Featured

නැපයියාගේ“අල්ල(ස්) කික්කි… උඩ දඩයං…”

Published on: Aug 1, 2016 – ජනකතා නොහොත් ජනප්‍රවාද රටක චූල සාහිත්‍යය සම්ප්‍රදායට අයත්වන අතර රටක සංස්කෘතිය හැදෑරීමේදී අතිශයින් වැදගත්ය. ජනකතා බොහෝ විට අවසන්වනුයේ විනෝදය සමග වන දැනමුතුකමකිනි. අප සාම්ප්‍රදායික ජනකතාකරුවන්ට බොහෝ පසුව උපන් මහා නාට්‍යවේදී බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් නාට්‍යය සම්බන්ධයෙන් දැරූ  මතයද වුයේ නාට්‍යය ආනන්දයෙන් ආරම්භවී ප්‍රඥාවෙන් අවසන් වියයුතු බවයි. අප ජනකතාවන්හි අගය වටහාගත් ඇතැම් යටත්විජිත සිවිල් සේවකයෝ ඒවා ඉංග්‍රීසියට නගා  පළකළහ.

කාණ්ඩ දෙකකින් යුතු “මග දිගට ජනකතා” නම්සිංහලෙන් වන අනගි කෘතිය වික්‍රමසිංහ නම් විශ්‍රාමික ගුරු මහතෙකු විසින් සම්පාදිතය. මෙය මුලින්ම පලකෙරී ඇත්තේ පසුගිය සියවසේ මැද භාගයේදී වන අතර එහි මෑතක කෙරුණු මුද්‍රණයද කඩිනමින් අලෙවි වූ බැවින් දැනට වෙළඳපලේ නැත.

අප ඔබට පවසන්නට යන ජනකතාවේ කතා නායකයාගේ පෙළපත් නමද වික්‍රමසිංහය. ඒ කාලයේ පෙළපත් නම් අනිවාර්යයෙන්ම යොදනුයේ නමට මුලිනි. නමුත් රටේ අවාසනාවට ඔය බොහෝ පෙළපත් නම් දරන්නන් නමේ හැටියට වැඩේ කළේ නැත. කරන්නේද නැත. මේ කතා නායකයාගේ සම්පුර්ණ නම  වික්‍රමසිංහලාගේ නැපෝසිංඥෝ වුවත් ගැමියන් අතර ප්‍රසිද්ධවුයේ “නැපයියා” යන නමයි. ඒ කටවහරේ පහසුවටය. නැපෝසිංඥෝගේ සහෝදරයා වන වික්‍රමසිංහලාගේ ගබෝසිංඥෝ,“ගබයියා”ලෙසගැමියන් අතර එලෙසම ප්‍රසිද්ධවිය.

තම නමේ සුරතල් යෙදුම (Pet Name) යොදා ගැමියන් තමන් වෙත කෙරෙන සුහද ආමන්ත්‍රණය ගබෝසිංඥෝ සුහද සිතින් ඉවසුවත් නැපෝසිංඥෝ නම් තම නමේ සුරතල් යෙදුම ඉවසුවේම නැත. එසේ ඇමතූ ගැමියෙකු වෙත නිතරම නැපෝසිංඥෝ වෙතින් ලද පිළිතුරු මෙහි සඳහන් නොකළමනාය. මේ තේරුම්ගත් වැඩිහිටි ගැමියන්  අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිකරගැනීමෙන් වැළකුණු අතර  නැපෝසිංඥෝ පාරෙ තොටේ යද්දී බඩවැටි වල හැංගී  ඔහු වෙත සුරතල් නමින් ආමන්ත්‍රණය කරණ කොලුකුරුට්ටන්ගෙන් නම් අඩුවක් නොවීය.

ඇතැම්විට එකල මහාචාර්ය අර්ජුන පරාක්‍රම සිටියානම් මේ ප්‍රශ්ණය නිරාකරණය වනු ඇත. සුමංගල ශබ්දකෝෂයට අනුව නැපෝසිංඥෝට යෙදෙන සුරතල් නාමයේ අවසන් අකුරු තුනෙන් අදහස්වනුයේ “පසුම්බිය” යන්නයි. ඒ අකුරු තුනට මුලින් “නැ” යන්න යෙදීමෙන් අදහස්වනුයේ පසුම්බිය නැති වූ බවයි. ඔය කාලයේද ගැටකපන්නන් සිටිබැවින් සැබවින්මනැපෝසිංඥෝට කලබල වීමට අවශ්‍යතාවයක් නොවීය. නමුත් එදාද සිංහල භාෂාවට නිසි තැනක් නොලැබුණු සංධර්භයක් තුළදී නිසි අධ්‍යාපනයක් නොලද “නැපයියාගේ”  කෝපය සාධාරණය.

“නැපයියා” කාලයාගේ ඇවෑමෙන් සහ  තම තරුණ කාලය ඉක්මයාමෙන් පසුව එළඹිමැදි වියේදී විවාහයක්ද  කරගත් නමුදු දරුවන් නොවීය. “නැපයියා” දන්නා ගොවිතැන් බතක්ද නොවීය. නමුත් මව්පියන්ගේ උරුමයෙන් ලද ධනය ක්ෂය වෙද්දී ද “නැපයියා” සතුවූ අධික උද්දච්චකමේ අඩුවක්ද නොවීය. ගැමියන් “නැපයියාගේ” උද්දච්චකම පිළිබඳව ඔහු   නැති තැන පැවසුයේ “නැපයියා”  ගොවිතැන් බතක්ද නොදත් නමුත් නොදන්නා මලඉලව්වක්ද දන්නා මලඉලව්වක්ද නැති බවත්, අඩු ගානේ ගෙදර ගෑනිට ළමයෙක් තාම හදාදෙන්න බැරි උනත් පන්සලේ පොඩි හාමුදුරුවන් බණට කියන කුවේරයාගේ ආලකමන්දාව සහ  උතුරුකුරු දිවයින ගමේ මිනිස්සුන්ට හදාදෙන්න පූචානම් දොඩවන බවත්ය.

“නැපයියා” තම අවසන් තීරණය ලෙස  පැමිණියේ දඩයමටය. නමුත් “නැපයියා” දන්නා දඩයම් කලාවක්ද නොවීය. තම තරුණ කාලයේ දීද “නැපයියා”කළේබළලුන් ලවා කොස් ඇට බෑවීම හෝ ගේ අසල “බටලන්දේ”ගැරඩි මරා පව් පුරවාගැනීම වැනි අලුගුත්තේරු වැඩය. නමුත් කල්පනාවට බට “නැපයියාට” සුළු මොහොතකින් සිහිපත් වූයේ තම බිරිඳගේ පය ලෙවකමින් ඈ නිවස හැදී වැඩුණු බැල්ලකි. ඒ බැල්ල පෙරසිටම දඩයමේ කැමැතිය. බිරිඳ අවසර ගත් හෙතෙම වහා ගොස් බැල්ල කැඳවා පැමිණියේය.

එදා සිට කටු කා පුරුදු මානසිකත්වයෙන් යුතු බැල්ල“නැපයියා” සමග පැමිණියේ පස්වනක් ප්‍රීතියෙන් යුතුවය. බැල්ල දුටු “නැපයියාගේ” බිරින්දෑට කටට කෙළ ඉනීම සහ තවත් බොහෝ ශාරීරික විපර්යාසයන් සිදුවූ නමුත් අප ඒ පිළිබඳව විග්‍රහ නොකරන්නේ තෙල්ස් සහ සැපෝ (මෙහි සඳහන් අනෙකුත් නම් සේ දාර්ශනිකාවක නොව  අතීතයේ ජීවත්වූ (Island of lesbosහි)  නිදහස් ග්‍රීක කිවිඳියකි) ගෙන් පටන්ගෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හරහා මිෂෙල් ෆුකෝ සහ ඩෙරීඩා දක්වා බොහෝ දාර්ශනික විග්‍රහයන්  ඒ පිළිබඳව කළයුතු බැවිනි.

බැල්ල “නැපයියාගේ” දඩයම් අභිලාෂය සමග හොඳින් ගැලපිනි. බැල්ල “නැපයියාගේ” බිරිඳගේ අභිලාෂයන් සඳහා කෙසේ ගැලපුනේ දැයි අප දන්නේ නැත.

නමුත් මේ දෙමාල්ලන් අතර මේ බැල්ලට නම් තබන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් යම් විවාදයක් ඇතිවිය. “නැපයියාගේ” බිරින්දෑ ගේ නොවෙනස් මතය වූයේ තමන්ට  සහ “නැපයියාට” පොදු පෙළපත් නමක් වූ “වික්‍රමසිංහ” යන නම මේ බැල්ලගේ නම අගට යෙදීම කළ යුතුම බවයි.

ඔය කාලයේ බලු බැල්ලියන්ට දිගු පෙළපත් නම් කෙසේ වෙතත් කෙටි නමක්  තැබීම සිංහල සිරිත විය. එසේම ඔය කාලයේ අදමෙන් ඕඩිහෙලේට වයිවාරන්න බලු බැල්ලියන්ද නොවීය. ඒ අනුව “නැපයියා” යෝජනා කළේ බැල්ලගේ පෙළපත් නම “වික්‍රමසිංහ” ලෙස එසේම  තිබියදී පහසුව සඳහා “කික්කි” යනුවෙන් ඇමතීමටය. බලු පැටවා “කුක්කා” වන සඳෙහි බලු පැටික්කිය “කික්කි” වනබව ඔබට නොකිවමනාය.

පෙර සිට දඩයම පුරුදු “කික්කි” වැඩ බැරි “නැපයියාගේ” දඩයම් අභිලාෂය සමග හොඳින් ගැලපිණි. අදමෙන් එදා වෙල් මාළු සහ වැව් මාළු හැර  ශීත කළ බ්‍රොයිලර් කුකුළු මස්, ගවමස්, එළුමස් හෝමුහුදු මාළු සිහිනයෙන්වත් නොදුටු එකළ ගැමියන්ට පෝෂණය ගෙනාවේනිරතුරු ලැබෙන දඩමස්ය නැතහොත් කලාතුරකින් ලැබෙනහොරහරක් මස්ය.

“නැපයියා” දඩයම් අරමුණ පෙරදැරිව“කික්කි” සමග වනයට යන්නේය.වල් ඌරකු, ගෝනකු, මුවකු වැනි සතෙකු දඩයම තමන්ට සහ  “කික්කි” ට  නොහැකි නිසා හාවකු, මීමින්නෙකු, තලගොයකු වැනි අහිංසක කුඩා සතෙකු ඇසගැසුණු විට “නැපයියා” කරන්නේ සතා පෙන්වමින් “කික්කිට”, “අල්ල කික්කි… අර දඩයං… උසි … උසී …” කියමින් “කික්කි”උසිගැන්වීමය.

එවිට “කික්කි” පඳුරුතලාගෙන දුවා ගොදුර අල්ලාගනියි. එහෙව් දවසට “නැපයියාගේ” කටට විවේකයක් ඇත්තේම නැත. ගම්මුන්ට තම වන චාරිකාවේ “ත්‍රාසජනක  අත්දැකීම්” විස්තර කරන “නැපයියා” සැබවින්ම අටුවාචාරීන් වහන්සේලා පවා පරදවයි. කෙසේ නමුත් “නැපයියා” මස් ගිලින විට කික්කිට ලැබෙනුයේ කටු කෑලිය. ඒ ඊළඟ දඩයමට අල්ලස් ලෙසය.“කික්කි” එම අල්ලසට ගිජුනිසා ගැටලුවක්ද නැත. මෙනිසා මේ “කික්කි”  “අල්ලස් කික්කි” කියා හැඳින්වීමේ වරදක්ද නැත.

දිනක් “නැපයියා”“කික්කි” සමග දඩයමේ යනවිට ඔහු දුටුවේ තලගොයෙකි. වහා “නැපයියා”, “අල්ල කික්කි… අර දඩයං… උසි … උසී …” කියමින් “කික්කි”උසිගැන්වීය.“කික්කි” බුරමින් තලගොයා හඹාගියේය. මරණ බියෙන් දිවගිය තලගොයා නැග්ගේ ලඳු කැලෑවක වැඩුණු තරමක මූණමල් ගහකටය. දැන් උඩට බුරමින් “කික්කි”  බිමය. වහා ගස ලඟට දිවගිය  “නැපයියා”  ප්‍රශ්නයකට මුහුණපෑවේය. ඔහු දත් ගස් නැගීමක් නොවීය. වටපිට බලමින් කල්පනාවට බට “නැපයියා” දුටුවේ අසල ඇති තුන්  රියනක (අඩි නමයක) පමණ ගොඩපරපැලයකි.

ඉනෙන් පිහිය ගත් “නැපයියා”, ගොඩපර පැලය කපා රිටක් සාදාගෙන තලගොයාට පහරදීමට රිට එසවූයේය. අභාග්‍යකි, “නැපයියාගේ” අතේ උසත් සමග රිට දිගුවූයේ අඩි පහලවක් පමණය. මරබයේ තලගොයා  මූණමල් ගසේ මුදුන් කරටිය බදාගෙන සිටි නිසා තලගොයාට සාර්ථකව පහරදීමට නම් රිට තව අඩියක්වත් දිගුවිය යුතුය. වටපිට බැලූ “නැපයියා” දුටුවේ පෙනෙන තෙක්මානයක එවැනි රිටක් කපාගැනීමට ගසක් නැති බවයි.

මදක් කල්පනාවට බට “නැපයියාට”, “තන්වැසි නුවණ” හෙවත් ස්ථානෝචිත ප්‍රඥාව පහළවිය. “නැපයියා”පළමුව පිහියෙන් රිටේ අග උල් කළේය. දෙවනුව ගස වටා දුවමින් උඩට බුරමින් සිටි “කික්කි” ගලග්‍රහයෙන් ගෙන (බෙල්ලෙන් අල්ලා) උල්කළ රිට ඇගේ සුවිසල් නිතඹ මැදින් අධෝමාර්ගයට වැරෙන් ඇතුළුකර “කික්කිගේ” මරණීය විලාපය මැද්දේ “අල්ලකික්කි… උඩ දඩයං…” යනුවෙන් සුපුරුදු ලෙස ඈ උසිගන්වමින් තලගොයා දෙසට එසවීය (“නැපයියා” කොහොමටත් න්‍යායයෙන් සහ ක්‍රියාවෙන් එක විදියක “පශ්චාත් නූතන වාදියෙකි”).

ලද ප්‍රතිපලය ඔබට වැටහෙනු ඇත. අද “නැපයියාලා” සහ “අල්ල(ස්) කික්කිලා” සිටිනවාද නැද්ද යන්න අප දන්නේ නැත. එසේ සිටීනම් “නැපයියාලා” සමග දඩයමේ යෑමෙන් වැළකීම  “නැපයියාලාට” කෙසේවෙතත් “අල්ල(ස්) කික්කිලාට” නම් ගුණදායකය.

~~සටහන Lanka News Web today~~

Top