Breaking
23 Feb 2025, Sun

නාලක හිමියන්ට නැති ශිවාජිලිංගම්ට ඇති නිදහස

ජාතික හිමිකම් සංවිධානය මුල් වී ඊයේ (20 වැනි දා) නිදහස් චතුරස්‍රයේ රණවිරුවන් සැමරීමට යොදා ගෙන තිබුණා. ඒ සඳහා නීතිඥ බැල්ලන්තුඩාව සංස්කෘතික අමාත්‍යාංශයෙන් නියමිත මුදල් ගෙවා අවසර ගෙන තිබුණා. පසුව ඇතැම් සංවිධාන ද එයට එකතු වී තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය කණ්ඩායමක් ලෙස එකතු වී තිබුණේ නැහැ. මට දැන ගැනීමට ඇති ආකාරයට ඒ රැස්වීමට සහභාගි වන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයට කළ ආරාධනයවත් නිළ වශයෙන් පිළිගෙන තිබුණේ නැහැ. ඒ ඇයි ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් එය සංවිධානය කෙරුණේ තමන්ගේ ද සහභාගීත්වයෙන් කීමට උත්සාහ ගත්තා. එසේ කෙළේ රැස්වීමට අවසර නැති බව ප්‍රකාශ වීමෙන් පසුව!

නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට නියමිත ව තිබූ රැස්වීමට දී තිබූ අවසරය අවලංගු කළ බවට එයට පෙර දින (19 වැනි දා) සවස පහට පමණ සංවිධායකයන් වෙත දැනුම් දී තිබෙනවා. එසේ දැනුම් දී ඇත්තේ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරිය. ඇය කියා ඇත්තේ එදින ඒ වෙලාවට ම නිදහස් චතුරස්‍රයේ තවත් රණවිරු සැමරීමක් පැවැත්වෙන බවත් එබැවින් ජාතික හිමිකම් සංවිධානයට දී තිබූ අවසරය අවලංගු කිරීමට ඇයට උපදෙස් ලැබී ඇති බවත්. මෙය හතර බීරි කතාවක් යැයි කියන්නට මා පෙළඹෙන්නේ නැහැ. දේශපාලනඥයන්ට ඇත්තේ බිහිරි අලින්ටත් නැති බිහිරි බවක්.

ජාතික හිමිකම් සංවිධානයේ රැස්වීමට මුලින් ම අවසර දුන්නේ නිදහස් චතුරස්‍රයේ එදිනට වෙනත් රැස්වීමක් නොතිබූ නිසයි. ඒත් පසුව වෙනත් රැස්වීමක් තිබෙන බව ලේකම්වරිය පවසන්නේ කෙසේ ද? නිදහස් චතුරස්‍රයේ එදින ඒ වෙලාවට වෙනත් රැස්වීමක් නොතිබූ බව එහි ගිය සියල්ලන්ට ම පෙනී ගියා. කෙසේ වෙතත් ඒ වන විට ජාතික හිමිකම් සංවිධානය තීරණය කරළා නිදහස් චතුරස්‍රයේ සිට පෙරහැරකින් විහාර මහා දේවී උද්‍යානයට ගොස් එහි බුදු පිළිම වහන්සේ අබියස පින්කමක් පැවැත්වීමට. ඒ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් උන්වහන්සේගේ කෙටි අනුශාසනයකින් දැනුම් දුන්නා. උන්වහන්සේ විහාර මහා දේවී උද්‍යානයේදීත් ඉතාමත් සංයමයකින් කටයුතු කළා. තැන්පත් ව අනුශාසනා කළා. එහෙත් ඇතැම් භික්‍ෂූන් වහන්සේ ගැන එසේ කියන්නට බැහැ. ගිහි තරුණයන්ගේ බසින් නම් උන්වහන්සේලා පොර ටෝක් දීම පමණයි කරන්නේ. ඒ රනිල්ට ඉණිමං බැඳීමක්.

නිදහස් චතුරස්‍රයේ පැවැත්වීමට තිබූ රැස්වීම අවලංගු කෙරුණේ කාගේ උපදෙස් මත ද? සංස්කෘතික ඇමතිගේ ද, විපක්‍ෂ නායකගේ ද, විපක්‍ෂ සංවිධායකගේ ද, ආණ්ඩු පක්‍ෂ සංවිධායකගේ ද, පොලීසිය භාර ඇමතිගේ ද(රැස්වීම අවලංගු කළ බව දැන්වූ ලිපියේ පිටපත් පොලීසියට ද යවලා) පොලිස්පතිගේ ද, ආරක්‍ෂක ඇමතිගේ ද, වයඹ සංවර්ධන ඇමතිගේ ද, ආරක්‍ෂක ලේකම්ගේ ද, අගමැතිගේ ද, ජනාධිපතිගේ ද ඔවුන්ගේ ලේකම්වරුන්ගේ ද වෙනත් කාගේවත් ද කියා අපට දැන ගැනීමට ලැබෙන එකක් නැහැ. එහෙත් ඒ ගැන ජනාධිපති කියන්නේ මොකක් ද කියා දැන ගැනීමට කැමතියි.

අද ශිවාජිලිංගම්ට උතුරු පළාතේ ඇති නිදහස පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ට කොළඹ නැහැ. උන්වහන්සේ මෙහෙයුම් පැවති කාලයේ නොවැඩි හමුදා කඳවුරක් තිබුණේ නැහැ. ශිවාජිලිංගම්ලාගේ ගෝලයන් ඒ කඳවුරුවලට අභියෝග කරනවා. බටහිර සිටින විසුරුණු දෙමළ ජනයා මත පදනම් ව දේශපාලනයේ නිරත වන විග්නේස්වරන් උතුරු පළාතෙන් සියලු හමුදා කඳවුරු ඉවත් කිරීමට ආණ්ඩුවට බල කරනවා. ශිවාජිලිංගම් කිහිප දෙනකු සමග එක් වී කොටි ත්‍රස්තවාදීන් සමරණ විට එයට ජනමාධ්‍ය පඬියන්, ප්‍රවෘත්ති සංස්කාරකවරුන්, විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා.

රනිල්ට අවශ්‍ය කුමක් ද කියන එක කවුරුත් දන්නවා. ඔහු බටහිරයෙක්. ඔහුට අවශ්‍ය සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදියට කප්පන් දීම. අලුත් ව්‍යවස්ථාවක් අසම්මත ලෙස සම්පාදනය කර සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීම. මෛත්‍රිපාල එයට උදවු දෙනවා ද? ජාතික හිමිකම් සංවිධානයේ රැස්වීමට දී තිබූ අවසරය අවලංගු කරනු ලැබුයේ මෛත්‍රිපාලගේ අනුදැනුම ඇතිව ද?

අද ඇත්තේ මෛත්‍රිපාල රනිල් ආණ්ඩුවක් නොව රනිල් සම්බන්ධන් ආණ්ඩුවක්. මෛත්‍රිපාල මේ ආණ්ඩුවට ඉඳහිට බාධා ඇති කරනවා පමණයි. මෛත්‍රිපාලගේ ඇමතිවරුත් ආණ්ඩුවට විරුද්ධව ඉඳහිට කෑ ගහනවා. එහෙත් රනිල් තමන්ට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව ගෙන යනවා. රනිල් ශිවාජිලිංගම්ට දෙමළ ත්‍රස්තවාදීන් සැමරීමට නිදහස දෙනවා. එහෙත් ඔහුගේ ආණ්ඩුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ට රණවිරුවන් සැමරීමට නිදහස දෙන්නේ නැහැ. රනිල්ගේ ආණ්ඩුව ත්‍රස්තවාදීන් හිරෙන් නිදහස් කරනවා. රණවිරුවන් හිරේ දානවා.

මෛත්‍රිපාල රනිල්ට තව දුරටත් ඉඩ දෙනවා ද? මහින්ද හා මෛත්‍රිපාල රටට හෙණ ගැහුවත් තම පෞද්ගලික එදිරිවාදුකම් ඉදිරියට ගෙන යනවා ද? මෛත්‍රිපාල මහින්දට ද්‍රෝහී වූ බව ඇත්තයි. ඒත් රනිල් ඉවත් කිරීමට ඒ දෙදෙනා එකතු වීිය යුතුයි. දිගට ම රනිල් පවත්වාගෙන යෑම රටට කරන බලවත් ම ද්‍රෝහිකමයි. එහි දී මහින්ද මෛත්‍රිපාල එකතුවකට විරුද්ධව ජී එල් වැනි අය කියන දේට සවන් නොදිය යුතුයි.

කවුරු කවුරුත් 2019/2020 මැතිවරණ ජනාධිපතිවරණ පමණක් නොව පළාත් පාලන මැතිවරණත් අමතක කර රට ජාතිය ආගම ගැන පමණක් සිතා දේශපාලනයහෙි නිරත විය යුතුයි. මැතිවරණ දිනාගැනීමට වුණත් මහින්ද මෛත්‍රිපාල එකතුවීමට අවශ්‍ය තැනකට රට තල්ලු වී ගෙන යනවා. එසේ එකතු නොවුණහොත් ශිවාජිලිංගම්ලා තමන්ට අවශ්‍ය අන්දමට රට පාලනය කරාවි. ජාතියේ මූරදේවතාවුන් වහන්සේට නිදහස් චතුරස්‍රය පමණක් නොව නිදහස ද අහිමි වේවි.

 

නලින් ද සිල්වා
2017 මැයි 21

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.