Featured

පරාදවුනු එවුන් ගත්ත එක බරපතලම වරදක්-සිරිසේන….නව ව්‍යවස්ථාවක් සම්මත කරනවා -රනිල්

පසුගිය මහා මැතිවරණයේදි පරාජයට පත්වුවන් ආණ්ඩුවට එකතු කර ගැනිම තමන් දේශපාලන ජිවිතයේ කල බරපතලම වරද බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ සමග පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.පසුගියදා අගමැතිවරයා හමුවූ එජාප ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ අගමැතිවරයා මෙය හෙලිකර ඇති අතර ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට තමන්ගේ සහයද ජනපති ඉල්ලු බව අගමැති අනාවාරණය කර තිබේ.

අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි ජනාධිපති ධූරය අහෝසි කිරීම, ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම ආදිය ඇතුළත් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදයන් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදි ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මම පැරදුන අය ලගට ගත්තේ ආණ්ඩුව පවත්වාගෙන යන්න..දැන් ඒ අය මට බලපෑම් කරනවා…එක එක් කෙනා එක එක ඇවිල්ලා කියනවා…පැය විසිහතරේම කේළාම් කියනවා..මහා මානසික වදයක් වෙලා…” යනුවෙනි…

මේ අතර පසුගියදා අගමැති හමුවු එජාප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ජනාධිපති ධූරය අහෝසි කිරීම, ජාතික ගැටලුවට විසඳුම් ලබාදීම ආදිය ඇතුළත් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම බවත් බලයට පත්වූ වහාම මෙම පොරොන්දුව ඉටුකරන බවට පැවසුවද යහපාලන රජය බලයට පත්වී වසර දෙකක් ඉක්ම ගියද තවමත් එම පොරොන්දුව ඉටුකිරීම අසමත් වී තිබේන බවත් එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගෙනඒමේ බලාපොරොත්තුවෙන් සිටින අතර ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටුකිරීම රජයේ වගකීම බව එජාප පාර්ශ්වය අවධාරණය කර තිබේ.

මේ අවස්ථාවේ වජිර අබේවර්ධන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියේ නව ව්‍යවස්ථාව ගෙන ඒමට තවත් කොපමණ කලක් ගතවේද යන්නයි. ඇත්තටම මේක එනවද කියලත් මිනිස්සු අපෙන් අහනවා යැයි වජිර අබේවර්ධන අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයාට පැවසුවේය.

ඒක අපි ගේනවා. රටට හානි කිසි දෙයක් ඒකේ නෑ. ව්‍යවස්ථාවට අදාළ අනුකමිටුවල කාර්යය දැන් ඉවරයි. අනුකමිටුවලදී විවිධ පක්ෂ විවිධ ස්ථාවර කියලා තියෙන්නේ. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන සතියේ ඉඳන් රැස්වෙනවා.එතනදී අපි සමබර තැනකට එනවා යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙහිදී කිරිඇල්ල අමාත්‍යවරයා ජනමත විචාරණයකට හේතුවන කරුණු නව ව්‍යවස්ථාවට ඇතුළත් නොකරන බවට ශ්‍රීලනිපය කියාගෙන යන බව අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්කළේය.

ජනමත විමසුමකට යනවාද, ජනාධිපති ධුරය නැති කරනවාද?, සෙනෙට් සභාවක් පිහිටුවනවාද? ඡන්ද ක්‍රමයේ වෙනස්වීම් වෙනවාද කියන්න තාම කල් මදි. ව්‍යවස්ථා කමිටුව දෙන්නේ වාර්තාවක් මිසක් පනත ‍නෙවෙයි. ඒ නිසා එක එක්කෙනා ඔය දැන් කියන කතා වලංගු නෑ. අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට දාලා විවාද කරලා අපි තීන්දු ගමු යැයි අග්‍රාමාත්‍යවරයා පිරිස හමුවේ සඳහන් කළේය.

අගමැතිවරයා තම මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අනිවාර්යෙන් කටයුතු කරන බවයි. මේ වනවිට නව ව්‍යවස්ථාවට අදාලව පත්කළ අනුකමිටුවලට කටයුතු සියල්ල අවසන් වී ඇත් බවත් ඉදිරි කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ කරන බවත් අගමැතිවරයා පවසා තිබෙනවා.

මෙම අනු කමිටු සඳහා යෝජනා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ වෙනත් සංවිධාන විසින් විවිධ පරස්පර යෝජනා ඉදිරිපත් කිර තිබෙන බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ලබන සතියේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන නව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මෙම සියලු සංවිධානවල අදහස් සමාලෝචනය කිරීමට නියමිතය.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යන්නේද නැද්ද සම්බන්ධයෙන් හා නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන්නේද අහෝසි කරන්නේද ආදී වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙම මෙහෙයුම් කමිටුවේදී තීරණය කරන බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ. මීට අමතරව මැතිවරණ ක්‍රමය, බලය බෙදීම, පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් ද මෙම කමිටුවේදී සාකච්ඡා කරන බව අගමැතිවරයා ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මෙහෙයුම් කමිටුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් වාර්තාවක් පිළියෙල කොට එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සම්බන්ධයෙන් විවාදයක් පවත්වන බවත් අගමැතිවරයා පෙන්වා දෙනවා. ඉන්පසු සියලු අදහස් සැලකිල්ලට ගනිමින් නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කරන බවයි අගමැතිවරයා පවසන්නේ.

නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ වැඩපිළිවෙල අඩපන කිරීමට හා කකුලෙන් ඇදීමට යම් යම් පාර්ශ්වයන් කටයුතු කරමින් සිටියද ජනතාවට පොරොන්දු වූ පරිදි එම වැඩපිළිවෙල සාර්ථකව සිදුකිරීම කිසිසේත් අතරමග නතර නොකරන බවයි අගමැතිවරයා පවසා ඇත්තේ.

Top