Breaking
23 Feb 2025, Sun

නව ව්‍යවස්ථාව පැරදවීමට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කල යුතුමය

තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ගැන නොතකා නව ව්‍යවස්ථාව පරාජය කිරීමට සුදානම් වීම ජාතික ව්‍යාපාරයේ ඇත්තන්ගේ හා ඒකාබද්ධ විපක්‍ෂයේ අයගේ වගකීම විය යුතු නමුත් බොහෝ දෙනා එසේ නොකරන බව පෙනෙනවා. අද බොහෝ දෙනා සූදානම් වන්නේ එක්කෝ පළාත් පාලන මැතිවරණයට නැත්නම් 2020 හෝ ඒ ආසන්නයේ හෝ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට. රට ජාතිය ආගම ගැන පමණක් සිතන අය අද ජාතික ව්‍යාපාරයේත් දැක ගැනීමට අපහසුයි. මැතිවරණ පැත්තකට දමා රට ජාතිය ආගම ගැන කල්පනා කරන ලෙස දේශපාලනඥයන්ගෙන් වැඩි පිරිසකගෙන් හා දේශපාලනඥයන් පසුපස සිටින ජාතික ව්‍යාපාරයේ අයගෙන් ඉල්ලීම ඉබ්බන්ගෙන් පිහිටු ඉල්ලීමක් වෙන්න පුළුවන්.

කොටි දළදා මාළිගාවට ප්‍රහාරයක් එල්ල කර අදට අවුරුදු දහනවයක් වෙනවා. දළදා සමිඳුන්ගේ ආරක්‍ෂාව පතා දළදා මාළිගාවේ මළුවේ අධිෂ්ඨාන පූජාවක් කිරීමට අද අවසර නැහැ. එහෙත් උතුරු පළාතේ කොටි සැමරීමට අවසර තිබෙනවා. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය මේ ආණ්ඩුව පිහිටුවා ගත්තේ කුමක් සඳහා ද කා සඳහා ද යන්න පැහැදිලියි. රනිල්ට අවශ්‍ය සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමටයි. මෛත්‍රිපාල ඉන්නේ රනිල්ගේ ආධිපත්‍යය යටතේ.

නව ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා අනිවාර්ය අවශ්‍යතාවක් වනුයේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. පාරලිමේන්තුවේ වෙනත් ඔළුගෙඩි මාරුකිරීමෙන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් අත්වීමට නම් ප්‍රථමයෙන් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. එය පහසු කටයුත්තක් නො වෙයි. විසිපස් වතාවකටත් වඩා පැරදී එ ජා පක්‍ෂයේ නායකත්වය රැකගත් පුද්ගලයෙක් එසේ මෙසේ කෙනකු වෙන්න බැහැ. රනිල් නීතිය නවන්න මෙන් ම නීතියේ කණින් රිංගා යන්නත් දන්නවා. බැඳුම්කර වංචාවේ දී ඔහු ක්‍රියාකරන ආකාරයෙන් වුනත් ඔහුගේ තරම තේරෙනවා. ඔහු මෙවර අගමැති වූයේ ලෙහෙසියෙන් ඉවත් වීමට නො වෙයි.

ජාත්‍යන්තර සුපිරිව්‍යුහය ඔහු අගමැති බවට පත්කර ගත්තේ ම දෙමළ ජාතිවාදයට කප්පන් දී දෙමළ ජාතිවාදීන්ගේ මනදොළ පිනවීම සඳහායි. ඔවුන් එහි දී මෛත්‍රිපාල ද යොදා ගත්තා. මෛත්‍රිපාල තම පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා රට පාවා දුන්නා. එසේ වුවත් අද රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට බලතල ඇති එක ම පුද්ගලයා මෛත්‍රිපාලයි. අප මේ තත්වය තේරුම් ගත යුතුයි. මෛත්‍රිපාල ගැන විශ්වාසයක් තැබිය නොහැකි වුවත්, ඒ අවිශ්වාසය ම රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගන්න වෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන අප කතා කරන්න පටන් ගෙන දැන් අවුරුද්දකට වැඩියි. පමා වී නමුත් තවත් අය අද ඒ ගැන කතාකිරීම සතුටට කරුණක්.

ඒත් බොහෝ දෙනා දේශපාලනයෙහි නිරත වන්නේ පෞද්ගලික න්‍යාය පත්‍ර උඩ මිස ජාතික න්‍යාය පත්‍රයක් උඩ නො වෙයි. පෞද්ගලික ව නඩු හබවලින් බේරීමට ඇතැමුන්ට රනිල් අවශ්‍යයි. ඔවුන්ගේ වෑයම කෙසේ නමුත් රනිල්ට සැබවින් විරුද්ධ නොවී මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වා තමන් බේරී සිටීමටයි. එහි දී රටට වන හානිය ගැන ඔවුන් කල්පනා කරන්නේ නැහැ. මෙවැනි අය ආණ්ඩුවේ මෙන් ම ඒකාබද්ධ විපක්‍ෂයේත් ඉන්න පුළුවන්. එහෙත් ඔවුන් තේරුම් නොගන්නා කාරණය නම් අද රට පොලිස් රාජ්‍යයක් කරා ගෙන යමින් විරුද්ධවාදීන්ට අඩම්තේට්ටම් කරන්නේ රනිල්ගේ ආණ්ඩුවකින් බවයි. රනිල්ගේ ආණ්ඩුවක් වෙනුවට වෙනත් අගමැතිවරයකුගේ යටතේ ආණ්ඩුවක් පිහිටෙවුවොත් පොලිස් රාජ්‍යයක් කරා යන ගමන නැවැත්වීමටත් පුළුවන්. එවිට තමන්ට සිදුවිය හැකි පෞද්ගලික හිරිහැරත් ඉබේ ම නවතීවි. රට බේරා ගැනීම පමණක් නොව තමන් බේරා ගැනීමත් රනිල් අගමැති කමින් ඉවත් කිරීමෙන් කළ හැකි වෙනවා.

රනිල් අගමැති පදවියේ තබා ගනිමින් ම පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා මන්ත්‍රීන් පැති මාරු කිරීමෙන් වැඩක් වන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණ කිරීම වැදගත්. එහෙත් රනිල් රටේ අගමැති ව සිටිය දී පළාත් පාලන ආයතනයක බලය ලබා ගැනීම කතා කළ යුතු තරම්වත් දෙයක් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයට තනිව ම තරග කර පළාත් පාලන මැතිවරණ දිනන්න පුළුවන්. එහෙත් රනිල් අගමැති පදවියේ සිටිමින් රට දෙකඩ කරන සහසන්ධීය රාජ්‍යයක් ඊනියා ඒකීය රාජ්‍යයක මුවාවෙන් ඇති කළවිට අර පළාත් පාලන ආයතනයේ ජයග්‍රහණයෙන් ඇති ඵලය කුමක් ද? එමෙන් ම මෛත්‍රිපාලගේ නඩය පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණවලින් පරාජය වීම වැළැක්වීමට පමණක් ඒකාබද්ධ විපක්‍ෂය සමග එක් ව තරග කිරීමට අදහස් කරන්නේ නම් එයත් ඵලයක් නැති ක්‍රියාවක්.

කළ යුතු එක ම දෙය රනිල් අගමැති පදවියෙන් ඉවත් කිරීමයි. ජනාධිපතිට එය කළ හැකියි. එහෙත් ඔහුට ඒ සඳහා ශක්තියක් තිබේ ද යන්න ප්‍රශ්නයක්. අද ජාත්‍යන්තර සුපිරිව්‍යුහය රනිල් පිටුපස ඉන්නවා. සුපිරිව්‍යුහයට මෛත්‍රිපාල අවශ්‍ය වූයේ මහින්ද ගෙදර යැවීමට පමණයි. ඔවුන්ට දැන් මෛත්‍රිපාලගෙන් වැඩක් නැහැ. එහෙත් ඔවුන්ට මෛත්‍රිපාල ඉවත් කිරීමටත් බැහැ. දහනවවැනි සංශෝධනය මෛත්‍රිපාලට පක්‍ෂ වෙනවා. එහෙත් මෛත්‍රිපාලටත් අද දේශපාලනයේ යම් ස්ථාවරභාවයක් ඇති කර ගත හැක්කේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පමණයි.

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට පුළුවන් මෛත්‍රිපාලට පමණයි. රටේත් තමාගේත් සුභ සිද්ධිය සඳහා රනිල් ඉවත් කිරීමට මෛත්‍රිපාල පෙරට එන්නේ නම් පමණක් ඒකාබද්ධ විපක්‍ෂය ඔහුට සහාය දිය යුතුයි. මෛත්‍රිපාල රනිල් සමග ඇතිකර ගත් යහපාලන ගිවිසුම අවුරුදු දෙකකට පමණයි. දැන් ඒ ගිවිසුම ඉවරයි. එය කල් ඉකුත් වූ ගිවිසුමක්. මෛත්‍රිපාලට දැන් වෙනත් අයකු සමග ගිවිසුමක් ඇති කර ගත හැකියි. එය දළදා සමිඳු අබියස මහා සංඝයා වහන්සේ ඉදිරියේ ඇති කර ගත යුතු ගිවිසුමක්. එවැනි ගිවිසුමකින් නව ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. රනිල් අගමැති ව සිටිය දී ව්‍යවස්ථාව පරාජය කිරීම එතරම් පහසු නැහැ.
නලින් ද සිල්වා

2017 ජනවාරි 25

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.