Featured

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරියට මහාප්‍රාණ අධ්‍යක්ෂක ප්‍රසිද්ධියේම බැණවදි

තමන්ට වුවමනා ආකාරයට වැඩ නොකරන දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරිය වන පුෂ්පා රොවෙල් කනෙන් අල්ලා එළියට දැමිය යුතු බව ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා කර්තෘවරුන්ගේ රැස්වීමක දී පවසා තිබේ.

මෙරට පැරැණිතම සිංහල ජාතික පුවත්පත වන දිනමිණ පුවත්පතේ කර්තෘ ධූරයේ කටයුතු කරමින් සිටින්නේ වයෝවෘද්ධ මාධ්‍යවේදිනියක වන අතර ඇය මෙරට සිංහල ජාතික පුවත්පතක කර්තෘ ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ද වන්නීය.

ආයතනයේ සියලු කර්තෘවරුන් ඉදිරියේ කර්තෘවරිය විවේචනය කරමින් කතා කර ඇති අධ්‍යක්ෂවරයා වැඩකට නැති මෙම ගැහැණිය කනෙන් ඇද එළියට දැමිය යුතු බව කියා ඇත.යහපාලන රජයේ පිහිටෙන් කර්තෘ ධූරයට පත් වූ ඇය පුවත්පතේ සියලු වැරැදි මාධ්‍යවේදීන් කරපිටට පටවා ඇඟ බේරා ගන්නා තැනැත්තියක ලෙස නමක් දිනා සිටී.

අධ්‍යක්ෂවරයාගේ බැන වැදීම හමුවේ ඇය කිසිවක් නොකියා සිටි ඇය පසුව අධ්‍යක්ෂවරයා හමු වී සිය තනතුර රැක දෙන්නැයි හඬා වැලපී ඇති බවත් වාර්තා වේ.

ගැහැණු බව ද නොසලකා කර්තෘවරියට බැන වැදුණු මෙම අධ්‍යක්ෂවරයා කලක් දිනමිණ පුවත්පතේ කර්තෘවරයා ලෙසද කටයුතු කර ඇති අතර මාධ්‍ය නිදහස පිළිබඳ මහාප්‍රාණ භාෂාවෙන් කතා කරන්නෙකි.

දිනමිණ පුවත්පතේ වැඩ බලන ප්‍රධාන කර්තෘවරිය ලෙස පුෂ්පා රොවෙල් මහත්මිය 2015 යහපාලන ආණ්ඩුව යටතේ වැඩ බාරගත් අතර ඇය මෙරට දිනපතා ජාතික සිංහල පුවත් පතක කර්තෘ ධුරය ලැබූ පළමු කාන්තාව ලෙස වාර්තා පොතට එක් විය.

1977 වසරේ ලිපිකාරිනියක ලෙස ලේක්හවුස් ආයතනයේ සේවය‍ට පැමිණි ඇය ඒ වසරේම උප කර්තෘවරියක ලෙස දිනමිණ කර්තෘ මණ්ඩලයට එක් වූවාය.පසුව දිනමිණ උප ප්‍රධාන කර්තෘ ,ප්‍රධාන උප කර්තෘ තනතුරුද හෙබවූ රොවෙල් මහත්මිය දිනමිණ වැඩ බලන ප්‍රධාන කර්තෘ ධූරය‍ට පත් වන විට දිනමිණ සම කර්තෘවරිය ලෙස වසර පහකට අධික කාලයක් කටයුතු කර තිබිණි.

පුවත් පතේ ක්‍රී‍ඩා,විදේශ ප්‍රවෘත්ති,විශේෂාංග,මෙන්ම ප්‍රවෘත්ති අංශවලද දීර්ඝ කාලීන පළපුරුද්දක් ලබා ඇති ඇය ජපානයේ හිරෝෂිමාහි පැවති ඔලිම්පික් උළෙල ආවරණය කිරිම ඇතුළු බංග්ලාදේශය, බැංගලෝරය, බැංකොක්,දිල්ලිය, චීනය යන රටවල නොයෙකුත් මාධ්‍ය ආවරණ කටයුතු දිනමිණ වෙනුවෙන් සිදු කර තිබේ.

පුෂ්පා රොවෙල් මහත්මිය කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියකි

Top