Featured

“පත්තරයා, උඹව අද රෑට මරණවා” යහපාලන මැරයෝ…. මාධ්‍යවේදි ප්‍රදීප් අනුර කුමාරට එලිපිට තර්ජනය කරයි

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ මාධ්‍ය ලේකම් වන ප්‍රදීප් අනුර කුමාර මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග මහතාගේ සමීපතම ආධාරකරුවකු සහ පුද්ගලික ආරක්ෂකයකු වශයෙන් කටයුතු කරන මිනුවන්ගොඩ පාතාල අපරාධකරුවකු වන පස් පොඩ්ඩා හෙවත් නැදගමුවේ රෝහිත නමැත්තා බැන වැදී මරණ තර්ජනය කර තිබේ.

මිනුවන්ගොඩ, උඩුගම්පොළ ප්‍රදේශයේ අලුතෙන් ඉදිකරන ලද සතිපොළ නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රසන්න රණතුංග මහතා මන්ත්‍රීවරයා සමඟ එහි ගොස් සිටියදී එම ස්ථානයට කඩා වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග, කපිල ගුණසේකර යන අය සමඟ සිටි පස් පොඩ්ඩා නමැත්තා මාධ්‍ය ලේකම්වරයාට මෙසේ තර්ජනය කර තිබේ.

ඉකුත් රජය සමයේ එවකට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයාව සිටි ප්‍රසන්න රණතුංග මහතාගේ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතාගේ ඉල්ලීම පරිදි මෙම සතිපොළ ඉදි කෙරුණේ එම රජයේ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ලබා දුන් ප්‍රතිපාදන මතය.

මෙම සති පොළ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට (11) විවෘත කිරීමට නියමිතව ඇති  අතර ඒ සඳහා සහභාගී වන්නැයි ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට ආරාධනාවක් ද එවා ඇත. රණතුංග මන්ත්‍රීවරයා සිය නිවස ආසන්නයේ පිහිටා ඇති මෙම සති පොළ නිරීක්ෂණයට සහභාගී වී ඇත්තේ එවන් පසුබිමක් තුළය.

මන්ත්‍රීවරයා සති පොළ නිරීක්ෂණය කරමින් සිටින අතර තුර එම මාධ්‍ය ලේකම්වරයා සිය කණ්ඩායම ලවා එම අවස්ථාව වී‍ඩියෝ ගත කරමින් සිට ඇත. එහිදී එම අවස්ථාවට කඩා වැදුණු රුවන් රණතුංග හිටපු මන්ත්‍රිවරයාගේ සමීපතම හිතවකු වන පස් පොඩ්ඩා නමැත්තා මාධ්‍ය ලේකම්වරයාට තර්ජනය කරමින් කියා ඇත්තේ වීඩියෝගත කිරීම නතර කරන ලෙසයි.

තමන් ඉටු කරන්නේ රාජකාරියක් බව මාධ්‍ය පවසා ඇතත් වීඩියෝ ගත කිරීම නතර නොකළහොත් මරා දමන බවට පස් පොඩ්ඩා තර්ජනය කර ඇත. තමන් කියන දේ නොකළහොත් අනෙකුත් මාධ්‍යවේදීන්ට වීඩියෝ කරන්නට වන්නේ අවමඟුල් උත්සවය යැයි ද පස් පොඩ්ඩා තර්ජනාත්මකව පවසා ඇත.

පසුව පිටත්ව යන්නට ගොස් වාහනයේ සිට පස් පොඩ්ඩා කියා ඇත්තේ  “පත්තරයා, උඹව අද රෑට මරණවා”යනුවෙනි. මාධ්‍ය ලේකම්වරයා මේ සම්බන්ධව ගම්පහ පොලීසියේ CIB 2256/93 අංකය යටතේ පැමිණිල්ලක් දමා ඇත.

Top