන යහපාලකයා අඳින නිර්-වස්ත්‍රයෙන්ම සැරසෙනු ඇත. ඒ පිරිස වැඩිවන විට අප අතර ඉන්නා උන්ද ඒ ඇදුමේ ගුණ වණන්නට ඉඩ තිබේ. ඉන් පසු සිය ඇඳුම් ගලවා ඒවා ඔළුව වටේ වන වන යහපාලකයාගේ නිර්-වස්ත්‍රයේ ගුණ වණ වණ යනු ඇත.
තව නොබෝ දිනකින් පරාජිතයන්ද ඇතුළු මහින්ද නිසා ඡන්දය දිනාගත් උන් වෙත ඇමති දොළපිදේනිය යහපාලකයා විසින් පුදනු ඇත. යහපාලකයාගේ ගුණ වයා දෙපා නමැද මේ දොළපිදේනිය ගිලින පෙරේතයන් කවුදැයි අර අනුවණ දනෝ ඉතා ඕනෑකමින් බලා හිදිති. ඒ අන් කිසිවකට නොව කවදා හෝ යළි ඡන්දයක් එනවිට උන්ට යලි සළකන්නටය. මෙවර අප්පච්චි මළෝ කණ්ඩායමට නිසි පිළිතුර ලබා දුන්නද එය පලක් වූයේ නැත. යහපාලකයා ජනතාවගේ පශ්චාත්භාගයට පයින් ගසමින් පරාජිතයින් ඇතුලට දැමුවේය. දැන් ඉතින් ජනතාව නම්ගම් ලියාගෙන බලං ඉන්නේ ඇමති දොළපිදේනිය ගිලින උන් මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන තුරුය. කාලය අප සිතනවාට වඩා වේගයෙන් ගලා යනු ඇත. ඇමති දොළපිදේනිය ගිලින සන්ධානයේ පෙරේතයන්ට ඔවුන් සිතනවාට වඩා කළින් මහජනතාව ළඟට ගොස් මනාපය ඉල්ලීමට සිදුවනු ඇත. උගතුන්ට පමණක් පෙනෙන යහපාලකයාගෙන් ඉල්ලා ගෙන ඇඳ ගන්නා අර ඇඳුම, මහජනයාට තවම නොපෙනෙන බව උන් මතක තබා ගත යුතුය. නිරුවතින් මනාපය ඉල්ලං ගමට එන උන්ට මහජනතාව ගල් ගසා හූ කියා එළවනු ඇත.
-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය

Top