Breaking
24 Feb 2025, Mon

පාද යාත්‍රාව ගැන පාද සටහනක්

චන්ද්‍රිකාට, ෆයිසර් මුස්තාෆාට, හැරිසන්ට හා තවත් අයට අනුව ඉතා අසාර්ථක පාද යාත්‍රාවක් අවසන් වෙලා. පොලිස්පති ඒ ගැන මුකුත් කියලා නැහැ. කවුදෝ කියලා තිබුණ පාද යාත්‍රාවෙ දෙදහක්වත් හිටියෙ නැහැයි කියලා. චන්ද්‍රිකා කියනවා එයාගෙ පාද යාත්‍රාව තරම් සාර්ථක නැහැයි කියලා. ඒත් එයාගෙ පාද යාත්‍රා මොනවද කියලා කිවුව නම් හොඳයි. 1992 දි මහින්දගෙ පාද යාත්‍රාවකට බලෙන් ගොඩවෙලා චන්ද්‍රිකා බැනුම් අහපු හැටි නම් හුඟ දෙනෙකු දන්නවා. ජ වි පෙ අනුර පඬි කතා කියලා තිබුණා. මේ කවටයන්ගෙ කතා අනුව වුවත් පැහැදිලි වන්නෙ පාද යාත්‍රාව අතිශයින් ම සාර්ථක බවයි.

මේ පාද යාත්‍රාවට ආණ්ඩුව මොන තරම් බයවුනා ද? පූජිත පොලිසිය නුවර පාරෙ හැම අධිකරණයකට ම ගියා තහනම් නියෝග නිකුත් කරවා ගන්න. එ ජා පක්‍ෂය නුවර පාරෙ සාමාජික ප්‍රවර්ධන වැඩ සටහන් අදාළ දිනවල සංවිධානය කරල පූජිත පොලීසියට දැන්නුවා. කොළඹ මහා නගර සභාව පිලිප් ගුණවර්ධන පිටිය (මේ පිටියට තවමත් හයිඩ් පිටිය කියන්නෙ පිලිප් අමතක කරන්න ද?) තකහනියක් ම ප්‍රවර්ධනය (මේක හොඳ වචනයක්) කරන්න පිටියෙ වළවල් හෑරුවා. නාගරික කොමසාරිස්ලා ඉන්නෙ වළවල් හාරන්න මිසක් වෙන දේකට නෙවෙයි. ඒත් පාද යාත්‍රාවට වළ කපන්න බැරි වුනා. රැස්වීම ලිප්ටන් වටරවුමෙ තිබ්බා. පූජිත පොලීසිය හදිසියේ ම කැම්බල් පිටිය ලබාදුන්න. ඒත් මහින්ද ඒක ප්‍රතික්‍ෂෙප කළා. අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාලෙ බයිලාවක් තිබුණ ත්‍රෛලෝක පූජිත වාසිටියෙ කොල්ලන් ගැන. ඒකෙ බල්ලෝ මරා හරි සල්ලි සොයා ගෙන ඩිග්‍රී ගැහීමක් ගැනත් තිබුණා. නිලධාරි කවුරු කවුරුත් පාහෙ සල්ලි සොයාගන්න ආණ්ඩුවට කත් අදිනවා. ආණ්ඩුව වෙනුවෙන් බුරනවා. ඉඳහිට තමයි කවුරු හරි එහෙම නැතිව ගෙදර යන්නෙ. කවුරුන්වත් ත්‍රෛලෝක පූජිත පොලීසිය ගැන බයිලා හදන්න ඕන නැහැ.

ඩිව් ගුණසේකර පාද යාත්‍රාවට සහභාගි වුනේ නැති එක ලොකු පාඩුවක්. අවුරුදු අසූවක් කළ අන්තිම සටනට සැරසෙන්න කවුරුන්වත් ඉන්නෙ නැතිව ඇති. ඒත් මහින්ද හොඳ කතාවක් කියලා තිබුණ. මේ පාද යාත්‍රාවෙ ඇවිත් ගියාට ඊළඟ අවස්ථාවෙ අරගෙන ම යනවා කියලා. පාද යාත්‍රා තියලා ආණ්ඩු පෙරළන්න බැහැයි කියන අයට ඒක කදිම පිළිතුරක්. ආණ්ඩු පෙරළන්න ඕන නැහැ. ආණ්ඩුව ගන්න පුළුවන්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය හා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නම් තව අවුරුදු තුනහමාරකට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ඒත් මහින්දට අගමැති වෙන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ම ඕන නැහැ. ඒ සඳහා ඔය ව්‍යවස්ථාවෙ ඕන තරම් පරස්පර තියෙනවා.

පුද්ගලයන්ට අනවශ්‍ය විධියට තැනක් දෙන්න ඕන නැහැයි කියලා පඬියකු කියන්න පුළුවන්. අවශ්‍ය ප්‍රතිපත්තිවලට මුල් තැන දෙන එකයි කියලා කියන්න පුළුවන්. ඒත් ඉතිහාසයෙ ඇතැම් අවස්ථාවල ප්‍රතිපත්ති පිළිබිඹු වන්නෙ පුද්ගලයන්ගෙන්. හෙට මහින්ද චින්තන බවට පත්වෙන්නෙ ජාතිකත්වය, ස්වෛරිභාවය අගයන යටත්විජිත විරෝධී ජනතාවගේ අද චින්තනය. පාද යාත්‍රාව රණවිරුවන් සිරගත කිරීමට, ඔවුන් දෙමුහුන් අධිකරණවලට යැවීමට, ඊනියා අතුරුදහන් වූවන්ගේ කාර්යාල මගින් රණවිරු දඩයමට, සිංහලයන්ට උතුරු හා නැගෙනහිර පළාත් අහිමි කිරීමට, ඊනියා සංහිඳියාවට, බුද්ධාගමට ඇති විශේෂත්වය හා ඒකියභාවය වචන හරඹයකින් නැති කිරීමට, නව ව්‍යවස්ථාවට, බටහිර හා ඉන්දීය ආධිපත්‍යයට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළාත්සභාවලට, එට්කා ගිවිසුමට, වැට් බද්දට ආදී ආණ්ඩුවේ දහසකුත් එකක් දේශපාලනික සංස්කෘතික හා ආර්ථික ප්‍රතිපත්තිවලට විරුද්ධව ගිය එකක්.

අප අද කළ යුත්තේ මේ විරුද්ධතා තව තවත් ජනතාවට පැහැදිලි කිරීමයි. පාද යාත්‍රාව ඒකාබද්ධ විපක්‍ෂෙ විතරක් නෙවෙයි නව සංවිධානයක අවශ්‍යතාව ගැන කියන සියල්ලන්ගෙත් ජයග්‍රහණයක්. මේ නව සංවිධානයේ ආරම්භයයි. ඒ සංවිධානය තවමත් අපට හරියට දිනාගන්න බැරිවුන නිදහස දිනාගැනීම සඳහා ඇති කෙරෙන්නක්. එය තරමක් සංකීර්ණ සංවිධානයක්. පහුගිය කාලෙ ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක්කරාට පස්සෙ දැන් කරන්න තියෙන්නෙ දේශපාලනය ජාතිකකරණයට ලක් කිරීමයි. පක්‍ෂ දේශපාලනයෙන් පිට ජාතික දේශපාලනයකට අවස්ථාව එළඹිලා.
නලින් ද සිල්වා

2016 අගෝස්තු 02

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.