Breaking
25 Feb 2025, Tue

දෙමළ ත්‍රස්තවාදීන් සැමරීම

මෙම මස දහඅටවැනිදා සමරන්නේ නන්දිකඩාල් ජයග්‍රහණය නොවන බව ඉතා පැහැදිලි ය. ආණ්ඩුව රණවිරුවන්ට නිග්‍රහ කරමින් කමකට නැති රැස්වීමක් පැවැත්වීමට යන අතර දෙමළ ජාතිවාදීන් ඊනියා ජනසංහාරය සමරනු ඇත. ශිවාජිලිංගම්ලා සමරන්නේ තම මියගිය නෑදෑයන් පමණක් නොවන බව පැහැදිලි ය. චන්ද්‍රිකාවාදී රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරයා පවසා ඇත්තේ මියගිය නෑයන් සැමරීමට ඕනෑම කෙනකුට අයිතියක් ඇති බව ය. එහෙත් පැකේජයක් ගෙනැවිත්, සුදු නෙළුම් ගෙන අවලම් තවලම් යමින් රට බෙදීමට උත්සාහ කළ චන්ද්‍රිකාවාදීන්ට කෙසේ වෙතත් පැකේජයට එරෙහිව එදා කතරගමට පා ගමන්, රිය පෙරහෑර පමණක් නොව කිරින්දට මුහුදු යාත්‍රා සංවිධානය කරමින් ඒවාට සහභාගි වූ ද සම්මන්ත්‍රණ පවත්වමින් රට වටේ වැඩම කළ භික්‍ෂූන් වහන්සේට හා ගමන් කළ ගිහියන්ට එහි ප්‍රශ්න එකක් නොව කිහිපයක් ම ඇත. අද ඇතැම් ජාතිකවාදීන්ට ද දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමුණ, චින්තන පර්ෂදය වැනි සංවිධාන දිගින් දිගට ම කර ඇති කාර්යභාරය අමතක වීම කණගාටුදායක ය. එදා ජාතික ඒකාබද්ධ කමිටුව සිංහල කොමිසමක් පත්කර ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් සාක්‍ෂි විමසා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කෙළේ ය. කමිටුවේ වාර්තාව එ ජා ප ප්‍රතිපත්ති මත පිහිටා නිකුත් කිරීම කණගාටුදායක ය. වාර්තාවට විරුද්ධ වූ දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, ර්ැහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය ජාතික ඒකාබද්ධ කමිටුවෙන් ඉවත් කිරීමට පියවර ගැණිනි. එසේ ඉවත් කිරීමට මුල් වූවන් අතර චම්පක රණවීර හා රතන හිමියන් ද වීම අපට එදත් පුදුමයක් නො වී ය. අද ජාතික හෙළ උරුමයට රණවිරුවන් අමතක ය.

ශිවාජිලිංගම්ලාගේ නෑදෑයන් සැමරීම චන්ද්‍රිකාවාදී උතුරු පළාතේ ආණ්ඩුකාරයාට කෙසේ නම් තේරුම් ගත හැකි ද? නෑදෑයන් සැමරීම යන්න පෞද්ගලික කටයුත්තකි. ඇතැම්විට පවුලේ නෑදෑයන් ද හිතවතුන් ද එයට සහභාගිවනු ඇත. සිංහල බෞද්ධයනට නම් ඒ සැමරීම නිවසෙහි දී හෝ පන්සලක දී හෝ සිදු කළ හැකි ය. එක් එක් අයගේ නෑදෑයන් සැමරීම සාමූහික ව කෙරෙන්නක් නො වේ. පෞද්ගලික නෑදෑයන් සැමරීමකට ඉඩ දිය හැකි වුවත් ඊනියා ජනසංහාරයක් ගැන කියමින් කරන සාමූහික නෑදෑයන් සැමරීමකට ඉඩ දිය හැකි නො වේ. එය නෑදෑයන් සැමරීමක් නොව රාජ්‍යයට විරුද්ධව කෙරෙන උද්ඝෝෂණයකි. උතුරු පළතේ ආණ්ඩුකාරයා රාජ්‍යය වෙනුවෙන් මිස උතුරු පළාත් සභාව වෙනුවෙන් පෙනී සිටින්නෙක් නො වේ. ඔහු ශිවාජිලිංගම්ලාගේ සැමරුම වෙනුවෙන් පෙනී සිටීමෙන් රාජද්‍රෝහී ක්‍රියාවකට සහභාගි වෙයි. එහෙත් මේ ආණ්ඩුව ම රාජද්‍රෝහි වන කල දැනට කළ හැක්කේ කුමක් ද?

ජනසංහාරය යනුවෙන් දෙමළ ජාතිවාදීන් කියන්නේ ඊනියා දෙමළ ජනසංහාරයක් ගැන ය. එවැනි ජනසංහාරයක් පසුගිය අවුරුදු තිහේ සිදු වී නැත. ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදී මහත්වරුන් මෙහි සිටි කාලයේ දී නම් ජනසංහාර සිදු වී ඇත. මේ සැමරීම පෞද්ගලික නෑදෑයන් සැමරීමක් නොව රණවිරුවන්ට එරෙහිව, රාජ්‍යයට විරුද්ධ ව දෙමළ ත්‍රස්තවාදීන් සැමරීමකි. උතුරු පළාතේ ආණ්ඩුකාරයා තවත් කතාවක් කියා ඇත. ඊනියා යුද්ධයෙන් වඩාත් ම පීඩාවට ලක්වූයේ දෙමළ ජනතාව බවත් ඔවුන්ට තවත් යුද්ධයක් අනවශ්‍ය බවත් ය. මෙරට යුද්ධයක් නොතිබූ බව සංකල්ප ගැන අවබෝධයක් නැති ආණ්ඩුකාරයාට කියා දීමට මම උත්සාහ නො කරමි. එහෙත් මට පොදුවේ ඇසීමට අවශ්‍ය ප්‍රශ්න දෙකක් වෙයි. චන්ද්‍රිකාවාදීන් හමුදා මෙහෙයුම්වලට විරුද්ධ වූයේ ඔවුන්ට දෙමළ ජනයාට තව තවත් පීඩා කිරීමට අවශ්‍ය වූ බැවින් ද? දෙවනුව සාමාන්‍ය දෙමළ ජනතාවට ඊනියා යුද්ධයක් අවශ්‍ය නොවුවත් අද ඉන්දියාවේ ද සහාය ඇතිව ඉංගිරිසින් විසින් මෙහෙයවනු ලබන දෙමළ ජාතිවාදීන්ට රාජ්‍යයට විරුද්ධව ආයුධ ගැනීමට අවශ්‍ය බව පසුගිය දා ඇති වූ සිද්ධිවලින් (දෙමළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීම් ඇතුළුව) නො පෙනෙන්නේ ද? මේ සියල්ල පිටුපස ඇත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පෙරළා දෙමළ ජාතිවාදය පරාජය කළ බව ප්‍රකාශ කිරීමට අපට නො හැකි වීම ය.

ආණ්ඩුව නන්දිකඩාල් ජයග්‍රහණය සමරන්නේ නැති වුවත් ඒකාබද්ධ විපක්‍ෂයට ඒ සැමරීම සඳහා පියවර ගැනීමට තිබිණි. මැයි දිනය ළඟ ම තවත් උත්සවයක් සංවිධානය කිරීම සමහරවිට අපහසු විය හැකි වුවත් එසේ කිරීමේ වගකීමක් ඒකාබද්ධ විපක්‍ෂයට ඇත. ඒකාබද්ධ විපක්‍ෂය යනු මන්ත්‍රීවරුන්ගේ සංවිධානයක් පමණක් වීම මෙහි දී බාධාවක් වන්නට ඉඩ ඇත. වහාම වෙනත් දේශපාලන සංවිධානයක් ඇති කිරීමේ අවශ්‍යතාව මෙයින් ද පැහැදිලි වෙයි.

අප බොහෝ අවස්ථාවල පසුගිය ආණ්ඩුවට මතක් කර දී තිබුණේ මැයි විසිදෙවැනි දා ජනරජ දිනය නිදහස් දිනයට වඩා උත්සවාකාරයෙන් සැමරිය යුතු බව ය. පෙබරවාරි හතරවැනි දා ලැබුණේ එංගලන්තයේ රජු/රැජින අපේ ද රජු/රැජින බව පිළිගන්නා ජෙනිංග්ස්ගේ ව්‍යවස්ථාව අනුව ලැබූ ඩොමීනියන් නිදහසකි. මැයි විසිදෙවැනිදා අපි අපේ ම ව්‍යවස්ථාවක් යටතේ ජනරජයක් වීමු. අප සැමරිය යුත්තේ ජනරජ දිනය ය. ඒ බව අප කීප වතාවක් ම ලියා ඇති නමුත් ඒ එතරම් අවධානයට ලක් නො වී ය. කලක් අපට මැයි විසිදෙවැනිදා නිවාඩු දිනයක් විය. එහෙත් දැන් එය ද අහෝසි වී ඇත. අප කළ යුතු ව තිබුණේ අප 2009න් පසු කියා ඇති පරිදි මැයි දහඅට සිට විසිදෙක දක්වා දින කිහිපයක් උත්සව පැවැත්වීම ය. එහෙත් සංධානයට ද අප කී දේ ඇසුණේ නැත.

නලින් ද සිල්වා

2016 මැයි 14

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.