Breaking
25 Feb 2025, Tue

පිංගුත්තර ෆොනීට බෙන්ස් රථයක් ගන්න රුපියල් ලක්ෂ 400ක් ඉල්ලයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතු අමාත්‍ය, ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඊයේ (06) උදෑසන පැවැති කැබිනට් හමුවේදී සිදුවූ උණුසුම් වචන හුවමාරුව සමථයකට පත්කිරීමට ජනාධිපතිවරයා මැදිහත් වී තිබේ.

එම කැබිනට් හමුවේදී උතුරු නැගෙනහිර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඊයේ උදෑසන ඉදිරිපත් වී ඇත.

එහිදී බුද්ධශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ “පහුගිය කාලේ මේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය මඟහැරිලා තිබුණු නිසා මේ යෝජනාව ඉතාම හොඳ එකක්. විහාර සංවර්ධනය කළ යුතුයි” යනුවෙනි.

ජනාධිපතිවරයා ද ඊට ප්‍රතිචාර දක්වමින් “ඔව්. විහාරස්ථාන සංවර්ධනය සඳහා මුදල් යොදලා කඩිනමින් ඒක කරන එක හොඳයි” යැයි පැවැසීය.

මෙහිදී නැගී සිටි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා “මටත් දෙයක් කියන්න තියෙනවා” යනුවෙන් පවසා ඇත.

අනතුරුව තමන් නැගී සිටි කරුණ කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කරමින් “එක ඇමැතිවරයෙක් පහුගිය දවසක මම කළ ප්‍රකාශයක් ගැන සමාව ගැනීමක් කරලා තිබුණා හාමුදුරුවන්ගෙන්. ඒ අඥානවන්ත නූගත් කෙනෙක් කළ ප්‍රකාශයක්. මට සමාවෙන්න මට සමාවෙන්න කිය කියා. එහෙම ප්‍රසිද්ධියේ සමාවගන්න ජාතියේ ඇමැතිවරු මේකෙ ඉන්නවා” යැයි සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කියා සිටියේය.

සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කැබිනට් හමුවේදී එලෙස වක්‍රාකාරයෙන් චෝදනා කර තිබුණේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාටය.

එහිදී විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙලෙස පවසා තිබේ. “මේ කියන්නේ බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ ගැනයි. උන්වහන්සේ ගැන ඒ කරපු චෝදනාව පදනම් විරහිතයි. මම සමාව ගත්ත නිසා ඒක එතැනින් ඉවර වෙලා ප්‍රශ්නයක් ඇතිවීම වැළකුණා. මම එහෙම නොකලා නම් සමාව ගන්න වෙන්නේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි” යනුවෙන් අමාත්‍යවරයා පවසන අවස්ථාවේදී කැබිනට් රැස්වීම තුළ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද අසුන්ගෙන සිටියේ ය.

මෙම ප්‍රකාශයෙන් පසුව සිද්ධිය පිළිබඳ අමාත්‍යවරුන් දෙපළ අතර ටික වේලාවක් යනතුරු උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර, වාග් ප්‍රහාරය අවසන් වූයේ “හරි හරි අපි දැන් ඕක නවත්තලා ඊළඟ යෝජනාවට යමු” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊළඟ කැබිනට් යෝජනාව විමසා බැලීමට නියෝග දීමෙන් පසුවය.

මේ අතර ඊයේ පැවැති කැබිනට් හමුවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වාහනයක් මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයකු වෙත රජයෙන් වෙන්කරනු ලබන මුදල තමාට වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.

අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 350ක් වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන්කෙරෙන නමුත් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසා ඇත්තේ බී.එම්.ඩබ්ලිව්. 7සීරීස් වාහනයක් මිලදී ගැනීම සඳහා තමන්ට මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

එවැනි වාහනයක් රුපියල් ලක්ෂ 700ක් පමණ වන බැවින් නවීන බෙන්ස් රථයක් හෝ මිලදී ගැනීම සඳහා ද රුපියල් ලක්ෂ 400ක් අවශ්‍ය බැවින් අමාත්‍යවරයකු ලෙස තමාට වාහනයක් මිලදී ගැනීමට වෙන්කෙරෙන රුපියල් ලක්ෂ 350ක මුදල රුපියල් ලක්ෂ 50කින් වැඩිකරදෙන ලෙසට මෙහිදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
මෙම ඉල්ලීම ඉවතලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ ඒ පිළිබඳ ‘පසුව සලකා බලමු’ යනුවෙනි.

(රමේෂ් වරල්ලේගම)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.