විශේෂාංග

පව් කාරයන්ට ගල් ගහන පව් කාරයෝ, ගැටලුවට සම්භූත හේතු එලෙසම පවතිද්දී ඵලය සමග ගේම ඉල්ලීම

Published on: Jul 29, 2018 – ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක වි‍ඳින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නේ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නේ කවරෙකු පසුපසද? පුද්ගල ක්‍රියාකාරකම් සිදුවන්නේ සිතුවිලි අනුවය, සිතුවිලි අනුව ක්‍රියා සිදුවෙයි, ක්‍රියාවන් අනුව විඳීම සිදුවෙයි. කර්මයෝ විසින් විපාකයෝ ‍රැස් කරයි , විපාකයෝ විසින් කර්ම ගෙන එයි. බයිබලයේ එන අකීකරු පුත්‍රයාගේ කථාව අකාලික මාර්ගෝපදේශනයන්ය, වඩා වැදගත් වන්නේ රැළේ පිළිවෙලට යන බැටළු පැටවා ගැන සෙවීම නොව කණ්ඩායමෙන් පිට ගිය එකා ගැන සෙවීම ය.

බෞද්ධ දර්ශනය අනුව සන්සාරය යනු භවයෙන් භවයට ගමන් ගන්නා කාල යාත්‍රාවක් නොව එක් චිත්තක්ෂනයකි. සන්සාරය යනු මේ මොහොත ය. හිතක් නිරුද්ධ වී අලුත් සිතක් ඉපදෙන විට පූර්ව කිසිවෙකු එහි නැත. අවිද්‍යාවේ ගිලී සිටින සත්වයාගේ ස්වභාවය අල්ලා ගැනීමයි . කෙනෙකුගෙන් වරදක් සිදු වුව හොත් වාඩුව ගැනීමට සිත්හි තැන්පත් කර තබා ගනියි , අතීතයේ වර්තමානයේ අනාගතයේ ඔහු හා ගැටෙමින් සැරිසරයි. දිව පිනවන රසක් දැනුන හොත් එය සිතෙහි ගබඩා කර තබා ගනියි, රසය එසේ අල්ලා ගන්නේ ඉදිරියේදී තව තවත් රස විඳීමටය. ඇලීම ගැටීම නිසා කාලය ගොඩ නැගෙයි . ඇලීමට, ගැටීමට, රස විඳිමට කෙනෙකු ඇතැයි සිත් වෙයි. මම කියා පුද්ගලයෙකු ඇතැයි සිතෙයි. කාලය නැමති මායාවට මමත්වය එකතු කොට ජීවිතය ගොඩනගයි.

ගැටලුවට සම්භූත හේතු එලෙසම පවතිද්දී ඵලය සමග ගේම ඉල්ලීම නිරර්ථකය

සත්වයා තුල මම නොහොත් ආත්ම දෘෂ්ඨිය කිඳා බැස ඇත. මමත්වය යනු “මම” යන අදහස පමනක් නොවේ. මමත්වය යනු නැති ලෝක ස්වභාවයක් පවතින ලෙස දැකීමයි. ආත්ම දෘෂ්ඨියටත් අනාත්ම දෘෂ්ඨියටත් වෙනස් දෘෂ්ඨියක් පවතියි. හේතු ඵලවාදය යනු එයයි. හේතූන් ගැලපිලා බැඳුනු කල ඒ හා බැඳුනු උපතක් හට ගනියි, හේතූන් නොමැති වූ කල එය නැතුව යයි. එහෙයින් යම් දෙයක් ස්ථිරව පවතිනවා යයි කිව නොහැක , නොපවතිනවා යයිද කිව නොහැක. හේතුන් ගැලපිලා බැඳුනු කල යම් දෙයක් ඇතැයි දිස්වෙයි, වැටහෙයි, දැනෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායු යන ගති ලක්ෂණ ගැලපිලා බැඳුනු කල භෞතික රූපයක් හට ගනියි. අතීත කර්ම ඵල ගැලපී බැඳුනු කල කෙනෙකුගේ කර්මජ රූපය සැකසෙයි. විඳීම විඳවීම ඒතුලින් පැමිනෙයි .

කර්මය හේතුව වෙයි, විඳීම විඳවීම ඵලය වෙයි. හේතුව නැති කිරීමෙන් ඵලය නැතිවෙයි. ඒ තුල විඳින්නෙකු හෝ විඳවන්නෙකු නොමැත.

කරුනු එසේ වූ කල්හි බෞද්ධ ඉගැන්වීම අනුව අතීත වරදකට දඬුවම් පැමිනවීම අතාර්තික ක්‍රියාදාමයකි. සිදුවිය යුත්තේ ඵලය සමග ගැටීම නොව හේතුව සොයා ඊට පිලියම යෙදීමය.

වර්තමාන සමාජයේ පවුල් සංස්ථාව යනු අපරාධ උගන්වන පෙර පාසැලය. සමාජය අපරාධ උගන්වන පාසැලකි. එහි පශ්චාත් උපාධිය හැදෑරීමට බන්ධනාගාරය වෙත යා යුතුය. මෙවන් දාමක ක්‍රියාවලියක අවසානය ලෙස අපරාධකරුවෙකු බිහි වූ විට ප්‍රතිකර්ම කළ යුත්තේ ඵලය වෙත නොව හේතු මූලය වෙතය. අපරාධකරුවා එල්ලා මැරීමෙන් අත්වන යහපතක් නැත.

රජගෙදර වුවද පැල්පත වුවද උඩුයටිකුරු කළ හැකි දුරාචාරය

වර්ථමානයේ බන්ධානාගාරගතව සිටින පුද්ගලයන්ගෙන් 60% ක් පමන ප්‍රමාණයක් හෙරොයින් සහ ඒ ආශ්‍රිත මත්ද්‍රව්‍ය පිලිබඳව චෝදනා ලද වුන්ය . රජ ගෙදර වුවද පැලපතේ වුවද හෙරොයින් භාවිතා කරන සාමාජිකයෙකු සිටී නම් එහි බලපෑම සුලු ප‍ටු නොවේ. හෙරොයින් භාවිත කරන පුද්ගලයන් අහිංසක නැත. නමුත් අසරණ පුද්ගල කොට්ඨාශයකි. හෙරොයින් භාවිතයෙන් අත්මිදීමට ඔවුන්ට උදව් අවශ්‍යය. ක‍ටුනායක ගුවන්තො‍ටුපල හන්දියේ ඇති ක්‍රීඩාංගනය අපට මතක් කර සිටින්නේ හෙරොයින් පිලිබඳ සංවේදී කථා පුවතකි . එම ක්‍රීඩාංගනය ඉදිකර ඇත්තේ හෙරොයින් නිසා අකාලයේ මිලිනව ගිය දේශපාලන ප්‍රබලකුගේ පුත්‍රයෙකු සිහිවීම පිනිසය.

රොඩ්රිගු දුතර්තේ සහ සිරිසේන

සිරිසේන ජනපති මත් ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම පැමිනවීමට තීන්දු කළ විගස විශාල ප්‍රතිරෝධයක් ඔහු වෙත එල්ල වූයේය. එනමුත් නම ගිය ගහලයෙකු වන පිලිපීන ජනාධිපති රොඩ්රිගු දුතර්තේ, සිරිසේනගේ තීන්දුව අගය කළේය. දුතර්තේගේ මත් විරෝධී සටන ඔහු පිලිපීන ජනාධිපතිවරයා වීමෙන් පසු ඇරඹුණක් නොවේ. එහි අතීතය ඔහු 1998 පෙබරවාරි මින්දනාඕ දිවයිනේ දවාඕනම් නුවර පුරපති ලෙස දිව්රුම් දුන් දා දක්වා දිව යයි. එදා සිට අද දක්වා හෙරොයින් වලට ඇබ්බැහි වූවන් 5000 කට අධික ප්‍රමානයක් ඔහුගේ නියමයෙන් ඝාතනය කර ඇත. මෑතකදී රොයිටර්, නිව්යෝර්ක් ටයිම්ස් ඇතුලු පුවත් පත් ගණනාවක් වාර්තා කර තිබුනේ දුතර්තේගේ මත් විරෝධී සටන අසාර්ථක බවය. දුතර්තේගේ දැලට හසුව අසරනයන් 5000 ක් පමන ඝාතනය වූවද ‍තෝරුන් මෝරුන් වැනි ජාවාරම්කරුවන් යහමින් කල් ගෙවන්නේය. ගණන් ඉලක්කම් සමග බොරු කළ නොහැක. දුතර්තේ විසින් එදා වේල කුඩ්ඩන් 5000 ක් පමන ඝාතනය කර ඇති නමුදු මහා පරිමාන ජාවාරම් කරුවන් ඝාතනය කර ඇත්තේ දෙදෙනෙකු පමනි . එයද දේශපාලන ආරවුලක් නිසා සිදු වූවක් බව කියැවෙයි. හේතු එක ලෙස පවතිද්දී ඵලය සමග ගැටීම් ගඟට ඉනි කැපීමකි.

අයිතිකරුවන් නැති හෙරොයින්

ලංකාවේ කිලෝ ගණනින් හෙරොයින් අසුවූ සෑම විටකම එහි අයිති කරුවන් සොයා ගැනීමට පොලීසිය අසමත්ය. රාජපක්ෂ සමයේ එස්.ටී.එෆ් එකෙන් නිමල් ලංසාගේ නිවස වටලන විට ඔහුගේ ආරක්ෂාවට වහා දිව ගියේ මහින්ද ය. වෙලේ සුදා හිරේ ගියද ඔහුගේ ගෝඩ්ෆාදර් කුඩු දුමියාට ආරක්ෂක ආමාත්‍යංශයේ අධීක්ෂණ ඇමති ධූරයක් ලැබුනේය. එල්.ටී.ටී.ඊ පාලන කාලයේ බෙහෙතකට හෙරොයින් පොදක් නොවූ උතුරු නැගෙනහිර අද කුඩු වසංගතයකි. හෙරොයින් ආරක්ෂක අංශ සහ දේශපාලනය අතර ඇති අනොන්‍ය සබඳතාවය වටහා ගැනීමට මෙම පසුතලය ප්‍රමාණවත්ය. ලෝකයේ හෙරොයින් නිෂ්පාදනයෙන් 74 %කට දායක වන්නේ ඇෆ්ගනිස්ථානයයි. ලාඕසය , වියට්නාමය මියන්මාරය 15% ක් පමන දායකත්වයක් ලබා දෙන්නේය. අමෙරිකාව විසින් රටවල් ආක්‍රමනය කරන ආරක්ෂා කරන සමීකරණය මේ තුල දැක ගත හැක.

බන්ධනාගාර බුද්ධි අංශයේ වගකීම

1898 දී හෙරොයින් මුලින්ම නිෂ්පාදනය කළේ කුප්‍රකට රෝත්ස්චයිල්ඩ්ට අයත් වූ බේයර් සමාගම ය. රොත්ස්චයිල්ඩ්ගේ ඊනියා හරිත විප්ලවය මෙන්ම මෙයද මානව සංහතියට එරෙහිව දියත් වූ ව්‍යවසනයකි. නමුත් එය වෙනම ලිවිය යුතු මාතෘකාවකි . එදා පටන් රහස් ඔත්තුසේවා , ආරක්ෂක අංශ සහ දේශපාලනඥයන් යනු හෙරොයින් ජාලයේ ‍අසහාය රැකවලුන්ය. වැලිකඩ බන්ධනාගාරය යනු කුඩු බෙදා හරින ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බව විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨයෙකු පසුගියදා ප්‍රකාශ කළේය. සියල්ල මෙහෙයවනුයේ සෙලියුලර් දුරකථන මගින් බව කීවේය. බන්ධනාගාර නියාමකවරුන් මොවුන්ට අත්උදව් සපයන බවද කියා තිබුනි. මතට තිත තැබීමට කිසිවෙකුට අවැසි නම් මූලිකවම කළ යුත්තේ බන්ධනාගාර බුද්ධි අංශය ඉහල කාර්යක්ෂමතාවයකින් පවත්වාගෙන යාමය. ඕනෑම සෙලියුලර් දුරකථනයකට රහසේ සවන්දිය හැකි උපකරණ ඇ.ඩො 75000 සිට ඉහලට පහසුවෙන් මිලට ගත හැක. එමගින් හෙරොයින් ජාවාරමේ අල ගිය මුල ගිය සියලු තැන් හෙලිදරව් කරගැනීමට හැකිය.

එල්ලුම්ගස සේවය කරන්නේ කවුරුන්ටද?

බිම් මට්ටමේ හෙරොයින් ජාවාරම්කරුවන් එල්ලුම් ගස් යැවීම හරහා සිදුවන්නේ ගෝඩ්ෆාදර්ගේ ආරක්ෂාව සහතික වීම ය. එවන් ක්‍රියාදාමයක් හරහා මත් උවදුර මැඩලිය නොහැක. බිම් මට්ටමේ අපරාධකරුවන් ඝාතනය කිරීම හරහා සිදුවන්නේ මහ මොළ කරුවන් ආරක්ෂා වීම මිස අන් යමක් නොවේ. ඒ අනුව එල්ලුම් ගස නිරතුරුව සේවය කරනු ඇත්තේ ඉහල ස්ථරයේ වැජඹෙන ජාවාරම් කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. එදා වැලිකඩදී කඩු සොරකමේ ප‍්‍රධාන සැකකරු වූ හර්ෂ මංජු ශ‍්‍රී මනකීර්ති පෙරේරා වෙඩි තබා ඝාතනය කෙළේය. ඒ ක්‍රියාදාමයෙන් කඩු සොරකමේ මහ මොළ කරු වූ නාමල්ගේ ආරක්ෂාව තහවුරු විය. අපරාධ පි‍ටු දැකීමට අවැසි එකෙක් වෙත් නම් ඔහු කළ යුත්තේ වැරදි කරුවන් පුනරුත්ථාපනය කිරීමට පෙර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීමය.

ගල් යුගයේ අපි

බන්ධනාගාර පනතේ දක්වා ඇති ආකාරයට එක් සිරකරුවෙකු සඳහා දිග 8.6 x පළල 5.6 x උස 10 ඉඩක් වෙන් කළ යුතුය. බන්ධනාගාර පනත ප්‍රකාරව කොළඹ රිමාන්ඩ් බන්ධානාගාරයේ ‍රැඳවිය හැක්කේ සිරකරුවන් 260 පමණි. නමුත් මෙහි සිරකරුවන් 1300 කට ආසන්න ප්‍රමාණයක් රඳවා සිටියි. ‍රැඳැවියන්ට රස පරීක්ෂක වාර්තාව එනතුරු අවුරුදු ගණන් බන්ධනාගාරයේ තැපීමට සිදුවන අවස්ථා එමටය. සිරකරුවන් ‍රැඳවීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් නැත. මංකොල්ලකරුවන්, මිනීමරුවන්, කුඩ්ඩන් ඇතුළු සියල්ලන් එකට පැකැට් කරයි. සුද්දන් විසින් බන්ධනාගාර පනත හඳුන්වා දුන්නේ 1844 වර්ශයේදී ය. එනම් අදින් වර්ෂ 174 කර පෙර ය. 1844දී නිර්මාණය කළ සිරකරුවන්ගේ ඇඳුමට පාදක වූයේ එකල ගැමියන් භාවිතා කළ ඇඳුම්වල හැඩතලය. ඒ අනුව සිරකරුවන්ගේ නිල ඇඳුම වූයේ කම්බා රෙද්දකින් මැසූ බැනියමක් සහ කොට කලිසමකි. මෙම හම්පඩ ඇඳුම කිසිදු යාවත්කාලීන වීමකින් තොරව අද ද භාවිත කරයි. සිරකරුවන්ගේ ඇඳුමේ සිට මනෝමූල පුනරුත්ථාපනය දක්වා අප තවම සිටින්නේ ගල් යුගයේ ය.

ලංකාවේ බන්ධානාගාරවල බුද්ධි අංශ යනු විහිලු සපයන ආයතනයන් ය. මහජන මුදල් කබාසිනියා කරන සුදු අලින් ය. බොහෝ බුද්ධි අංශ සාමාජිකයන් පෞද්ගලික වාසි තකා තමන් බුද්ධි අංශයේ යයි පෙනී සිටියි. බුද්ධි අංශයේ අහවල් සර්ට යයි කියමින් හිරගෙදර මෝරුන්ගෙන් ගාන කැපීම නිතර සිදුවෙයි. ලංකාවේ තත්වය එසේ වුවද ලෝකයේ දියුණු රටවල නවීන තාක්ෂනික උපකරන වලින් යුත් ශූක්ෂතම බුද්ධි අංශය ස්ථාපිත කරන්නේ බන්ධනාගාර ආශ්‍රිතව ය. මක්නිසාදයත් සියලුම ක්ෂේත්‍ර වල කෙළ පැමිණි ගේම් කාරයින් සිටින්නේ එහි නිසාය. හෙරොයින් පමනක් නොව ජාතික ආරක්ෂාව සමබන්ධ ගනුදෙනු පවා ඒ තුල සිදුවන්නේය. සාර්ථක බුද්ධි අංශයක් හේතුවෙන් සංවේදී බාහිර තොරතුරු හෙලිදරව් කර ගැනීම පමණක් නොව අභ්‍යන්තර විනය ද ආරක්ෂා වන්නේය. නීතියේ පාලනය ස්ථාපිත වන්නේය . පහත දැක්වෙන වාර්තාව මේ සමග අමුනන්නේ බුද්ධි අංශ යයි පිස්සු කෙලින ලංකාවේ ආයතනයන නිසි රාමුවක් තුලට ගෙන ඒමට මාර්ගෝපදේශනයක් ලෙසිනි

බන්ධනාගාර බුද්ධි අංශයේ කාර්ය භාරය – (එක්සත් ජාතීන්ගේ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ මාර්ගෝපදේශණයකි)

Dynamic Security and Prison Intelligence

කීර්ති රත්නායක විසිනි

Top