Featured

පැය 24 ක් ඇතුළත මධ්‍යම කාරක සභාව රැස් කරනු! ශ්‍රිලනීප ප්‍රභලයන් සටන අරඹයි

අද සවස මෛපාල සිරිසේන මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල නියෝජනය කළ කණ්ඩායම සිය අප්‍රසාදය දැඩිව ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව රැස්වී කොන්ද කෙලින් තියාගෙන තීන්දුවක් ගත යුතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද ප්‍රකාශය බරපතළ දේශපාලන ප්‍රශ්න ගණනාවක් හා පෞද්ගලික සැකසංකා මතුකරන්නක් බවයි ඔහු අවධාරණය කළේ.

එක්සත් ජාතික පක්ෂයට හෝ වෙනත් මිතුරු වෙසින් සිටින සතුරු බලවේග වලට ශ්‍රීලනිපයේ දේශපාලන තීන්දු ගත නොහැකි බැවින් ශ්‍රීලනිපයේ මහලේකම්ගෙන් තමා ගෞරවයෙන් යුතුව පැය 24 ක් ඇතුළත මධ්‍යම කාරක සභාව රැස්කරන ලෙස ඉල්ලා සිටින බව පෙරේරා  වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනවිසින් අද පස්වරුවේ සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ඉතාමත් කනගාටුවට පත්වන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

අද(14) රාත්‍රීයේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම කියා සිටියේ තමන් මේ බව කියා සිටින්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස හෝ අමාත්‍යවරයෙකු ලෙස නොවන පක්ෂයට ආදරය කරන පාක්ෂිකයෙකු ලෙස වන බවයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඒ වෙනුවෙන් කටයුතු සිදුකෙරෙන මොහොතක මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම ශ්‍රීලනිපයට බරපතළ අවාසි සහගත තත්ත්වයක් උදාකරන බව තමාගේ පුද්ගලික විශ්වාසය බව තෙන්නකෝන් මෙහිදී පෙන්වා දුන්නේය.

ඒ නිසාම වහාම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඉදිරි මැතිවරණයට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළ යුතුව ඇති බව හෙතෙම අවධාරණය කළේය.

Top