Breaking
24 Feb 2025, Mon

නන්දිකඩාල් කලපුවේදි වෙනස් කල මෙරට භූගෝලය, ඉතිහාසය හා දේශපාලනය රනිල්ට වෙනස් කල නොහැක

අගෝස්තු 17 වැනි දාට පසු රනිල් අලුත් රටක් හදන බව පුන පුනා කියයි. ඔහු මෙතෙක් තිබූ ලංකාව, සිංහළය, කුඩා කර වෙනත් රටක් තැනීමට යන බව පැහැදිලි ය. ඔහු තනන රටට වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අයත් නොවනු ඇත. ඔබට ඒ ඊනියා අලුත් රට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අලියා ඉදිරියෙන් කතිරය ගැසීම ය. මේ රට මෙසේ ම පවත්වාගෙන යෑමට අවභ්‍ය නම් කළ යුත්තේ බුළත් කොළය ඉදිරියෙන් කතිරය ගසා මහින්ද සමග දිගින් දිගට ම සිටීවි යැයි බලාපොරොත්තුවන අපේක්‍ෂකයන්ට මනාප ලකුණු කිරීම ය.

රනිල් හා දෙමළ ජාතික සංධානය අතර යම් එකඟත්වයක් ඇත. දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශය පසුගිය ලිපියෙහි සඳහන් කළ පරිදි වලංගු නැත. 2009 මැයි 18 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී මෙරට භූගෝලය, ඉතිහාසය හා දේශපාලනය තීරණය කෙරිණි. රට තවදුරටත් ඒකීය රටක් වෙයි. රණවිරුවන් දිවි පරදුවට තබා කටයුතු කෙළේ නාමික ව ඒකීය රටක් වූ ලංකාව ප්‍රායෝගිකව ද ඒකීය රටක් බවට පත්කිරීමට ය. එය දැන් වෙනස් කළ හැකි නො වේ. රනිල් සූදානම් වන්නේ රණවිරුවන් පාවා දෙමින් දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශයට නැති වලංගු බවක් ලබා දීමට ය.

හමුදා මෙහෙයුම් (යුද්ධ) ද දේශපාලන ක්‍රියාදාම වෙයි. යුද්ධය යනු දේශපාලනය සිවිල් නොවන ක්‍රමයකින් ඉදිරියට ගෙන යෑම ය. හමුදා මෙහෙයුම් ඉල්ලා සිටිනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය විසිනි. 1833 සිට දෙමළ ජාතිවාදය ඉල්ලූ සියල්ල කූටප්‍රාප්ත වූයේ දෙමළ ත්‍රස්තවාදය සමග ය. බටහිරයන්ගේ ද ඉන්දීයයන්ගේ ද ආධාරයෙන් හා අනුග්‍රහයෙන් සිවිල් ක්‍රමවලින් දිනා ගැනීමට බැරි වූ ඉල්ලීම් ඊනියා යුද්ධයෙන් දිනා ගැනීමට කොටි ආයුධ අතට ගත්හ. ඒ ඉල්ලීම්වල එතෙක් කර තිබූ සියලු ඉල්ලීම් අඩංගු විය.නන්දිකඩාල් කලපුවේ දී ඒ සියලු ඉල්ලීම් පරාජයට පත්විය.

2005 දී ලංකාව නාමික වශයෙන් නොවූව ද ප්‍රායෝගික ව බෙදී තිබුණි. 2009 දී ඒ ප්‍රායෝගික බෙදීම හමුදා මෙහෙයුම්වලින් අවසන් විය. අද කිසිවකුටවත් 2005 ට හෝ 1983 ට හෝ ආපසු යෑමට යෝජනා කළ නො හැකි ය. අද අප පටන් ගත යුත්තේ 2009 මැයි 19 වැනි දා නැවතුණු තැනින් ය. අද වන විට දහතුන වලංගු වන්නේ ඒ මෙතෙක් ක්‍රියාත්මක වන පමණට ය. ඉඩම් බලතල, පොලිස් බලතල විමධ්‍යගත කිරීමක් ගැන කතා කිරීමටවත් දෙයක් නැත.

2009 මැයි 18/19 මෙරට දේශපාලන සිතියම වෙනස් විය. ඒ ආපසු හැරවීමට කතාකරන්නා දේශපාලනයෙහි හමුදා ක්‍රියාමාර්ග ගැන නො දනියි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක සිතියම වෙනස් විය. නැගෙනහිර යුරෝපයෙහි නව රාජ්‍ය පැන නැගිණි. යමකු ඒ අවස්ථාවෙහි දී යුරෝපය 1938 දී තිබූ තැනට ආපසු යා යුතු යැයි කීවේ නම් ස්ටැලින් කුමක් කිරීමට ඉඩ තිබිණි ද?

දෙමළ ජාතිවාදීන්ට අද 1983ට ආපසු යෑමට යෝජනා කළ නො හැකි ය. එවැනි යෝජනාවකට එකඟ වනු ඇත්තේ රනිල් වැනි නිවටයකු පමණ ය. ඔහු අලුත් රටක් හදන්නේ දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීම්වලට යටවීමෙනි. 2009 දී අප දිනාගත් රට රැක ගත හැක්කේ රනිල්ගේ ඊනියා අලුත් රට පරාජය කිරීමෙන් පමණකි. අගොස්තු 17 වැනි දා අප කළ යුත්තේ 2009 මැයි ජයග්‍රහණය තහවුරු කිරීම ය.

නලින් ද සිල්වා

2015 අගෝස්තු 04

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.