Featured

දුමින්දගේ,යහපාලන ගැහිල්ල මෙන්න….රාජගිරියේ හිස් ගොඩනැඟිල්ලේ ලක්ෂ 28ක වෙසක් පෙන්නලා

හිස් ගොඩනැඟිල්ලකට කෝටි ගණනින් මුදල් වැය කරන ආණ්ඩුව තවමත් හරියාකාරව ගොවියාට හිමි රුපියල් 10,000 වගා වන්දි සහනයවත් ගෙවීමට කටයුතු කර නැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි නාමල් කරුණාරත්න පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයට යැයි පවසා රුපියල් කෝටි ගණනක බදු කුලී ගෙවමින් භාවිතයට නොගෙන තබා ඇති රාජගිරියේ පිහිටි ගොඩනැඟිල්ල වෙසක් සතිය වෙනුවෙන් විදුලි ආලෝක කිරීම සඳහා රුපියල් ලක්ෂ 28කට ආසන්න මහජන මුදලක් වැය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි මන්ත්‍රිවරයා සදහන් කළේ.

මාස 13ක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඇති එම ගොඩනැඟිල්ලේ මාසික කුලිය රුපියල් දෙකෝටි හතළිස් පන් ලක්ෂයක්ද (2,4500,000) ඊට අමතරව අත්තිකාරම් මුදල් ලෙස රුපියල් කෝටි පනස් හතරක්ද සේවා ගාස්තු ලෙස රුපියල් හයකෝටි තිස් ලක්ෂයක්ද (6,300,0000) ගෙවා ඇති බවට චෝදනා කරන කරුණාරත්න මහතා අවධාරණය කෙළේ මෙපමණ ප්‍රමාණයක් කාබාසිනියා කළ ජනතා මුදල් නැවත අය කර ගැනීමේ වගකීම වහාම රජය භාරගත යුතු බවයි.

මන්ත්‍රිවරයා පැවැසුවේ එම ගොඩනැඟිල්ලට මසකට රුපියල් දෙකෝටි හතළිස් පන් ලක්ෂයක් ගෙවනවාට අමතරව සෑම මසකම එකතු වන විදුලිය හා ජල බිල්පත්වල ගාස්තු ගෙවීම් සිදු කරන්නේද කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් බවයි.

වගා වන්දි ගෙවීමේදී හා පොහොර සහනාධාරයට මුදල් ගෙවීමේදී විවිධ හේතු දක්වමින් එම මුදල් කප්පාදු කිරීමට කටයුතු කරන ආණ්ඩුවට නුදුරේදීම ගොවි ජනතාවගෙන් එල්ල වන විරෝධතා මැඩලීමට හැකියාවක් නොමැති බවට හෙතෙම අනතුරු ඇඟවීමක්ද කරයි.

Top