Breaking
23 Feb 2025, Sun

නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට සුමන්තිරන් වීරයකු කිරිමේ ජාතික හෙළ උරුමයේ කුමන්ත්‍රණය

සුමන්තිරන් ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව හින්දු පත්‍රයේ සඳහන් වෙලා. එය ඇත්තක් ද බොරුවක් ද කියන්න අප දන්නේ නැහැ. එය ඇත්තක් වුවත් බොරුවක් වුවත් සුමන්තිරන් වීරයකු කිරීමේ වුවමනාවක් නම් තියෙන බව පැහැදිලියි. ජාතික හෙළ උරුමයත් එයට හවුල් වෙලා. ඔවුන්ටත් සුමන්තිරන් වීරයකු කිරීමට අවශ්‍යයි. දෙමළ ජාතික සංධානයේ විවිධ මත තියෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට පොදු මතයක් තියෙනවා. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට නොහැකි නම් දුර්වල කිරීම. සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට උතුරු හා නැගෙනහිර පළාත් අහිමි කිරීම. නාගදීපය සිංහල බෞද්ධයන්ට අහිමි කිරීම. සොළොස්මස්ථානයෙන් නාගදීපය ඉවත් කිරීම.

පැරණි රජවරු නවවරක් බුදුසසුනට පූජා කෙළේ මුළු රටමයි. එයින් වත්මන් නැගෙනහිර පළාත හා උතුරු පළාත ඉවත් කර නැහැ. නාගදීපය ඉවත් කර නැහැ. පැරණි රජවරු නවවරක් බුදුසසුනට රට පූජා කිරීමේ දී නාගදීපයත් තිරියායත් සේරුවිලත් ඒ සමග බුදුසසුනට පූජා කළා. දෙමළ ජාතිවාදීන් ඒ සියල්ල සිංහල බෞද්ධ සංස්කෘතියට අහිමි කිරීමට සැරසෙනවා. පෝදාට පන්සල් යන වට වන්දනාවේ යන සිංහල බෞද්ධයන්ට නාගදීපය වැඳීමට අවශ්‍ය නැද්ද? සුමන්තිරන් දෙමළ මෙතෝදිස්ත බැතිමතෙක්. ඔවුන් සියළු දෙනා උතුරු හා නැගෙනහිර පළාත්වල බුදුපිළිම වහන්සේ තැනීමට විරුද්ධයි.

මේ නවවරක් බුදුසුනට පූජා කළ බිමේ බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට කිසිවකුටවත් විරුද්ධවන්න බැහැ. ඒ සඳහා කිසිවකුගෙන්වත් අවසර ගන්න වුවමනාත් නැහැ. ඉංගිරිසින් පවා ඒ අයිතියට ගරු කළා. දහනවවැනි සියවසේ ඉංගිරිසින් පැන වූ නීතියකට අනුව බෞද්ධ සිද්ධස්ථාන හැර වෙනත් ආගමික සිද්ධස්ථාන තැනීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතුයි. එහෙත් බෞද්ධ සිද්ධස්ථාන තැනීමට එසේ අවසරයක් සුද්දගේ කාලයේවත් ගැනීමට අවශ්‍ය වුනේ නැහැ.

එ සුද්දගේ කාලයේ දී. දැන් තියෙන්නෙ ජාතික හෙළ උරුමයේ ඊනියා යුග පෙරළි කාරයන්ගේ සහභාගීත්වයෙන් ද ගොඩ නැගුණු (ඔවුන් ගොඩ නැගූ නොව) රනිල්ගෙ කාලය. එය සිංහල බෞද්ධයන්ගෙ නරක කාලය. අද බෞද්ධ නොවන ආගමික සිද්ධස්ථාන ගොඩ නැගීමට අවසර ගන්න ඕන නැහැ. එහෙත් බෞද්ධ සිද්ධස්ථාන ගොඩ නැගීමට උතුරු පළාත් සභාවේ අවසරය ගත යුතුයි. ඒ අතර උතුරු හා නැගෙනහිර පළාත්වල බුදුපිළිම වහන්සේ කඩා දමනවා. ජාතික හෙළ උරුමයේ භික්‍ෂූන් වහන්සේ ද ගිහියන් ද බලා ඉන්නවා.

දෙමළ ජාතික සංධානයත් එහි සාමාජික පක්‍ෂත් උතුරු නැගෙනහිර පළාත් එක් කරන ලෙස ඉල්ලනවා. ඔවුන් ඒ පළාත්වල බුදුපිළිම වහන්සේ තැනීමට විරුද්ධයි. දහතුනට එහා යන බලතල පළාත් සභාවලට ඉල්ලනවා. ඉඩම් හා පෙලිස් බලතල ක්‍රියාත්මක කරන ලෙස උද්ඝෝෂණය කරනවා. සුමන්තිරනුත් මේ සියල්ල ඉල්ලනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමටයි. අද පාර්ලිමේන්තුවේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානියා සුමන්තිරන්. ජාතික හෙළ උරුමය නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට උත්සාහ කරන සුමන්තිරන් වීරයකු කරන්න හදනවා.

ජාතික හෙළ උරුමයට අනුව සුමන්තිරන් ආයුධ අතට අරන් නැහැ. එබැවින් ඔහු ආරක්‍ෂා කළ යුතු බව ද ඔවුන් පවසන්නේ. සුමන්තිරන් ඝාතන සැලැස්මක් තිබුණත් ඒ කවුරුන් දැයි අපට ඇඟිල්ල දික් කර කියන්න බැහැ. ඒ අය ආයුධ සන්නද්ධ අරගලයක් ගැන හිතනවා ඇති. ඒ කවුරු වුනත් අපට කීමට ඇත්තේ සුමන්තිරන්ගේ පක්‍ෂය කොටි සංවිධානයේ පාර්ලිමේන්තු නියෝජිතයන් වූ බවයි. දෙමළ ජාතික සංධානයත් එහි සාමාජික පක්‍ෂත් දිගින් දිගට ම කොටි සංවිධානය ආරක්‍ෂා කළා. අදත් ආරක්‍ෂා කරනවා. සුමන්තිරන් රණවිරුවන් දඩයම් කිරීමේ මූලිකයෙක්. ඔහු රණවිරුවන් දඩයම් කිරීමට ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ඉල්ලන ප්‍රධානියා. ඔහු එමගින් කරන්නේ කොටි ආරක්‍ෂා කිරීමයි.

කොටි සංවිධානය යනු 1833 ආරම්භ වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ අවසාන පුරුක. ඔවුන් ඇතැම් විට වෙනත් දෙමළ ජාතිවාදී සංවිධානවල නායකයන් ඝාතනය කළා. එයින් කියැවෙන්නේ කොටි සංවිධානයට අනෙක් අය අනුගමනය කළ ක්‍රියාමාර්ග වැරදි වූ බව පමණයි. දේශපාලන අරමුණේ වෙනසක් තිබුණේ නැහැ. කොටි ඇල්ෆ්‍රඩ් දුරෙයිඅප්පා ඝාතනය කිරීමෙන් ඇරඹූ දේශපාලක ඝාතන අමිර්තලිංගම්, තිරුචෙල්වම් ආදීන්ට ද ගෙන ගියා. කොටි සංවිධානය බිහිවූයේ අමිර්තලිංගම්ලාගේ තුරුල්ලේ.

අද උතුරු පළාතේ ආයුධ සන්නද්ධ කල්ලි ඇත්නම් එයටත් වග කිවයුත්තේ සුමන්තිරන්ලා හා ආණ්ඩුව. බුද්ධි අංශය මර්දනය කිරීමට උනන්දුව දක්වන සුමන්තිරන්ලා හා රනිල්ලා ආයුධ සන්නද්ධ දෙමළ ජාතිවාදීන් බිහි කිරීමට අනියමින් හරි උදවු කරනවා. ආයුධ සන්නද්ධ පිරිසක් සුමන්තිරන් ඝාතනය කිරීමට උත්සාහ කරනවා නම් ඒ දිට්ඨධම්ම වේදනීය පාප කර්මය පලදීමක්.

රනිල් ජාතික හෙළ උරුමය සමග සුමන්තිරන් වීරයකු කිරීමට උත්සාහ කරන්නේ අවසානයේ දී සුමන්තිරන් ඉල්ලන දේ යුක්තියුක්ත කිරීමටයි. එමගින් උතුරු හා නැගෙනහිර පළාත් සිංහලයන්ට අහිමි කිරීමටයි. මෙය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක මුවාවෙන් කරන පාවාදීමක්. දෙමළ මෙතෝදිස්ත සුමන්තිරන් වීරයකු කිරීම සිංහල බෞද්ධ අයිතිවාසිකම් පාවාදීමක්. අපට සුමන්තිරන් වීරයකු කිරීමට අවශ්‍ය නැහැ. අප කළ යුත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට කරන සියලු වෑයම් පරාජය කිරීමයි.
නලින් ද සිල්වා
2017 ජනවාරි 30

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.