විශේෂාංග

පමණට වඩා පිම්බෙන්න යාමෙන් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය පොහොට්ටුව වරදවා තේරුම් ගනීවිද?

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බවත් මෛත්‍රී-රනිල්-සම්බන්ධන්-අනුර-හකීම් ඒකාබද්ධය විසින් 50% ආසන්න හෝ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇති බවත් පෙනී යයි. ඒ අනුව සැබෑ ජනවරම ඇත්තේ පොහොට්ටුවටද යන්න පොහොට්ටු නායකයන් නැවත නැවතත් කල්පනා කර බැලිය යුතුය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ බව මැනවින් වටහාගනිමින් තිබෙන බව පැහැදිලි වන්නේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවට සහ විපක්ෂ නායකත්වය භාර ගැනීමට සූදානම් බවට ඔහුගේ හිතෛෂියකු මගින් ජනතාවට ප්‍රතිචාර දක්වා තිබීමෙනි.

ජනතාවගේ කැමැත්ත නිසි පරිදි තේරුම් නොගැනීමෙන් වන්නේ රාත්‍රියේ වැටුණ වලේ දවල් ද වැටීමය.ලැබූ ජනවරම අනුව කටයුතු නොකිරීමේ වරද නිසා මෛත්‍රී ජනාධිපතිවරයා කෙතෙක් ජනතාව අතර අප්‍රසාදයට පත්වී ඇතිද යන්න 2018 පෙබරවාරි 10 පැවති පළාත් පාලන මැතිවරණයේදී පැහැදිලි වී ඇත. ඔහු ජනාධිපති වූ අවස්ථාවේ සිටම රට පාලනය කිරීමට උත්සාහ ගත්තේ බන්ධනාගාර බස් රථය සහ මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක් නිති පතා විද්‍යුත් මාධ්‍යවලින් පෙන්වමිනි. මිනීවලවල් ගොඩ ගැනීම පමණක් නොව රාජ්‍ය භාෂාවෙන් කටයතු නොකරන ජනාධිපති කොමිෂන් සභා මගින් ඔහු රට පාලනය කිරීමට උත්සාහ ගත්තේ ය. ඒ සමගම ගොවියාට පොහොර ටික නිසි කළට අඩු මුදලට ලබා දීමට ඔහු අසමත් විය. ජනතාව අතර අප්‍රසාදයට පත් වී සිටි දේශපාලන පරාජිතයන්ට නීති උපක්‍රම මගින් පාර්ලිමේන්තුවට ඇතුළු කර ඇමති තනතුරු ලබා දී එහෙයියන් කර ගත්තේ ය. ඔහුට ලැබූ ජනවරමට එරෙහිව යමින් ඊනියා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගත්තේ ය. දින 100 පොරොන්දු පත්‍රය සිහිනයක් කළේ ය.

පළාත් පාලන මැතිවරණය වසර ගණනාවක් කල් දමා ගත්තේ ය. ඒ සියල්ලට එරෙහිව පෙළ ගැසුනු අහිංසක ජනතාව සිය පීඩනය තල්ලු කරන ලද්දේ පොහොට්ටුව අති විශාල වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කරවිමෙනි.

2018 පෙබරවාරි 10 පැවති පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව ජය ගැනීම අහම්බයක් නොවේ. එකී ජයග්‍රහණයට මෛත්‍රී-රනිල් ඊනියා ජාතික ආණ්ඩුවද රාජ්‍ය පාලනයේ අදූරදර්ශි බවද, ආර්ථික කළමනාකරණයේ නොහැකියාවද, දූෂණයද විසල් දායකත්වයක් සැපයුවේ ය. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජනතා අපේක්ෂාවලට පටහැනිව ක්‍රියා කිරීමේ ප්‍රධාන චෝදනාවට ඊනියා ජාතික ආණ්ඩුව සාධනීයව පිළිතුරු දුන්නේම නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 ව්‍යවස්ථාවේ ඇමති සංඛ්‍යාව 30කට සීමා කළ යුතු බව දක්වා තිබුණත් ඉතා කපටි සහගත ලෙස කථානායකවරයා සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සිදුරෙන් ලිස්සා යමින් විශාල ඇමති මණ්ඩලයක් පත්කර ගත්තේ ය. බැදුම්කර වංචාව සමග බැදුන දූෂණය ජනතාව හමුවේ එළි දරව් විය. රටේ ආර්ථිකය පිරිහී යන්නට විය. රැපියලේ අගය බාල්දු විය.දේශිය කෘෂි ආර්ථිකය විනාශ වන්නට විය. විදේශයෙන් හාල්, පොල් සහ එළවළු ආනයනය කිරීමට බලවත්තු එළිපිට කතා කළේය. දේශීය සම්පත් විදේශිකයන් සතු කළේය. මේ සියල්ලම හේතුවෙන් ජනතාව ආණ්ඩුවට විරුද්ධව පොහොට්ටුවට කතිරය ගැසුවේ ය.

එය හොදින් තේරුම් ගෙන පොහොට්ටුව ක්‍රියා නොකළොත් වන්නේ මෛත්‍රීට වූ දෙයම පොහොට්ටුවටත් වීමයි. ජනතාව සියල්ලට ම ඉදිරියෙන් සිටී. ලැබූ ජනවරම මෛත්‍රී අවභාවිත කරනවා මෙන් පොහොට්ටුවද ඒ අකාරයට හැසිරීමක් ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවේ. පාර්ලිමේන්තුව විසිරවීම සදහා 2/3ක අනුමැතියක් අවශ්‍ය වේ. එය ලබා ගැනීමට හැකිද? ඒ සදහා ඊළගට පවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දොලපිදේනි පිදීමට වන්නේ නම් ජනතාව එයට කැමතිද? 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී සුසිල්-වර්ණපාල-මුස්තාෆා-සේතුංග කළ නීති ගට ගැසීමට පොහොට්ටුවට කතිරය ගැසීමට ඉන්නා ජනතාව කැමතිද? ඒ හෙයින් පාර්ලිමේන්තුව විසිරුවන්න….ජනාධිපතිවරණයක් පවත්වන්න වැනි බොලද සටන් පාඨ මේ අවස්ථාවේ යෝග්‍ය නොවේ. ඒවා පැවති මැතිවරණයත් ලද ඡන්ද ප්‍රතිශතයත් සමග සැසදීමේදී ප්‍රමාණය ඉක්මවා යන ඉල්ලීම් වේ.

කළ හැකි හොදම දෙය වන්නේ මධ්‍යස්ථ ඡන්ද දායකයින්ගේ කැමැත්ත වැඩියෙන් පොහොට්ටුවට ලබා ගැනීමය. ආකර්ශනය කර ගැනීමය. රටට ඇත්ත කීමය. මෛත්‍රී ජනාධිපති වෙන්න පෙර කීවේ ඇමති මණ්ඩලය අඩු කරන බවය. ඒ අනුව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සියල්ලන්ගේ කැමැත්තෙන්(සරත් වීරසේකරගේ විරුද්ධ විය.) සම්මත කර ගත් බව රහසක් නොවේ. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව වර්තමාන පාලකයන් සිය පාලනය පවත්වාගෙන යන බව පැහැදිලිය. එය වටහා ගත් ජනතාව 2018 පෙබරවාරි 10 පැවති මැතිවරණයෙන් ජාතික ආණ්ඩුවට විරුද්ධව පැහැදිලි ජනවරමක් ලබා දී ඇත. ඒ ජාතික ආණ්ඩුවේ නායකයින් සියල්ලම ඉතා දරුණු ලෙස පරාජයට පත් කිරීමෙනි. ඒ අනුව 2018 පෙබරවාරි 10 දින සිට ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම ජනසම්මතයට පටහැනිය. ඒ අනුවම ව්‍යවස්ථාවේ 46.1ට පටහැනිව යමින් ඇමති මණ්ඩලය 30කට වැඩියෙන් පවත්වාගෙන යාමද ජනසම්මතයට පටහනිය.

ඒ අනුව ඇමති මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1 ව්‍යවස්ථාව අනුව 30 සීමාවට ගැනීමට හෝ ඒ සදහා ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට හෝ එකී ඉල්ලීම ඉටු කර ගැනීම සදහා සාමකාමී උද්ඝෝෂණයක් ඇරඹීමට 2018 පෙබරවාරි 10 පැවති මැතිවරණ ප්‍රතිඵලය යොදා ගැනීමට පීල්ල සැකසීමට ඒකාබද්ධ විපක්ෂයටත්, පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාවටත් හැකි වුවහොත් එය රටේ පැවැත්මට සුභදායක වේ. එමගින් මධ්‍යස්ථ ඡන්ද දායකයන්ගේ කැමැත්ත පොහොට්ටුවට වැඩි වශයෙන් ආකර්ශනය වනවා මෙන්ව යහපාලනය මුවාවෙන් මේ සිදු කරගෙන යන විෂමාචාර අදූරදර්ශී පාලනය ජනතා හිත සුව පිණිස මෙහෙයවීමටද හැකි වේ. පොහොට්ටු නායකයන් එයට සූදානම්ද? යන්න මේ වන තෙක් ප්‍රදර්ශනය කර නැත.

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col),PGDC(Col)
2018.02.12

Top