විශේෂාංග

නටපු නැටුමකුත් නැති ..බේරේ පළුවකුත් නැති….ජනාධිපති බැඳුම්කර කොමිසම!

ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාක්‍ෂි විභාගය පසුගිය ඔක්‌තෝබර් 17 දින අවසන් කරනු ලැබුවත් තවත් සාක්‍ෂිකරුවන් කිහිප දෙනෙකුගේ සාක්‍ෂි විභාග කිරීමට නියමිතව ඇතිබව දැනගන්නට තිබේ. ඒ අතරම කොමිසමේ කාලය තවත් සති හයකින් දීර්ඝ කරනු ලැබ ඇත. අවශ්‍ය නම් ඒ කාලය තුළ තවත් අත්‍යවශ්‍ය සාක්‌කි කැඳවීමට ද බැරිකමක්‌ නැත. කොමිසම විසින් සිදුකර ඇති ඉල්ලීමට අනුව අදාළ කොමිෂන් සභා වාර්තාව ලිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කොමිසමේ බලය සහිත කාලය මෙසේ දීර්ඝ කරනු ලැබ ඇත. ජනතාව අපේක්‍ෂා කරන යුක්‌තිය ඉටුවීම හෝ නොවීම කෙසේ වෙතත් මේ වාර්තාව රටම බලා සිටින වාර්තාවකි. මේ වාර්තාව දෙස පමණක්‌ නොව මේ ජනාධිපති කොමිසමේ ක්‍රියා කලාපය දෙසද රටම බලා සිටියේය. අර්ජුන් ඇලෝසියස්‌ සම්බන්ධයෙන් කොමිසම විසින් දුන් තීන්දුව දෙස මෙන්ම මලික්‌ සමරවික්‍රම සහ කබීර් හෂීම් යන රජයේ ඇමැතිවරු කොමිසම හමුවට ගෙන්වුවත් ඔවුන්ගෙන් විනිසුරුවරු විසින්ම විනාඩි කිහිපයකින් ප්‍රශ්න කිහිපයක්‌ පමණක්‌ අසා නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිදු ප්‍රශ්නයක්‌ නොඅසා ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අනුගමනය කළ වෙනස්‌ පිළිවෙත ගැන ජන සමාජය තුළ සැකසංකා ජනිත වී තිබේ. මේ ඇමැතිවරු දෙදෙනා එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයායි. මේ දෙදෙනාගෙන් කොමිසමේදී අසන ලද ප්‍රශ්න සහ ඒවාට ලබාදුන් පිළිතුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්වූ පසු මේ දෙදෙනා කොමිසමට ගෙන්වීමෙන් සිදුවූයේ අදාළ චෝදනා එල්ල වී ඇති සමාගගමෙන් හෝ පාර්ශ්වයන්ගෙන් ඔවුන් (ඇමැතිවරු) දෙදෙනාට හෝ ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්‍ෂයට මුදල් ආධාර නොලැබුණු බව ඔවුන්ගේම කටින් ප්‍රකාශ කර එම දේශපාලන පක්‍ෂයට සහ එහි නායකයාට එල්ලවී ඇති චෝදනාවලින් නිදහස්‌ වීමට හැකි වීමද යන ප්‍රශ්නයද ජන සමාජය තුළ කතාබහට ලක්‌ව තිබෙන්නකි. මෙහි ඇත්ත නැත්ත අප නොදන්නා නමුත් මේ සම්බන්ධයෙන් විවිධ අය විවිධ අදහස්‌ ප්‍රකාශ කරමින් සිටී.

මලික්‌ සමරවික්‍රම සහ කබීර් හෂීම් ඇමැතිවරුන්ගෙන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රශ්න නොකිරීම සම්බන්ධයෙන්ද ජන සමාජය තුළ බලවත් විවේචන තිබේ. ප්‍රශ්න අසන්නේ නැතුව එම ඇමැතිවරුන් දෙදෙනාට කොමිසමෙන් පහසුවෙන්ම ලිස්‌සා යැමට වාතාවරණයක්‌ උදා කිරීම සම්බන්ධයෙන්ද ජනසමාජය තුළ සැකසංකා තිබේ. විවේචනයන් තිබේ. මෙය එසේ වූයේ ඇයිද යන්න තවමත් නිශ්චිතවම පැහැදිලි නැත. අවශ්‍ය වූවා නම් ඔවුන් දෙදෙනාගෙන් අසන්නට ඕනෑ තරම් ප්‍රශ්න රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්‌ඩලයට නැතුවා නොවේ. එහෙත් මේ අය කබීර් හෂීම් සහ මලික්‌ සමරවික්‍රම යන ඇමැතිවරුන් දෙදෙනාගෙන් ප්‍රශ්න නොකළේ අතැම්විට ඔවුන් විසින් සලකා බලා ගන්නා ලද තීරණයක්‌ අනුව විය හැකිය. සිරිකොතේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වා අදාළ චෝදනා එල්ල වී ඇති පාර්ශ්වයන්ගෙන් පක්‍ෂයට හෝ තමන්ට ආධාර නොලැබුණු බව කියනවාට වඩා ඒ දෙය බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවට පැමිණ රටටම කියා සිටීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේනම් එය ඔවුන්ගේ පැත්තෙන් වඩාත් වටිනා අවස්‌ථාවක්‌ බව දේශපාලන ලෝකයේ ඇතැමුන් කියා සිටින කතාවකි. ගැඹුරින් කල්පනා කර බලන විට එයද ඇත්තය. ඒ අරමුණට සහාය දෙනවාට වඩා කිසිදු ප්‍රශ්නයක්‌ නොඅසා නිහඬව සාක්‍ෂි විභාගය දෙස බලා සිටීම වඩා හොඳ බව රජයේ නීතිඥ මණ්‌ඩලය කල්පනා කළාද? එය වඩාත් හොඳ නිහඬ පිළිතුරක්‌ ලෙස ඔවුන් තීරණය කළේද? මෙය දන්නේ ඔවුන්ම පමණකි. එහෙත් මේ කොමිසම තුළ සිදුවූ මෙවැනි පරස්‌පර සිදුවීම්වලින් පොදු ජනතාව කිසියම් ව්‍යාකූල තත්ත්වයකට පත්ව සිටින බවක්‌ නම් පෙනෙන්නට තිබේ.

පසුගිය ඔක්‌තෝබර් 17 දින කොමිසමේ සාක්‍ෂි විභාගය අවසන් කළේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් තවත් සාක්‍ෂිකරුවන් 20 දෙනෙකුගේ ලැයිස්‌තුවක්‌ ඉදිරිපත් කර තිබියදීය. එදින (17 දා) කොමිසම ඇමතූ රජයේ නීතිඥ මණ්‌ඩලයේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කීවේ මේ අයගෙන් සාක්‍ෂි විමසීම අත්‍යවශ්‍ය බවත් එම සාක්‍ෂිකරුවන් අතරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමද ඇතුළත් වන බවයි. අග්‍රාමාත්‍යවරයා සාක්‍ෂිකරුවකු ලෙස කොමිසමට කැඳවිය යුතු බවට නම් කිරීමට හේතුද කොමිසමට පැහැදිලි කර ඇතැයිද දප්පුල ද ලිවේරා මහතා කීවේය. එහෙත් එසේ කියන විටත් අග්‍රාමාත්‍යවරයාට කොමිසම විසින් ප්‍රශ්නාවලියක්‌ යවා තිබිණි. වෙනත් සාක්‍ෂිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙතට වෙනස්‌ පිළිවෙතක්‌ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කොමිසම අනුගමනය කර ඇති බවට බැලූ බැල්මට මේ දෙස බලා සිටින රට වැසියාට නිරීක්‍ෂණය වන කාරණයකි. එය එසේ නොවන බව හෝ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් කොමිසම අනුගමනය කළේ සෙසු සාක්‍ෂිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ සාමාන්‍ය පිළිවෙතම බව හෝ තවමත් කොමිසම විසින් රටට පැහැදිලි කර නැත. එසේ නොකිරීම තුළ කොමිසමේ ක්‍රියා කලාපය ගැන මහජනතාව තුළ සැක සංකා ජනිත වීමද වැළැක්‌විය නොහැකිය.

මෙවර කොමිසමේ කාලය දීර්ඝ කරනු ලැබ ඇත්තේ තුන්වැනි වරටය. ඒ අනුව 2017 දෙසැම්බර් 08 දින දක්‌වා සති හයක කාලයකට කොමිසම දීර්ඝ කරනු ලැබ ඇත. මීට අදාළ අංක 2042/9 දරණ අති විශේෂ ගැසට්‌ නිවේදනය ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිස්‌න මහතාගේ නියමය පරිදි පෙරේදා (24 දා) නිකුත් කර තිබේ. මෙම කොමිසම පත් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පරීක්‍ෂණ කොමිෂන් සභා පනතේ 2 වැනි වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව 2017 ජනවාරි 27 වැනිදාය. ඒ මුලින්ම 2017 අප්‍රේල් 27 දින දක්‌වා මාස තුනක කාලයකටය. මේ කොමිසම පත් කළ 2017 ජනවාරි 27 දිනැති අති විශේෂ ගැසට්‌ පත්‍රයේ පළ කෙරුණු නිවේදනය අනුව මෙම කොමිසම හඳුන්වා දී තිබුණේ “2015 පෙබරවාරි මස 01 දින සිට 2016 මාර්තු මස 31 දින දක්‌වා වූ කාල සීමාව තුළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතූන් පිළිබඳ පරීක්‍ෂා කිරීම, විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව” වශයෙනි. මුලින් සාක්‍ෂි විභාග කළ ආකාරය අනුව කොමිසම වෙත බොහෝ මහජන අවධානයක්‌ මෙන්ම මහජන විශ්වායක්‌ ද ජනිත වුවත් අර්ජුන් ඇලෝසියස්‌ මහතා සම්බන්ධයෙන් කොමිසම විසින් සාක්‍ෂි ලබා දීමට බල නොකරන බව සඳහන් කරමින් ලබා දුන් නියෝගයත් සමඟම මුළු මහත් රටම කිසියම් අපේක්‍ෂා භංගත්වයකට පත් විය. ඊට හේතුව නම් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළ පරිදිම අර්ජුන් ඇලෝසියස්‌ මහතා කොමිසමට පැමිණ කියන්නේ මොනවා දැයි දැන ගැනීමට රටම බලා සිටි බැවිනි. කොමිසමේ තීරණයෙන් ඒ ජනතා අපේක්‍ෂාව ඉටු නොවූ අතර, කොමිසම පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය ද කිසියම් පළුදුවීමකට ලක්‌ විය. මේ සිද්ධියෙන් අගතියට පත් ජනතාවට මේ කොමිසමෙන් යුක්‌තිය අපේක්‍ෂිත පරිදි ඉටු නොවනු ඇති බවට ජනතාව තුළ අඩු වැඩි වශයෙන් සැක සංකා ජනිත වීමට මේ නියෝගය හේතුවක්‌ විය.

නීතිපති වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින නීතිඥ මණ්‌ඩලයේ නායක දප්පුල ද ලිවේරා මහතා විසින් එම තීන්දුව එකඟ නැති බව පමණක්‌ නොව එය වැරදි නියෝගයක්‌ බව ද කියා සිටියේය. එම තීන්දුව වැරදි නියෝගයක්‌ නම් මේ නීතිඥ මණ්‌ඩලය කළ යුත්තේ එය නිවැරැදි කර ගැනීම සඳහා ඉහළ උසාවියකට අභියාචනා කිරීම නොවේද? එහෙත් දප්පුල ද ලිවේරා මහතා එම නියෝගයට එකඟ නැති බව සහ එය වැරදි බව කීම හැර එම නියෝගය සම්බන්ධයෙන් මේ දක්‌වා ගත් ක්‍රියාමාර්ගයක්‌ නැත. එවැනි ක්‍රියාමාර්ග ඔවුන් නොගත්තේ ඇයි? ඒ සඳහා බැඳුම්කර කොමිසමේ රජයේ නීතිඥ මණ්‌ඩලයට ශක්‌තියක්‌ නැද්ද? මේ රජයේ නීතිඥ මණ්‌ඩලය කොමිසම තුළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියත් ලිවේරා මහතා කී පරිදි නීතිපති එකඟ නොවන සහ එව වැරදි නියෝගය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම පිටුපස ද කිසියස්‌ අභිරහසක්‌ තිබෙන්නට පුළුවන. ඊට හේතුව ඒ සඳහා මෙම නීතිඥ මණ්‌ඩලයට නීතිපතිවරයාගේ සහාය නොලැබීම ද? මෙය රටවැසියාට පැහැදිලි විය යුතුව ඇති කරුණකි.

කොමිසමේ කාලය දීර්ඝ කළ ගැසට්‌ නිවේදනයේ දැක්‌වෙන්නේ තවදුරටත් කොමිෂන් සභාවේ වර්තමාන කාර්යභාරය සැලකිල්ලට ගනිමින් එම දීර්ඝ කිරීම කළ බවයි. මූලික වශයෙන් ම කොමිසමේ වර්තමාන කාර්යභාරය වී ඇත්තේ ජනාධිපතිවරයාට භාර දෙන නිර්දේශ ඇතුළත් වාර්තාව සම්පාදනය කිරීමයි. කොමිසමේ කාලය දික්‌ කිරීමට මූලිකම හේතුව එය වුවත් තවත් සාක්‍ෂි කිහිපයක්‌ ද විභාග කිරීමට නියමිතව ඇති බව ද දැන ගන්නට ඇත. රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ සාක්‍ෂිකාරයන් 20 දෙනාගේ ලැයිස්‌තුවේ සාක්‍ෂිකරුවන් මෙසේ කැඳවිමට නියමිතව තිබෙනවා විය හැකිය. එම ලැයිස්‌තුවේ නම සඳහන් අගමැතිවරයා කොමිසම සාක්‍ෂියට කැඳවනු ඇති ද යන්න ගැනත් ජනතාව බලා සිටින බව කිව යුතුව තිබේ.

~~ශ්‍යාම් නුවන් ගනේවත්ත~~

Top