Breaking
25 Feb 2025, Tue

පුලුවන්නම් කරලා පෙන්වනු… මෛත්‍රී, රනිල්ට අස්වීමට බල කරනු!

කවුරුත් පාහේ බලා සිටි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. එහි විස්තර දැනගැනීමට නැහැ. අර්ජූන් මහේන්ද්‍රන් හා අදාළ මහා බැංකු නිලධාරීන් ද ඇලෝෂියස් බෑණාගේ සමාගම ද වරදකරුවන් කෙරිලා. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කරලා. එ ජා ප මන්ත්‍රීවරුන් නිර්දේශවලට එකඟ වන අතර පාද සටහන් එකතු කරලා. ඒ පාද සටහන් යනු පාද ඇදීම් හෙවත් කකුලෙන් ඇදීම් පමණයි. එයින් නිර්දේශවල සැර බාල වී ඇතැයි සිතන්න පුළුවන්.

වාර්තාව දකින්නෙ නැතිව නිශ්චිත ව යමක් කියන්න අමාරුයි. ඇතැමුන් කියන විධියට පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් කෙරී ඇත්තේ විගණකාධිපති වාර්තාවට එරෙහිව. ඒවා තාක්‍ෂණික යැයි එ ජා ප මන්ත්‍රීවරු කියනවා. විගණකාධිපති හෑල්ලු කෙරී ඇති බව කියන කතාවලින් තේරෙනවා. එතුමා බුදුහාමුදුරුවන් නොවන බව එ ජා ප මන්ත්‍රීවරයකුට මතක් වෙලා. ඉතා පැහැදිලිව යම් ගණුදෙනුවක් වාර්තාව සම්බන්ධයෙන් ද සිදුවෙලා තියෙනවා. බැංකු හොර ගණුදෙනුව තවත් ගණුදෙනුවකට මග පාදලා. අප අමතක නොකළ යුතු කරුණ නම් මේ ලංකාවේ සිදු වූ විශාලතම බැංකු මංකොල්ලය බව. ඒ කොල්ලය රටේ ජාතික දළ නිෂ්පාදිතයෙන් 25%ක් වෙනවලු

අර්ජූන් මහේන්ද්‍රන් සිංගප්පූරු රටවැසියෙක්. ඔහු සිංගප්පූරුවට ගිහිල්ලා. ඔහු ආවත් නැතත් ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ කාට ද? කවුරුන් විසින් ද? වාර්තාව පාර්ලිමේන්තුව විසින් කොයි ආකාරයකට පිළිගැනේවි ද? ඇලෝෂියස් බෑණා අදාළ සමාගමේ අධ්‍යක්‍ෂ කෙනෙක් නො වෙයිලු. විගණකාධිපතිට විරුද්ධව නඩු දැමීමට බැරි ද? අර පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් මත පදනම් වෙලා පාර්ලිමේන්තුව කෙසේ ක්‍රියා කරයි ද?

කෝප් වාර්තාව පාද සටහන් ඇතිව හෝ නැතිව හෝ ඇස්බැන්දුමක.් ඒ වාර්තාව ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලන එක ජනමාධ්‍යයට හොඳයි. තව තවත් පුවත් නිර්මාණය කරන්න එයින් ඉඩක් ලැබෙනවා. තව තවත් ටෙලිනාට්‍ය පුවත් වේශයෙන් අපට නරඹන්න පුළුවන්. කොහොමත් වාර්තාවට අනුව මූලික වැරුද්ද කර ඇත්තේ රනිල්. ඔහු තමයි අර්ජුන් මහේන්ද්‍රන් පත් කෙළේ. කෝප් කමිටුව කියනවා නම් මහේන්ද්‍රන් වරදකරුවකු කියා ඔහු පත්කර දිගින් දිගට ම ඔහු ආරක්‍ෂා කිරීමට කටයුුතු කළ රනිල් ඉල්ලා අස්විය යුතුයි. මෙවැනි මංකොල්ලයක් කළා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් රනිල්ගේ විනිශ්චය වැරදි බව පෙනී යනවා. විනිශ්චය සම්බන්ධයෙන් එවැනි වරදක් කළ රනිල් ලංකාවේ අගමැති කමට කිසිසේත් ම සුදුසු නැහැ. අර්ජුන් හා බෑණා ගැන පරික්‍ෂණ කළ යුත්තේ රනිල් අගමැති ව සිටිය දී නොවෙයි. රනිල් අගමැති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කර තිබෙනවා. ජනාධිපති රනිල්ට අස්වීමට බල කළ යුතුයි. නීතියෙන් ඉඩක් වේ නම් ඔහු අස්කළ යුතුයි.

අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුව හමුවට පැමිණ තමා එසේ කෙළේ අගමැතිගේ කීමට යැයි කී බව වාර්තා වුනා. ඒ ඇත්ත නම් ඉන් කියැවෙන්නේ රනිල් ප්‍රධාන වැරදිකරුවා බවයි. කෝප් වාර්තාවෙන් රනිල් ගැන කියැවෙන බවක් ආරංචි නැහැ. එසේ වන්නේ කෙසේ ද? මෙය යම් ගණුදෙනුවක ප්‍රතිඵලයක් ද? එ ජා ප මන්ත්‍රීවරුන් පාද සටහන් සහිතව නමුත් වාර්තාවට අත්සන් කෙළේ රනිල් නිදහස් කෙරුණු නිසා ද? පරමාධිපත්‍යය ඇත්තේ මහජනයාට නම් ඔවුන්ගේ නියෝජිතයන්ට ඔවුන්ගෙන් (ජනතාවගෙන්) කරුණු වසන් කිරීමට ඇති අයිතිය කුමක් ද? ඒකාබද්ධ විපක්‍ෂය කෝප් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයාට, මන්ත්‍රීවරුන්ට මේ සියල්ල මහාජනයාට හෙළි කිරීමට හැකි විය යුතුයි. මෙය සෑඟවීම ඊනියා සදාචාරය නම් අපට සදාචාරයෙන් වැඩක් නැහැ. මෙයට කලින් මේ සම්බන්ධ වාර්තාවක් ඩිව් ගුණසේකර කෝප් කමිටුවෙ සභාපති කාලෙ ඉදිරිපත් වුනා. ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා 2015 ජූලි මාසයේ පමණ මා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. බොහෝ දෙනා ඒ ගැන දන්නෙ නැහැ. සුපුරුදු පරිදි ජනමාධ්‍ය එයට ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. ඒ පිළිබඳ නඩු තීන්දුව තවමත් නැහෑ!

මේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමට කියා කියනවා. මහා බැංකු කොල්ලයට වඩා දරුණු කොල්ලයක් මෙරට සිදු වී නැහැ. රනිල් ගැන විශේෂ පරීක්‍ෂණයක් අවශ්‍ය වෙනවා. ටික කලකට ඉහත ඔහුගේ නැන්දාගේ පුතා වන රජිව් විජේසිංහ කියා සිටියේ ඇලෝෂියස් බෑණා කොල්ල මුදල්වලින් විශාල ප්‍රමාණයක් එ ජා ප මැතිවරණ අරමුදලට බැර කර බවයි. ඒ ප්‍රකාශය වෙනත් ප්‍රකාශ වගේ ම යට ගියා. ජනමාධ්‍ය එයට නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. අද සියල්ලන්ට ම පාහේ ඒ සිද්ධිය, එනම් රජිව් එසේ ප්‍රකාශ කළ බව අමතක වෙලා.

රාජපක්‍ෂලාට විරුද්ධව ඇති එක් චෝදනාවක් නම් මහජන මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම. රජිව් කලක් කෝප් කමිටුවේ සාමාජිකයකු වෙලා හිටියා. කෝප් කමිටුවට ඔහු කැඳවන්න බැහැ. එහෙත් ඔහුගේ ප්‍රකාශය ඉතා වැදගත්. රනිල් බැංකු කොල්ලයේ මුදල් එ ජා ප මැතිවරණ ව්‍යාපාරයට යෙදා ගත්තේ ද? බැංකු කොල්ලය කෙළේ ම 2015 අගොස්තු මැතිවරණය සඳහා එ ජා පක්‍ෂයට අරමුදල් සපයා ගැනීමට ද? අපට මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.

මේ ආණ්ඩුව පත් කෙළේ බටහිරයන් හා ඉන්දියාව වුවත් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂ බටහිරයන් හෝ ඉන්දියාව හෝ වෙනුවෙන් කටයුතු කළා. මහින්ද හොරා හොරා කියා වැඩියෙන් ම කෑ ගැසුවේ ඒ පක්‍ෂ. කෝප් කමිටු වාරාතාවක් ඉදිරිපත් කළ පමණින් ඔවුන්ගේ පවු සමා වන්නේ නැහැ. බැංකු කොල්ලයට සෘජුව නැතත් ඔවුන් වක්‍රව හවුල්. මේ සියල්ල කුඩා ළමුන්ගේ හොරා පොලිස් සෙල්ලමක් පමණක් ද?
නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 29

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.